Home Hard Talk සුන්දරත්වය ඇත්තේ වස්තුවේද?බලන්නාගේ දෑසෙහිද?

සුන්දරත්වය ඇත්තේ වස්තුවේද?බලන්නාගේ දෑසෙහිද?

thewoman.lk yureni

ඉමානුවෙල් කාන්ට්(Imamanuel Kant) (1724-1804) 18 වෙනි සියවසෙහි විසූ ජර්මානු දාර්ශනිකයෙකි. පුනරුදයේ බොහෝ චින්තකයන් මෙන්ම ඔහුද තර්කනයේ මානසික හැකියාව ඉහළින්ම අගය කළේය. අප අත්දකිමින් සිටින ලෝකයට ව්‍යුහයක් කවන ලද්දේ අපගේ තර්කන ශක්තිය මගින් යැයි හේ තරයේ විශ්වාස කළේය. සුන්දරත්වය (beauty) අත්විඳීමට ද, එය අත්දැකීමක් ලෙසින්, ග‍්‍රහණය කරගැනීමට ද හැකියාව ලැබෙන්නේ, අපගේ විනිශ්චය ශක්තිය හේතුවෙන් යැයි හේ තර්ක කළේය.
සෞන්දර්වේදයෙහි නිර්මාතෘ කාන්ට් නොවූවද, එය විධිමත් කර නව සියවසට ගැලපෙන කලාව පිළිබඳ නව මතයක් බවට පත්කරන ලද්දේ ඔහු විසිනි. ඉතිහාසයේ පළමුවරට කලාව ජීවිතයෙහි කැපී පෙනෙන සාරධර්මයක් බවට පත්වූ අතර එය සෞන්දර්යවේදය නමැති දැනුම ප‍්‍රකාරයක ප‍්‍රතිඵලයක් හෙවත් කලාවස්තුවක උත්තේජනයට පුද්ගලයා විසින් දක්වනු ලබන ප‍්‍රතිචාරයක් ලෙසින් සලකන ලදී. වින්දනය කරන්නාගේ හෝ කලාකරුගේ අභිලාෂය කුමක් වුවද කලා වස්තුව සම්භාවනාගත වන්නේ ‘ඇතුළු දැක්ම’ සහ ‘ප‍්‍රමෝදය’ වෙත වන හෙයින්, එය සුවිශේෂ වස්තුවක් වෙයි. සෞන්දර්යවේදය යනු, කලාකරුවා සහ කලා විචාරකයා හෝ දාර්ශනිකයාද අතර පවත්නා ද්විත්ව ගනුදෙනුවකි. දාර්ශනික තත්ත්වයකි.
කාන්ට්ගේ සුන්දරත්වය විනිශ්චය කිරීම (The Judgement of the Beautiful) නම් ග‍්‍රන්ථය ආරම්භ කෙරෙන්නේ සුන්දරත්වය පිළිබඳ විස්තරයකිනි. එහිලා මතු කැරෙන මූලික ප‍්‍රශ්නයක් නම් ”හරි සුන්දර හිරු බැස යාමේ දර්ශනයක්” යනුවෙන් අපට කිව හැක්කේ කවර ආකාරයේ විනිශ්චයකට අනුවද යනුයි. කාන්ට් පවසන අන්දමට එවැනි සෞන්දර්යාත්මක හෙවත්් රසය පිළිබඳ විනිශ්චයයක් සඳහා, කැපී පෙනෙන ප‍්‍රධාන ලක්ෂණ හතරක් තිබිය යුතුය. එනම්,
* එම විනිශ්චය උපේක්ෂා සහගත (disinterested ) විය යුතුය. එනම් අප යම්දෙයකින් සන්තුෂ්ටියක් ලබන්නේ එය සුන්දර යැයි අප තීරණය කරන හෙයිනි. එහෙත් යමක් සන්තුෂ්ටිදායක වන තරමින් එය සුන්දර යැයි අපි නිගමනය නොකරමු.
