Home Empowerment ඇය දෙවියන් මවන ගැහැනියක්

ඇය දෙවියන් මවන ගැහැනියක්

දෙවියො මිනිස්සුන්ව මැව්වාලු. ඇත්තද කියන්න දන්නෙ නෑ. ඒ වුණත් දෙවියන්ව මවන මිනිස්සුන්ව නම් අපි ඇස් පනාපිට දැකලා තියෙනවා. ගලට, මැටියට, සිමෙන්තියට දේව ගතිගුණ මුහු කරලා මිනිස්සු පන්සල්, දේවාලවල හිටිහැටියෙ දෙවියන් මවන්නේ අදහන්න බැරි තරම් අපූරුවට. ඔය අතරෙ මට මුණගැසුණු ඇය දෙවියන් මවන ගැහැනියක්. සියුමැලි අතැඟිලි රළු වන තුරුම ගල්වැලි, සිමෙන්ති, මැටි සමඟ හැප්පෙමින් ඇය පිරිමින් හා හරිහරියට පණ පොවා දෙවියන් අඹන්නේ ගැහැනියකට කළ නොහැකි යමක් නැති වග ලොවට ඒත්තු ගන්වමින්. පෙර පිනකට ඈට හිමි වුණු විශ්මිත දෑතින් නිමවූ අතිවිශාල දේව රූප,දැවැන්ත බුද්ධ ප්‍රතිමා, ආලේඛ්‍ය ප්‍රතිමා ඒ සියුමැලි රුවැත්තියගේ දෑතේ විශ්මය කියාපානවා. හැකියාව අත්වැලක් කරගනිමින් දිරිය ගැහැනියක් ලෙස ඇය ජීවිතය ජීවත් කරවනවා.
ඇය නමින් ජානකී නදීශානි. අතගත් සැමියත්, කුසින් වැදූ සිඟිත්තාත් සමඟ ජීවිතයට නොබියව මුහුණ දෙන ඇගේ නිවහන ඇත්තේ උඩුපිල , දෙල්ගොඩ. කුඩා කල පටන් ම චිත්‍ර කලාවට කැපීපෙනෙන දක්ෂකම් පෙන්වන ජානකී මූර්ති කලාවට අඩිතාලම දාන්නේ ඇය ගම්පහ යශෝධරා බාලිකාවේ උසස් පෙළ හදාරන කාලේ. ඒ ලෙවල්වල ව්‍යාපෘතිය විදිහට ඉස්සෙල්ලම කඳාන පැත්තෙ ගෙදරක මියුරල් එකක් කරන ජානකී අන්තිමේ අඩි 35ක දිග  විශාල මියුරල් එකක් විදිහට ඒකේ වැඩ ඉවර කරනවා. ඒ ඇයට මූර්ති කලාවට මග විවර වුණු තැන.
මූර්ති කලාවට වගේ ම ජානකී අධ්‍යාපන කටයුතුවලටත් දක්ෂ චරිතයක්. මුලින් ම කරකඩුව නාරද මධ්‍ය මහා විද්‍යාලයෙන් ශිෂ්‍යත්වෙ පාස් වෙලා ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයට යනවා. එතනින් ඕලෙවල් පාස්වෙලා ගම්පහ යශෝධරා බාළිකාවට. එතනිනුත් නොනැවතුනු ඇය සෞන්දර්ය විශ්ව විද්‍යාලයට පය තියන්නෙ බලාපොරොත්තු ගොන්නක් හිතේ දරාගෙන. 
