3.7 C
New York
Tuesday, March 19, 2024

Buy now

spot_img

අමේරිකාවේ ඉඳන් ලංකාවේ හිත් නලවන ටීෂා

ටීෂා ඇයට ම අනන්‍ය වූ ශෛලියකින් රසික සිත් සොරාගත් ජනප්‍රිය ගායිකාවකි. ඇය මේ දිනවල ඇමරිකාවේ කල් ගෙවන නමුත් ඇයට ලෙන්ගතු මෙරට රසිකයින් වෙනුවෙන් නව ආරක ගීයක් තිළිණ කර ඇත්තේ ඉදිරියේ දී මෙරට සංගීත ලෝලීන් වෙනුවෙන් වෙනස් රසයක් ඇති ගීත නිර්මාණ ගොන්නක් ගෙන ඒමේ බලාපොරොත්තුවෙනි. මේ සුහද පිළිසඳර ඒ පිළිබඳව යි.  

@ළඟදි අලුත් සිංදුවක් යූ ටියුබ් එකට එකතු කළා නේද?

මම රිලීස් කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ වෙන සිංදුවක්. ලංකාවට ඇවිත් ඒ සිංදුවට වීඩියෝ එකකුත් කරලයි ගියේ. හිතපු විදිහට ඒ සිංදුව මේ මාසේ රිලීස් කරන්න බැරි වුණේ වීඩියෝ එකේ තව වැඩ ටිකක් ඉතුරු වෙලා තියෙන නිසයි. ඒත් මං රසිකයන්ට පොරොන්දුවක් වුණානේ සිංදුවක් දෙනවා කියලා. ඒ නිසා තමයි පොඩි වීඩියෝ එකකුත් කරලා “සදාතනික ආදරේ” කියන මේ සිංදුව යූ ටියුබ් එකට රිලීස් කළේ. මේ සිංදුවේ තනුව සහ වචන මගේ. මියුසික් කළේ ඇමරිකන් ජාතික විල් කාමෙක්. මියුසික් වීඩියෝ එක කළේ ලව් ලිව් ෆොටෝග්‍රැෆි. මේක අපේ දැන් තියෙන රැල්ල එහෙම පිටින් ම වෙනස් වෙන විදිහෙ සිංදුවක්. රසිකයෝ නිතරම කියනවා මේ තියෙන මියුසික් රැල්ල එපා වෙලා ඉන්නේ ලංකාවට ඇවිත් අලුත් දෙයක් කරන්න කියලා. ඒ නිසයි මං තීරණය කළේ මොකක් හරි වෙනසක් එක්ක ආදර ගීතයක් රිලීස් කරන්න ඕනෙ කියලා. මේ මගේ සිංදුවක් ලංකාවේ රිලීස් වුණේ අවුරුදු 11කට පස්සෙ. මේ සිංදුවේ හැමදෙයක් ම වගේ කෙරුණේ ඇමරිකාවේ.

@ඊළඟ ගීතය ගැනත් යමක් කිව්වොත්?

තව මාස කිහිපයකින් “අනන්තය සොයා” කියන මගේ ඊළඟ සිංදුවත් රිලීස් වෙනවා. ඒ සිංදුවට තමයි මම පහුගිය දවස්වල ලංකාවට ඇවිත් විෂුවල් එකක් කරලා ගියේ. මං හිතනවා ඒ විෂුවල් එකෙන් අපේ තියෙන රැල්ල අනිත් පැත්තට හැරෙයි කියලා. දැනට තියෙන එක ම විදිහේ විෂුවල් ගොඩක් කරලා තියෙන්නෙ සල්ලි හොයන්නයි වීව්ස් ගන්නයි. මේක එහෙම පිටින් ම අපේ ට්‍රෙන්ඩ් එක උඩුයටිකුරු වෙන වීඩියෝ එකක්. 

@ඔබ ගායනා කරන ගීත බොහෝමයක පද රචනයත් ඔබේමයි?

මගේ හිතට දැනුණු හැඟීමක් තමයි “සදාතනික ආදරය” නමින් සිංදුවක් විදිහට ලියැවුණේ. ඒක මගේ හිතට පාළුවක් දැනුණු වෙලාවක ලියපු සිංදුවක්. කොහොමත් මගේ ගීත ඇල්බම් දෙක ම ගත්තත් පිට අය ලියුව ගීත තියෙන්නේ දෙකතුනයි. ඉතිරි ගීත සියල්ලම ලියුවේ මම. ඇමරිකාවේ ගායනා කරන ඉංග්‍රීසි සිංදුත් මමමයි ලියාගන්නෙ.  

@මේ දවස්වල ඇමරිකාවට වෙලා මොකද කරන්නෙ?