* දෙවනුව සහ තෙවනුව එබඳු විනිශ්චයයන් සර්වභෞමික (Universal) මෙන්ම අත්‍යවශ්‍ය ද වෙයි. එයින් අදහස් වන්නේ, එබඳු විනිශ්චයයක් සිදු කිරීමේ දී, අන් අය ද අප සමඟ සම්බන්ධ වනු ඇතැයි සාධාරණ ලෙස අපේක්ෂා කරන බවය.
‘සුන්දරත්වය පවත්නේ බලන්නාගේ දෑස තුළ’ යැයි (Beauty is in the eye of the bebddes) කීවද, අප ක‍්‍රියා කරන්නේ ඒ අන්දමින් නොවේ. ඒ වෙනුවට සෞන්දර්යවේදී විනිශ්චයන් ගැන විශේෂයෙන්ම කලා නිර්මාණ සම්බන්ධ අපි වාද විවාද කරමු. එවැනි වාද විවාදවලින් යහපතක් අත්වේ යැයි ද අපි විශ්වාස කරමු. ඇත්තවශයෙන්ම, බොහෝ පරමාර්ථයන්ට අදාළව, ”සුන්දරත්වය” හැසිරෙන්නේ බර ප‍්‍රමාණය සහ රසායනික සංයුතිය සේම, අදාළ වස්තුවෙහි තථ්‍ය ගුණයක් වූ ආකාරයෙනි. කාන්ට් අවධාරණය කර සිටින්නේ සර්වභෞමිකභාවය සහ අවශ්‍යතාවය යනු මානව මනසෙහිම නිෂ්පාදන බවය. එම ලක්ෂණ කාන්ට් විසින් හඳුන්වනු ලබන්නේ ”ප‍්‍රායෝගික බුද්ධිය” හෙවත් ‘වැටහුම් නුවණ’ (Common sense) ලෙසටය.


සිව්වෙනුව, සෞන්දර්යාත්මක විනිශ්චයක් තුළින්, සුන්දර වස්තූන්, පරමාර්ථයකින් තොර එහෙත් පරමාර්ථශීලී (purposive without purpose) ඒවා ලෙසින් පෙනී යයි. කිසියම් වස්තුවක පරමාර්ථය වන්නේ එය සැසඳීමේ දී අනුගමනය කරන ලද සංකල්පයයි. (උදා: චිත‍්‍රයක් පිළිබඳව සිත්තරාගේ සිතෙහි පවත්නා සංකල්පයයි.) එවැනි පරමාර්ථයක් වස්තුවක් තුළ ඇති බවක් පෙනී යන්නේ නම්, එම වස්තුව පරමාර්ථශීලී වෙයි. කාන්ට් කියා සිටින්නේ, සුන්දර වස්තූන් කිසිදු පරමාර්ථයක් නොතිබුණ ද පරමාර්ථ සහිත ඒවා මෙන් අප වෙත ආවේදනය විය යුතු බවයි.
සෞන්දර්යාත්මක විනිශ්චයන්හි ප‍්‍රධාන ලක්ෂණ මෙසේ හඳුන්වා දෙන කාන්ට් විනිශ්චයන් සිදුවිය හැකි අන්දමත්, එවැනි විනිශ්චයන් වලංගු ඒවාද යනුත් ප‍්‍රශ්න කරයි. කාන්ට් මුලින්ම අවධානය යොමු කරන්නේ සොබාදහමේ සුන්දරත්වය කෙරෙහිය. අපි රෝස මලක්, හිරු බැස යාම, හෝ සතෙකු ‘සුන්දර’ යයි කියමු. එවැනි විනිශ්චයකින් මූලික වශයෙන් අදහස් කරන්නේ කුමක් ද? එය මානසික ක‍්‍රියාවක් ලෙසින් සිදුවන්නේ කෙසේ ද? වැනි ප‍්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා, එවැනි විනිශ්චයන්හි මූලික ලක්ෂණ පැහැදිලි කරගත යුතු බව කාන්ට් කියයි.
සුන්දරත්වය යනු සොබාදහම, පරිකල්පනයේ හා අවබෝධයේ එකමුතුවද? සුන්දරත්වය පිළිබඳ සෞන්දර්යාත්මක විනිශ්චයන්හි විශේෂ ලක්ෂණ හතරක් ගැන කාන්ට් සාකච්ඡුා කරයි. එම විශේෂ ලක්ෂණ ඔහු හඳුන්වන්නේ ‘ක්ෂණයන්’ (Moment) ලෙසිනි.
1. පළමුවන ක්ෂණය: සෞන්දර්යාත්මක විනිශ්චයක්
ඇල්මෙන් තොරය. ඇලූම් වර්ග දෙකක් ඇත. ඇලූම් කටයුතු
දේ පිළිබඳ ඇල්ම සහ යහපත් භාවය පිළිබඳ සංකල්ප ඔස්සේ
හටගැනෙන ඇල්මයි. එවැනි ඇලූම්වලින් තොරවන්නේ
සෞන්දර්යාත්මක විනිශ්චය පමණකි. ඇල්ම යනු සැබෑ ආශාව සහ ක‍්‍රියාව අතර සම්බන්ධීකාරකයයි. (Link) සෞන්දර්යවාදී විනිශ්චයයේ දී අදාළ වස්තුවෙහි සැබෑ පැවැත්ම අදාළ නොවෙයි. නිසැකවම එම වස්තුව හෝ එහි පිටපතක් හෝ අයත් කරගැනීමට ඔබ තුළ ආශාවක් ඇතිවිය හැකිය. ඒ ඔබ එයින් සන්තුෂ්ටියක් ලබන හෙයිනි. එහෙත් එම සන්තුෂ්ටිය සහ එමඟින් හටගන්නා ආශාව, සෞන්දර්යාත්මක විනිශ්චයට පිළිලයක් වෙයි. විනිශ්චය නිසා සන්තුෂ්ටිය හටගනු මිස, සන්තුෂ්ටිය නිසා විනිශ්චය හට නොගනී.
මේ අන්දමින්, කාන්ට් ප‍්‍රසිද්ධියේම කියා සිටින්නේ සෞන්දර්යාත්මක විනිශ්චය අදාළ වස්තුවෙහි ස්වරූපය (හැඩය, ගැලපීම, රිද්මය ආදී)පිළිබඳව විනා සංවේදී අන්තර්ගතය (ආදරය, දුක, අනුකම්පාව ආදී) පිළිබඳව නොවිය යුතු බවය. ඒ සංවේදී අන්තර්ගතය ඇල්ම හා දැඩිව සම්බන්ධනය වන හෙයිනි. ඒ අනුව කාන්ට් සෞන්දර්යවේදයේ රූප ප‍්‍රධාන වාදයෙහි (formulism) සමාරම්භකයා බවට පත්වෙයි.
2. දෙවෙනි ක්ෂණය : සෞන්දර්යවේදී විනිශ්චයන් ක‍්‍රියා කරන්නේ සර්වභෞමිකවය. එනම් අන් අයගේ අනුමැතිය ද එයට අවශ්‍ය වෙයි. සුන්දරත්වය යන්න අදාළ වස්තුවෙහිම පවත්නා සැබෑ ගුණයක් වන්නාක් මෙනි. රසය පිළිබඳ සෞන්දර්යාත්මක විනිශ්චය පරාවර්තනීය විනිශ්චයන් වන හෙයින්, ඒවාහි ප‍්‍රමාණවත් සංකල්ප නොමැත. එහෙයින් ඒවා හැසිරෙන්නේ විෂය මූලික වූ (Objective) ඒවා ලෙසිනි. කාන්ට්ගේ මතය, සමකාලීන මතවලට උදා: ‘සුන්දරත්වය පවත්නේ බලන්නාගේ දෑස තුළය’ (Beauty is inthe eye of the beholder) පටහැණිය. එවැනි මතයකින් අප සුන්දරත්වය අත්විඳින අන්දම නිවැරදිව ප‍්‍රකාශ නොවෙයි. පොදු විශ්වාසය වනුයේ, සුන්දරත්වය ගැබ්ව තිබෙන්නේ අදාළ වස්තුව තුළම බව කාන්ට් ගේ මතයයි.
3. තුන්වෙනි ක්ෂණය: පරමාර්ථය සහ පරමාර්ථශීලීභාවය
පිළිබඳ ගැටලූව හඳුන්වා දෙයි. කිසියම් වස්තුවක පරමාර්ථය වනුයේ එය නිෂ්පාදනය කිරීමේදී අනුගමනය කෙරෙන සංකල්පයයි. පරමාර්ථශීලිභාවය යනු, එය නිෂ්පාදනය කරනු ලැබූ හෝ සැලසුම් කරනු ලැබූ එකක් බව පෙනී යාමය. කාන්ට්ගේ මතය නම්, සුන්දර දෙය පරමාර්ථශීලී විය යුතු නමුදු, නිශ්චිත පරමාර්ථයකින් තොර එකක් විය යුතු බවය. ‘නිශ්චිත පරමාර්ථය’ යනු එක්කෝ, බාහිර පරමාර්ථ ගොනුව (එම දෙයින් අපේක්ෂා කරනු ලබන කාර්යය) විය හැකිය. නැතිනම් අභ්‍යන්තර පරමාර්ථය (එම දෙය කුමක් වැනි විය යුතුද යන්න) විය හැකිය. පළමු කොන්දේසියට අනුව නිර්මාණය කිරීමේ සාර්ථකතාව මනිනු ලබන්නේ එහි උපයෝගීතාව අනුවය. දෙවෙනි කොන්දේසියට අනුව සාර්ථකතාව මනිනු ලබන්නේ පරිපූර්ණත්වය(Perfection) අනුවය. කාන්ට්ගේ තර්කය නම්, නිර්මාණයක සුන්දරතාව යන්න උපයෝගීතාවය හෝ පරිපූර්ණත්වය නොවන නමුදු එය පරමාර්ථශීලීවීමය. සොබාදහමෙහි සුන්දරත්වය අපගේ විනිශ්චයට අනුව. පරමාර්ථශීලී යයි පෙනෙනු ඇත.
කලාවෙහි පරමාර්ථශීලීභාවය ඊට ද වඩා සංකීර්ණය. එවැනි කෘතීන් නිපදවීම පිටුපස පරමාර්ථ තිබිය හැකි වුවද (කිසියම් කල්පනයක් හෝ මනෝභාවයක් ප‍්‍රකාශ කිරීම වැනි) අදාළ වස්තුව සුන්දර එකක් වීම සඳහා එය ප‍්‍රමාණවත් නොවෙයි. සෞන්දර්යාත්මක විනිශ්චයය නිසි අන්දමින් සිදුකිරීමට නම්, නිර්මාණ පිටුපසින් තිබිය හැකි පරමාර්ථ පිළිබඳව අවධානය යොමු නොකළ යුතුය. සුන්දර දෙය පසුපස තිබිය හැකි පරමාර්ථය අප‍්‍රකටය. එය ප‍්‍රකට කරගැනීමට ද
නොහැකිය. එසේ වුවද, කිසියම් නිශ්චිත පරමාර්ථයක්
නොමැති දෙයක් පරමාර්ථශීලී වන්නේ කෙසේ ද යන්න තවමත්ම ගැටලූවක්ව පවතියි.
4. සිව්වෙනි ක්ෂණය : මෙහිදී කාන්ට් උත්සාහ කරන්නේ, සෞන්දර්යාත්මක විනිශ්චයන් මගින්, ‘මූලධර්මයන්ට අනුකූලව’(according to principle), ‘අවශ්‍ය භාවය’ (being necessary) සපිරී තිබිය යුතු බවය. කාන්ට් ප‍්‍රශ්න කර සිටින්නේ, ‘විනිශ්චයයක අවශ්‍යතාවට පදනම් වන්නේ කුමක් ද?’ කියාය. එනම් විනිශ්චය කරන්නක් පිළිබඳව එයින් කියැවෙන්නේ කුමක් ද යනුයි.
කාන්ට්ගේ මතයට අනුව විනිශ්චයක අවශ්‍යතාවයට පදනම් වන්නේ ‘ව්‍යවහාර ඥානය’ (Common sense) ය. එයින් ඔහු අදහස් කරන්නේ අපගේ රසයට අදාළ ප‍්‍රමුඛ මූලධර්මයයි. එනම් සුන්දර දෙය පිළිබඳව අපගේ හැඟීමයි. කාන්ට්ගේ මතය නම්, සුන්දරත්වයට අදාළ ක්ෂණ හතරම all four moments of the Beautiful), ‘ව්‍යවහාර ඥානය’ යන යෙදුමෙහි කැටිව ඇති බවය. එසේම ‘ව්‍යවහාර ඥානය’ යන්න සාමාන්‍ය ප‍්‍රජානනය (ordinary cognition) හා සමාන වන බවය. නැතිනම් ඒ මත රඳා පවත්නා බවය. සාමාන්‍ය ප‍්‍රජානනය යනු ස්වභාවික හා නිශ්චිත අත්දැකීම පහසු කරවන මානව ලක්ෂණයන්ය.
මේ දක්වාම, සුන්දරත්වය සහ උත්කෘෂ්ටභාවය පිළිබඳ සාකච්ඡුාවේදී කාන්ට්ගේ අවධානය යොමු වූයේ සොබාදහම වෙතය. හේ දැන් ලලිත කලාව වෙත යොමුවෙයි. ලලිත කලා යනු පුද්ගලයන් විසින් හිතාමතාම කරනු ලබන නිර්මාණ හෝ නිෂ්පාදන වේ. බිතු සිතුවම් හෝ නර්ථන විලාසිතා කාන්ට්
උපකල්පනය කරන අන්දමට ස්වභාවික සුන්දරත්වය විනිශ්චය කිරීමේ දී උපයෝගී වන ප‍්‍රජානනය (Cognition) සහ ලලිත කලාව විනිශ්චය කිරීමේ දී උපයෝගී වන ප‍්‍රජානනය අතර වෙනසක් නොමැතිය. ඒ අනුව, ලලිත කලාවට අමුත්තක් වන ගැටලූව වනුයේ එය නරඹන්නා විසින් දකිනු ලබන ආකාරය නොව, එය නිර්මාණය කරනු ලබන ආකාරයයි. එයට විසඳුම නව සංකල්ප දෙකක් අතරේ භ‍්‍රමණය වෙයි. ඒවා නම්, ප‍්‍රතිභාවන්තයා (the genius) සහ ‘සෞන්දර්යාත්මක කල්පන (aesthetic ideas) ය.
කාන්ට්ගේ මතයට අනුව කලාව රසාත්මක විය හැකිය. එනම් සෞන්දර්යාත්මක විනිශ්චයට අනුකූල විය හැකිය. එනම් එය සුන්දර ස්වභාවික වස්තුවක කෘත‍්‍රිම අනුවාදයක් පමණක් බවට පත් නොවේ. ලලිතකලාවට ‘ආත්මය’ (Soul) කවනු ලබන්නේ සෞන්දර්යාත්මක කල්පනයක් වන බුද්ධිමය කල්පනය මගිනි. බුද්ධිමය සංකල්පනයක් යනු, කිසිවිටෙකත් ප‍්‍රමාණවත් ලෙස ප‍්‍රදර්ශනය කළ නොහැකි සංකල්පයක් වන අතර, සෞන්දර්යාත්මක සංකල්පයක් යනු, කිසිදු සංකල්පයකට ප‍්‍රමාණවත් පරිදි අනුකූල නොවන, අර්ථාන්විත ප‍්‍රතිපාදන ගොනුවකි. ඒ අනුව, සෞන්දර්යාත්මක කල්පනයක් යනු, තාර්කනික කල්පනය හැකිතරම් සාර්ථකව ‘ප‍්‍රදර්ශනය කිරීමට’ (exhibit) දරනු ලබන ප‍්‍රයත්නයකි.
සෞන්දර්යාත්මක කල්පන උත්පාදනය කිරීම ප‍්‍රතිභාවන්තයාගේ කුසලතාවයක් වන නමුදු, එය ඊටම සීමා නොවෙයි. පළමුවෙන්ම ප‍්‍රකාශන විලාශය ද රසාත්මක විය යුතුය. අවබෝධයෙහි ‘න්‍යායානුකූලභාවය’ (lawfulness) රඳා පවතින්නේ ප‍්‍රකාශනය කවර අර්ථයකින් හෝ සර්ව භෞමික සහ රසවිඳිය හැක්කක් වීම මත වන හෙයිනි. ප‍්‍රතිභාවන්තයා තෝරා ගන්නා ප‍්‍රකාශන ආකාරය ද නරඹන්නාට එම නිර්මාණය හුදෙක්ම ‘තේරුම් ගැනීමට’ පමණක් නොව, ප‍්‍රතිභාවන්තයා එය නිර්මාණය කිරීමේ දී අත්විඳි, කුල්මත් වූ එහෙත් ඒකාග‍්‍ර වූ මානසික තත්ත්වය යම්තාක් දුරකට නරඹන්නාට ද අත්විඳීමට උපකාරී වන අන්දමේ එකක් විය යුතුය.
කාන්ට් ලලිත කලාව පිළිබඳව උනන්දුවක් දක්වන්නේ පළමුවරටය. ඔහුට තවමත් ඉතාමත් වැදගත් වන්නේ, ඒ වන විටද ගොඩනඟාගෙන සිටි සෞන්දර්යාත්මක විනිශ්චය පිළිබඳ මතයයි. සොබාදහමේ සුන්දරත්වය විමර්ශනය කිරීමේ දී මෙන් නොව, මෙහිදී අවධානය යොමු කළ යුතුව ඇත්තේ, ලලිත කලා නිර්මාණයට අදාළ අනුභූති තත්ත්වයන් (Transcendental conditions) වෙතටය. කලාව නිර්මාණය කළ හැක්කේ කෙසේ ද? එය නිරාකරණය කිරීම සඳහා කාන්ට් හඳුන්වා දෙන්නේ ප‍්‍රතිභාවන්තයා පිළිබඳ මතයයි.
එකම වෙනස එය නොවෙයි. කාන්ට් මැදිව සිටිනුයේ ද, සෞන්දර්යවේදයෙහි සම්පූර්ණ ඓතිහාසික වෙනස්වීමකටය. ඉහතදී දාර්ශනික සෞන්දර්යවේදය එහි මූලික සෞන්දර්යාත්මක නිදර්ශන සොයා ගත්තේ සොබාදහම තුළිනි. කාන්ට්ගෙන් පසුව, අවධානය ප‍්‍රධාන වශයෙන් යොමුවූයේ කලාකෘතීන් වෙතය. කාන්ට්ට අනුව ලලිත කලාව තම සුන්දරත්වය සහ උත්කෘෂ්ටභාවය අත්කරගන්නේ සොබාදහමින් ”ණයට ගැනීමෙනි.” ඒ නිසා, ලලිත කලා ද්විතීය සංකල්පයක් බවට පත්වෙයි. මේ නිසා සොබාදහම සහ කලාව අතර සම්බන්ධතාව මුලදී දක්නට ලැබුණු අන්දමට වඩා සංකීර්ණ වෙයි.
ඒ නිසා කලාව භව්‍ය (Possible) වන්නේ, කෙසේදැයි වටහා ගැනීම සඳහා, කලාව යනු කුමක් ද කලා නිෂ්පාදනය යනු කවරේද? යනුත්, ඒ හා සබැඳි ස්වභාවික වස්තූන් සහ ස්වභාවික ‘නිෂ්පාදන’ (Production) ද අපි අවබෝධ කරගත යුතුවෙමු. එසේ නම්, ‘ස්වභාවය’ (nature) යන්නෙන් කාන්ට් අදහස් කරන්නේ කුමක් ද?
කලාව යන්නෙන් අදහස් වන්නේද, විද්‍යාවට වඩා වෙනස් දෙයක් බව කාන්ට් කියයි. එය දැනුම වර්ගයකට වඩා වෙනස් කුසලතාවයකි. (skill) විද්‍යාව ඉගැන්විය හැකිය. කලාව, පුහුණු කරනු ලැබිය හැකි නමුදු සහජ කුසලතාව මත යැපෙන්නකි. කලාව, (සුන්දරත්වය සේම* කිසිදු ඇල්මකින් තොරය.
කලාව, යාන්ත‍්‍රික සහ සෞන්දර්යාත්මක වශයෙන් උපකොටස් දෙකකට බෙදෙයි. යාන්ත‍්‍රික කලා, නිෂ්පාදනය කිරීමේ පරමාර්ථයට අදාළ නිශ්චිත සංකල්පයකින් පාලනය වෙයි. සෞන්දර්යාත්මක කලාවන්හි ආසන්නතම අරමුණ සන්තුෂ්ටියයි. අවසාන වශයෙන් අභිමත කලා සහ ලලිත කලා අතර වෙනසද කාන්ට් පැහැදිලි කරයි. පළමුවැන්න හුදු සංවේදනය පමණක් ඔස්සේ සන්තුෂ්ටිය හටගන්වයි. දෙවැන්න විවිධ වර්ගයේ ප‍්‍රජානනයන් ඔස්සේ සන්තුෂ්ටිය හටගන්වයි.
පැහැදිළි විරුද්ධභාෂයන් දෙකක් තුළින් කාන්ට් එම ගැටලූව නිරාකරණය කරයි. පළමුවැන්න සඳහන් කිරීම පහසුය. ලලිත කලා යනු සිතාමතාම සිදුකරනු ලබන නිෂ්පාදනයකි. එය සාදනු ලබන්නක් වන හෙයිනි. පොදුවේ ගත්විට කලාව යනු, කිසියම් වස්තුවක සංකල්පයට අනුව සිදු කෙරෙන නිපැයුමකි. එහෙත් ලලිත කලාවට එහි නිෂ්පාදනයට
ගැලපෙන සංකල්පයක් තිබිය නොහැකිය. එසේ නොවන්නට සියලූම සෞන්දර්යාත්මක විනිශ්චයයන්ට අදාළ වන එක් ප‍්‍රධාන අංගයක් එය පිළිබඳව සිදු කෙරෙන විනිශ්චයකට ඇතුළත් නොවනු ඇත. එනම්, ‘පරමාර්ථයකින් තොර පරමාර්ථශීලීභාවය’ (Purposiveness without a purpose) යි. එහෙයින් ලලිත කලාව, පොදුවේ ගත් විට, කලාවක් විය යුතුවාක් මෙන්ම කලාවක් නොවිය යුතු ද වෙයි.
දෙවෙනි විරුද්ධභාෂය නම්, ස්වභාවික නොවන කලාව,
ස්වභාවික ලෙසින් පෙනී යායුතු බවය. ”කලාවට රීතියක් ගෙන දෙන සහජ කුසලතාව ප‍්‍රතිභාවන්තභාවය (genius) යි. සහජ කුසලතාව යනු, කලාකරුවාගේ ජන්ම නිෂ්පාදන හැකියාවයි. එහෙයින් එය අයත්වන්නේ ස්වභාධර්මයටය. එය මෙසේ දැක්විය හැකිය. ප‍්‍රතිභාවන්තභාවය යනු, කලාවට රීතිය කැවීම සඳහා සොබාදහමට උපකාරී වන මානසික පූර්ව ලැදියාව හෙවත් නැඹුරුවයි” යනුවෙන් කාන්ට් සඳහන් කරයි.
ලලිත කලාවන්හි අන්තර්ගතය සලසනු ලබන්නේ
ප‍්‍රතිභාවන්තභාවය මගිනි. හැඩය සලසනු ලබන්නේ රසය (taste) මගිනි. සුන්දර දෙය සෑම විටම විධිමත්ය. එසේ නම්, එක් ‘අන්තර්ගතයක්’ තවෙකකින් වෙනස් කරනු ලබන්නේ කුමක් විසින් ද? ප‍්‍රතිභාවන්තභාවයෙන් කෙරෙන්නේ, කාන්ට් කියන අන්දමට, ‘ආත්මය’ සහ අනුප‍්‍රාණය Soul and Spirit) රහිත දෙයකට ඒ දෙකම කැවීමය. කලාකෘතීන් අනුප‍්‍රාණය කරන්නේ සහ ඒවාට ජීවය කවන්නේ ප‍්‍රතිභාන්තභාවය විසිනි. එසේ කරන්නේ, කලාකෘතීන් සෞන්දර්යාත්මක කල්පනයන්ට ඈඳීම මගිනි.

-//-

සටහන: මහාචාර්ය රෝලන්ඞ් අබේපාල