“අපිට පළමු වසරෙදි චිත්‍ර, මූර්ති වගේ විෂයන් නවයක් තියෙනවා කරන්න. මූර්තිවලට තමයි ගොඩක් ම මගේ හිත යොමු වුණේ. ඒ වුණත් වැඩිමහල් පංතිවල අයියලා අක්කලා මට කිව්වෙ ඔයාට මූර්ති කරන්න බැහැ, බර වැඩ තියෙනවා කියලා. ගල්කැටයම් තියෙනවා. මූර්ති ලේසි නෑ. ගෑනු ළමයෙකුට ගැලපෙන්නෙ නෑ කියලත් ඒ අය කිව්වා. ඒත් චිත්‍ර අඳිනවට වඩා මට ලොකු ආසාවක් තිබුණා පිළිම අඹන්න. ඉතින් අනිත් අය කියන දේවල් පැත්තක තියලා මං හිත කැමති දේ තෝරගත්තා. කැම්පස් එකේදි ගල් කැටයමක් කරන්න තිබුණා. ඒකෙන් පළවෙනි තැනට ආවෙ මගේ නිර්මාණය. ගෑනු ළමයෙකුට ඉතිං බැහැයි කියලා දෙයක් නෑ. තමන් හිතුවොත්, අධිෂ්ඨානයක් තියාගත්තොත්, ඉලක්කයක් තියාගත්තොත්, ඒ වෙනුවෙන් කැප වුණොත් ජයගන්න පුළුවන්. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාල ඉතිහාසයේ මූර්ති අධ්‍යයන අංශයෙන් ගෑනු ළමයෙක් ලබාගත්ත වැඩිම ලකුණු ලබාගන්න තරම් මම වාසනාවන්ත වුණා. ඒ විතරක් නෙවෙයි එහෙම වැඩි ම ලකුණු ගන්න අයට පුළුවන් ඒ අධ්‍යයන අංශය ඇතුළේ තවකාලික උපදේශකවරියක්/වරයෙක් හැටියට කටයුතු කරන්න. ඉතිං මං ඒ තනතුරත් දැරුවා. ඒ තමයි සෞන්දර්ය කලා විශ්ව විද්‍යාල ඉතිහාසයේ මූර්ති අධ්‍යයන අංශයෙ තාවකාලික උපදේශිකාවක් විදිහට ගෑනු ළමයෙක්ට අවස්ථාව ලැබුණු පළවෙනි වතාව.මට මගේ ජීවන සහකරු මුණගැහුණෙත් විශ්ව විද්‍යාලයෙන්මයි. ඔහු ඉගෙන ගත්තෙත් මගේ අධ්‍යයනාංශයේ. ඉතිං අපි එකතු වෙලා වැඩ කළා. තංගල්ල රණවිරු ස්මාරකයේ මූර්ති 12ක් කළා. කළුතර පැත්තෙ මියුරල් එකක් කළා. විශ්ව විද්‍යාලයෙන් අවුට් වුණාට පස්සෙ මහ මෙව්නාව අසපුවේ වැඩ ගොඩක් කරන්නත් අපිට අවස්ථාව ලැබුණා. 
පුංචි කාලෙ ඉඳලම මම චිත්‍ර පස්සෙ තමයි ගියේ. මම චිත්‍රවලට ආසයි. දෙමාපියො ළඟ හිටියෙ නෑ පොඩි කාලෙ. අවුරුදු 3 විතර ඉඳලා ම මම ආච්චි ගාව තමයි හැදුණෙ. ඉතිං දෙමාපියන්ගෙන් බලපෑමක් තිබුණෙ නෑ, අරක කරන්න මේක කරන්න කියලා. මම ආස විෂය පස්සෙ තමයි මම දිගට ම ගියේ. 
අවුරුද්ද අවසානෙදිත් චිත්‍රපොත තියාගෙන අනිත් පොත් අයින් කළා. චිත්‍රවලට අදාළව තමයි පත්තර පිටුවක් වුණත් එකතු කළේ. අවසානේ මූර්ති කලාව මගේ ජීවනෝපාය වුණා. විශ්ව විද්‍යාලයෙන් එළියට ආවට පස්සෙ අපි දෙන්නට ම ගුරු පත්වීම් ලැබුණත් අපි ගුරුපත්වීම් භාර නොගෙන දිගට ම මූර්ති වැඩ කරන්න තීරණය කළා. රස්සාවල් ඉල්ලලා සමහරු පාරක් පාරක් ගාණෙ උද්ඝෝෂණ කරන වෙලාවෙ අතට ලැබුණු රජයෙ රැකියාවට පයින් ගැහුවයි කියලා වැඩිහිටියො නම් ගොඩක් දොස් කිව්වා. ඒත් අපි දෙන්නා තීරණය කළා අපිට හැකියාවක් ලැබිලා තියෙනවා… අපි අපේ ම දෙයක් විදිහට මූර්ති කලාව පැත්තෙන් වැඩ කරගෙන යමු කියලා. හිත කැමති දේ තෝරගත්තා. 