මේ දවස්වල මම ජොබ් එකක් නම් කරන්නෙ නෑ. ටිකක් නිදහසේ ඉන්නවා. ඒ අතරේ මගේ මියුසික් වැඩ ටික වුවමනාවෙන් කරගෙන යනවා. තව මාස හතරකින් අලුත් සිංදුව රිලීස් වුණාම තවත් අලුත් දෙයක් රසිකයන්ට දෙන විදිහ ගැන හිතන්න ඕනෙ. කොහොමත් මම හිතන් ඉන්නවා ආපහු ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ක්‍රියාකාරී වෙන්න. දැන් ඉතිං අවුරුදු 11ක් තිස්සෙ නිශ්ශබ්දව හිටියානේ. මට දැන් හිතෙනවා නිහඬව හිටියා ඇති කියලා.

@ළඟදි ලංකාවට එන්න අදහසක් නැද්ද?

ලබන අවුරුද්දෙ ලංකාවට එනවා. මේ අවුරුද්දෙ නම් එන්න වෙන්නෙ නෑ. මගේ මියුසික් ඇල්බම් එකේ ඉතුරු වැඩ ටික ඉවර කරනකල් කොහේවත් යන්න විදිහක් නෑ. ඒ වැඩ ඉවර වුණාම ලංකාවට එනවා මගේ අලුත් සිංදු දෙක ම ගැන කතා කරන්න. සමහරවිට තුන්වෙනි සිංදුවකුත් අරගෙන එයි මං.

@ලංකාවේ මියුසික් ගැන මොකද හිතෙන්නෙ?

එක ම රැල්ලකට යන ගතියක් තමයි දකින්න තියෙන්නෙ. අද සමහර ගායක ගායිකාවෝ සිංදුව, තනුව සංගීතය හෝ අදහස වගේ දේවල් ගැන නෙවෙයි අවධානය යොමු කරන්නෙ, මියුසික් වීඩියෝ එක පැත්තට. ඒ වුණත් සමහර මියුසික් වීඩියෝ බලන්න බෑ. මගේ “රන්වන් රන්” සිංදුව ජනප්‍රිය වුණේ වීඩියෝ එකක් නැතුවයි. වීඩියෝ එකක් කරන්න අවශ්‍ය වුණේ නෑ. ඒ සිංදුව රේඩියෝ එකෙන් විතරක් ජනප්‍රිය වුණ සිංදුවක්. ඒ වුණත් දැන් ගොඩදෙනෙක් කරන්නේ මොනවා හරි වචන ටිකක් ගලපලා දානවා. ඒකට තනුවක් දාලා සිංදුවක් කරනවා. සල්ලි ටිකක් වියදම් කරලා වීඩියෝ එකක් කරලා යූ ටියුබ් එකේ රිලීස් කළාම ඒකට තියෙන වීව්ස් ගැන තමයි ඒ අය සැලකිලිමත් වෙන්නේ. මට හිතෙනවා ඒ වගේ දේවල්වලින් සංගීතයට ඉදිරි ගමනක් නෑ කියලා. අලුත් දෙයක්, වෙනස් දෙයක් කරන්න ඕනෙත් හරයක් ඇතුව. ලංකාවේ ඉන්න මගේ රසිකයන් ෆේස්බුක් එකෙන් දැන් අපේ තියෙන සමහර මියුසික් වීඩියෝවල ලින්ක් එවලා කියනවා බලන්න ටීෂා අක්කෙ දැන් ලංකාවෙ මියුසික්වලට වෙලා තියෙන දේ කියලා. ඇත්තට ම ඒවා දකිනකොට දුකයි. මියුසික් පැත්තෙන් ලංකාව අද ඉන්න ඕනෙ තත්ත්වය මේක නෙවෙයි. දියුණුවකට වැඩිය මට පේන්නෙ ආපස්සට යෑමක්.

@ප්‍රසංගයක් එහෙම කරන්න අදහසක් නැද්ද?

අදහසක් තියෙනවා ලංකාවට ඇවිත් අලුත් වෙනසක් එක්ක ප්‍රසංගයක් කරන්න. ඒත් තාම ඒ ගැන සැලසුම් කරලා නෑ. මම ඇමරිකාවේදි ගොඩක් ප්‍රසංගවලට සහභාගි වෙන නිසා දැකලා තියෙනවා කලාකරුවෙක් කොහොමද වේදිකාවේ ඉදිරිපත් කිරීමක් කරන්නේ කියලා. සංගීතය, ආලෝකකරණය, වේදිකාව වගේ හැම දෙයක් ගැන ම ඔවුන් සැලකිලිමත්. ඒ දේවල් දිහා බලන් ඉඳලා අපිටත් ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. මම ඇමරිකාවෙ ප්‍රසංගවලට සහභාගි වෙනවා ඉංග්‍රීසි ගීත ගායනා කරන්න. ඉස්සර මම අපේ ලංකාවේ අයට ඩිනර් ඩාන්සර්ස් කළා. ඒ වැඩේ දැනට නවත්තලා තියෙන්නේ ප්‍රසංගවලට සහභාගි වෙන නිසා.  