පටන් ගැන්ම නම් ගොඩක් දුෂ්කරයි. කැම්පස් එකෙන් අවුට් වුණා විතරයි. අපේ අතේ සල්ලිවත් නැතුව තමයි හැමදේට ම අතගැහුවෙ. මුලින් ම වැඩේ ඇඩ්වාන්ස් අරගෙන අච්චුව දානකොට අච්චුව හදිසියේ ගලවලා ඒක අසාර්ථක වුණා. අපි එතනින් වැටුණෙ නෑ. පළවෙනි වැඩේ හොඳට කෙරෙන්න ඕනෙ නිසා අපි ණයක් අරගෙන භාරගත්තු වැඩේ උපරිම හොඳට කරලා දුන්නා. ඒ නිසා තමයි අපිට දිගින් දිගට ම වැඩ ලැබුණෙ. අදටත් වැඩක් භාරගත්තොත් උපරිම කැපවීමෙන් කරලා දෙනවා. මුදල් කොහොම වුණත් අපේ වැඩේ අපි හරියට කළා කියන සතුට හිතේ තියාගෙන තමයි අපි කෙනෙකුට වැඩක් ඉවර කරලා දෙන්නෙ.   දෙන්නත් එක්ක එකතු වෙලා මූර්ති වැඩ පටන් අරන් දැනට අවුරුදු 04ක් වෙනවා. පහුගිය කාලෙ දිහා හැරිලා බලනකොට අපිට ම තේරෙනවා, අපේ යම්කිසි දියුණුවක් තියෙනවා කියලා. මූර්ති හදලා ගත්තු සල්ලිවලින් අපි ඉඩමක් ගත්තා. වාහනයක් ගත්තා අපේ ම කියලා වර්ක් ෂොප් එකක් කරගෙන යනවා. දැනට ෂෝරූම් එකක් අලුතෙන් දාලා තියෙනවා කලගෙඩිහේනෙ. ගොඩක් දුෂ්කරතා මැද තමයි අපි දෙන්නම ජීවත් වුණේ. මුල් කාලෙ අපි දෙන්නා විතරක් පිළිම හදලා, අච්චු දාලා කරගෙන ගියා. අවුරුද්දක් විතර යනකොට සේවකයො එක්කෙනා දෙන්නා හිමිහිට අරගෙන දැන් අපි ළඟ 15ක් වැඩ කරනවා. අම්පාර, පදවිය, අතුරුගිරිය වගේ පැති කිහිපයක ම දැනට අපි වැඩ භාරගෙන කරගෙන යනවා. 
පිළිමයක් හදලා ඉවර කළා ම හිතට දැනෙන්නෙ ලොකු සතුටක්. අපි අතින් හදපු නිර්මාණවලට දෙනෝදාහක් දෙනා වඳිනවා. ඒ වඳින වඳින ගාණෙ කුසල්නෙ රැස්වෙන්නෙ. පෙර ආත්මවලදි අපි කරපු කුසල් තමයි මේ ආත්මෙදි කුසලතා විදිහට අපිට පිහිටනවා කියලා කියන්නෙ. අපි හදන පිළිමයක් ගානෙ මිනිස්සු වඳින පුදනකොට අපේ කුසලතා තවත් වැඩිදියුණු වෙනවයි කියලා තමයි මට හිතෙන්නෙ. මං ජීවිතේ ගොඩක් ප්‍රශ්න කරදරවලට මුහුණ දුන්නු කෙනෙක්. ඒ වුණත් මං හිතන්නෙ ඒ හැමදේ ම වෙන්නෙ හොඳටයි කියලා. ජීවිතේට ප්‍රශ්න කරදර එනකොට ඒ හැමදෙයක් ම ශක්තියක් කරගෙන ඉදිරියට යන්න ඕනෙ. “
හැකියාවට වටිනාකමක් එකතු කළ ඇගේ කතාව අන්න ඒ වගේ.


මිහිරි කාංචනා