@මෙහේ ගායකයෙක් වෙන එක දැන් හරි ම ලේසියිනේ. ඇමරිකාවෙත් එහෙමද?

කොයිතරම් හොඳ නිර්මාණයක් කළත් ඇමරිකාව වගේ රටක හරි අමාරුයි තැනකට එන්න. තරගය වැඩියි. ඒ නිසා ම හරයක් නැති දේවලට ඉඩක් නෑ. මෙහේ රැපර්ස්ලටත් තියෙනවා වෙන ම ස්ථාවරයක්. ඒ අයගෙන් වුණත් හොඳ ම අය තමයි ඉස්සරහට යන්නෙ. දක්ෂතාව නැතිව මෙහේ කවදාවත් ඉදිරියට යන්න බෑ.
ඇමරිකාව වගේ රටවල් එක්ක සන්සන්දනය කරලා බැලුවම ලංකාවේ සංගීත ක්ෂේත්‍රය මේ වෙලා තියෙන දේ ගැන ඇත්තට ම දුකයි. ඉස්සර නම් අපිට ඔහේ හිතුන ගමන් මොකක් හරි සිංදුවක් කරලා ක්ෂේත්‍රයට එන්න පුළුවන්කමක් තිබුණෙ නෑ. මං මුලින් ම කළේ “පියාපත් ඇවිදින්” කියලා සිංදුවක්.ඒක ජනප්‍රිය වුණේ නෑ. ඊට පස්සෙ “රන්වන් රන්මාල” සිංදුව ජනප්‍රිය වුණේ ඒක වෙනස් ම රසයක් තිබුණු සිංදුවක් නිසා. දැන් තියෙන සමහර මියුසික් වීඩියෝ බලන්න අප්පිරියයි. ඒවගේ ම පොඩි ළමයි ඉන්න තැන්වල නම් කොහොමත් බලන්න බෑ. මියුසික් වීඩියෝ එකකදි අඩ නිරුවත පාවිච්චි කරන එක ප්‍රශ්නයක් නෑ. ඒත් ඒක ඒ සිංදුවට අදාළ වෙන්න ඕනෙ. ඒ වීඩියෝ එකට කලින් බලන්න ඕනෙ සිංදුවේ තියෙන ගුණාත්මක බව ගැන. අපි ගීතයකින් කරන්නේ තව කෙනෙකුගේ හිතට කතා කරන එකනෙ. ඒ දේ කරන්න බැරි නම් ඒ ගීතයෙන් වැඩක් නෑ. අද වෙද්දි ලංකාවේ සංගීතය ව්‍යාපාරයක් වෙලා. ඒකයි ලොකු ම ප්‍රශ්නය. ඕක වෙනස් වෙයි ද? වෙනස් කරන්න පුළුවන් වෙයි ද? කියන එක නම් මම දන්නෙ නෑ. ලංකාවේ නැති නිසා මට ඒ සම්බන්ධයෙන් ගොඩක් දේවල් කරන්නත් බෑ.

@ලංකාවේ ඉන්න රසිකයින්ට මොනවද කියන්න තියෙන්නෙ?

මම ගොඩක් වාසනාවන්තයි. ලංකාවේ රසිකයින්ගේ ආදරේ තාමත් ලැබනේනේ ඒ නිසයි. මම ලංකාවෙ හිටිය කාලේ මොනවා හරි දෙයක් හරියට කරලා තියෙනවා කියලා කියන්න ඒ ආදරේ සාක්ෂියක්. රසිකයින්ට කියන්න තියෙන්නේ එක ම රාමුවක ඉන්නෙ නැතුව සංගීතය ගැන තව තවත් හැදෑරීම් කරලා වෙනස් රසයක් තියෙන නිර්මාණ එයාලට දෙන්න කැපවෙනවා කියන එකයි. මේ වෙද්දි ලංකාවේ නොහිටියට ඇමරිකාවේ ඉඳන් හරි එයාලගේ සතුට වෙනුවෙන් සහ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් මට කරන්න පුළුවන් උපරිමය මම කරනවා. මම මගේ රසිකයන්ට හැමදාමත් ආදරෙයි.

මිහිරි කාංචනා


Related Articles

Stay Connected

0FansLike
3,589FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles