Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන් නිට්ටාවටම සුවකළ හැකිද

ඔබ කවදාක හෝ සිතුවාද අතපය හතර ඇතුළු සියලුම අංග , සම්පූර්ණ ජීවියෙකු ලෙස උපන් ඔබ මොනතරම් වාසනාවන්තද කියා ? ඔබට දෙසවනින් අසා , දෙනෙතින් බලා , මොළයෙන් සිතා යමක් කිරීමට හෝ තීරණය කරන්නට හැකියි. ඒ තීරණය හෝ ඔබ සිතූ දේ ඔබට කටින් කිව හැකියි. අතපය ඔබට කැමති දෙයක් කරන්නට ඔබට අවනතයි. ඒ අතින් බලන කල ඔබ ඉතාමත් වාසනාවන්තයි , ඒ වාසනාව ඔබට ගෙන ආ දෙමාපියන්ට ඔබ වැඳිය යුතුයි. කල්පනා කර බලන්න ! දෙමාපියන්ට පිංසිදුවන්නට , ඔබට ලැබුනාවූ සම්පූර්ණ මිනිස් බවින් ඔබ හරියට ප්‍රයෝජන ගන්නවාද ? ඒ උතුම් මිනිස් බවට සරිලන සේ ජීවත් වනවාද ? කල්පනා කර බලන්න ! මා දැන් සඳහන් කරන තත්ත්වයක් ඔබට ඇතිවුණානම් ඔබ දැන් කරන සියල්ලම අවසානයි නේද කියලා !
දැන් මා කියන්නට යන්නෙ , කිසිවක් ම කරකියා ගත නොහැකි , මිනිසත් බව පමණක් ලැබූ , ඒ අහිංසකයන් කොටස ගැනයි , නැතහොත් ඩවුන් සින්ඩ්‍රෝම් දරුවන් ගැනයි. ඇත්ත වශයෙන්ම මේ අය සදාකාලික දරුවන්ය, එතරම්ම අහිංසකය ,පිවිතුරු ය. මේ විශේෂිත දරුවන් සිටින තැනකට එකවරක් හෝ ගොස් බලන්න ! ඒ මුහුණවල්වල ඇති අවිහිංසක බව , හැඟීම් විරහිතභාවය , ඒ අවසඟ දෑත් දෙපා , දුටු විට ඔබට ඔබ ගැනම ලැජ්ජා හිතේවි.

දෙමාපියන්ට පිංසිදුවන්නට ,සම්පූර්ණ දරුවකු ලෙස මෙලොවට පැමිණ , දෙමාපියන් ගෙන් පෝෂණයද , නිසි අධ්‍යාපනය , ගුණධර්ම ඉගෙනගෙන වැඩිහිටි වූ පසු , දෙමාපියන් තුට්ටුවකට ගනන් නොගෙන , වීරයන් සේ ලොවම හදන්නට යන සමහරුන් , මේ දරුවන් දුටුවා නම් , ඔවුන් යමක් වටහාගන්නට විඳින දුක දැක්කා නම් , තමන් ගැනම ලැජ්ජා හිතේවි.
ඇයි මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ ? එය සුවකළ හැකිද ? ඇත්තටම අවාසනාවන්තම දේ නම් , මෙය සුවකළ  නොහැකි ජාන විකෘතියකි. පළමු වතාවට මේ තත්ත්වය හඳුනා ගත්තෙ ජෝන් ලැංග්ඩන් ඩවුන් නම් වෛද්‍යවරයා විසින් , ඔහුට උපහාර පිණිසයි එය DOWN SYNDROME නමින් හඳුන්වන්නේ .

එම තත්ත්වයට හේතුව නම් , සාමාන්‍යය සෛලයක ඇති වර්ණදේහ 23 න් , 21 වන වර්ණදේහය තුනකට බෙදීයාමයි.එම තත්ත්වය Nondisjunction ලෙස හඳුන්වනවා. මෙවැනි දරුවන් වැඩි දෙනෙකුට ,සාමාන්‍යය දරුවන් සේ , කතාකිරීමේ හැකියාව අඩුයි. විවිධ ශබ්ද ඔවුනගේ භාෂාවයි. ඒවායින් ද කුමන අර්ථයක් පළවෙනවාද සිතිය නොහැකියි. සියල්ලන්ගේම මුහුණුවර එක සමාන බවක් පෙන්වයි . ශරීර වර්ධන වේගය අඩාලයි. සාමාන්‍යය අය සේ සිතන්නට , ක්‍රියාකරන්නට ඔවුන්ට නොහැකියි. කොටින්ම කිවහොත් සාමාන්‍යය කෙනෙකුට කරන්න පුළුවන් දේවල්වලින් ඉතාම සීමිත ක්‍රියාවන් කිහිපයක් පමණයි මේ අයට කරන්නට පුළුවන් .

 අඩුම ගානේ තමන්ගේ මූලික අවශ්‍යතා , සනීපාරක්ෂක ක්‍රියාවන් වත් නිසි සේ කරන්නට බැහැ . නමුත් මේ දරුවන් සඳහා ඇති විශේෂිත පාසල්වල , මේ අයට යම් යම් දේ තනිව කරගන්නට උගන්වනවා. ඒකට මහත් පරිශ්‍රමයක් , දීර්ඝකාලීන කැපවීමක් , දැඩි ඉවසීමක් සහ මානව කරුණාවක් අවශ්‍යයි. මන්ද , මේ අයගේ ඉගැනීමේ හැකියාව ඉතාම අවම වීමයි ,නමුත් ඔවුන්ට ඒ උසස් කැපවීම මත , යම් යම් දේ ඉගැන්විය හැකියි.
ඒ අතර විවිධ හැකියාවන් ඇති අයත් ඉන්නවා . බලන්න , මා මෙහි යොදා ගෙන ඇති පහත ඡායාරූප අතර ඉන්න සුන්දර තරුණිය දිහා . ඇය ඩවුන් සින්ඩ්‍රෝම් තරුණියක් යයි සිතන්නට පුළුවන් ද ? නම , මැඩ්ලීන් ස්ටුවර්ට් , ලෝකයේ සිටින එකම වෘත්තීය , ඩවුන් සින්ඩ්‍රෝම් රෝගී මෝස්තර නිරූපිකාව , ඇය රෑම්ප් එක මත සිදුකරන මනබන්දනීය කැට්වෝක් ලාලිත්‍ය දෙස නරඹනන්නන් බලාසිටින්නේ වශීකෘතවයි. ඇගේ ඒ සුන්දර බවට හා සුවිශේෂි හැකියාවේ සෙවනැල්ල ඇගේ ආදරණීය මෑණියන් වූ රොසෑන් ස්ටුවර්ට්ය. ඇත්තටම ඇය ආදරණීය අම්මෙක් වගේම දිරිය මිනිස් දියණියක් .

මෙවන් දරුවන් බොහෝවිට සංගීතයට හා නර්තනයට ලැදියි . ඒ වගේම සාමාන්‍යය මට්ටමේ අධ්‍යාපනයක් ලබලා හොඳ තත්ත්වයක ඉන්න දරුවනුත් ඉන්නවා . ඒ වගේම මේ අයගේ මොළය යම් තත්ත්වයකට ගෙන ඒමට , භෞතචිකිත්සක (physiotherapy ) , කතික ප්‍රතිකාර ( Speech therapy ) වැනි විවිධ ප්‍රතිකාර ක්‍රම තියෙනවා . ඒ මොනවා කළත් , ඔවුනට අන් අයගේ දැඩි ආදරය , රැකවරණය නම් ඕනෑමයි . මේ අයට සාමාන්‍යයෙන් නිතරම තරහ යනවා , එහෙම වෙන්නෙ මේ අහිංසකයන්ට තමන්ගේ හිතේ තියන දේ හරියට කියාගන්න බැරි නිසා . ඒ වෙලාවට මෙයාලා කෑගහලා අඬන වෙලාවල් බොහෝයි. මෙහෙම විශේෂ දරුවන් කෙරෙහි කටයුතු කරන විට දැඩි ඉවසීම , වගේම කැපවීම , කරුණාව , ආදරය වැනි හැඟීම් ඕනෙමයි. කවදාවත් මේ අහිංසකයන්ව , සමච්චලයට ලක්කරන්න එපා . ඔවුන්ව ” මන්ද බුද්ධික , මොංගල් ” යන නම්වලින් හඳුන්වන්න එපා ! එහෙම කියන අයයි මොංගල් හෝ මන්දබුද්ධික ! නැතුව මේ කිසිම වරදක් නැති අහිංසකයන් නොවෙයි. ඔවුන් සමඟ හැසිරෙන විට ,
***යමක් කීමේදී ඒ මුහුණු දෙස කෙලින්ම බලා කියන්න .
*** මෘදුව , කාරුණික දෑසින් පැහැදිලිව කෙටි වචන කියන්න .
*** හැකි පමණ මුහුණෙන් ඉරියව් සහ අංගචලනය මඟින් සන්නිවේදනය කරන්නට උත්සහ කරන්න .
*** ඒවගේම ඔබ යමක් කියූ පසු , එයට උත්තර දෙන්නට සිතන්න ට කාලය ලබා දෙන්න .
*** ඒ වගේම ඔබ කියූ කුඩා වචන නැවත ඔවුන් ලවා කියවන්නට ආදරයෙන් උත්සහ කරන්න .

මේ සියල්ල සමඟ ඔබේ රැකවරණය , දෙන්න . අනුකම්පාව නොව ආදරයම දෙන්න . ඒ අයට සමාජයේ අන් අය සේම ජීවත් වන්නට උපකාර කරන්න . අනුන්ගේ හෝ වේවා , මේ දරුවන් සිටින රැකවල් නිවාස , පාසල් සොයා ගොස් ඔවුන්ට ඔබේ කරුණාවේ හස්තය දිගු කරන්න ! බලන්න එවිට ඒ අහිංසක මුවට නැගෙන සුන්දර හසරැල්ල . එයම ඔබට ඔබේ සම්පූර්ණ මිනිසත්බව ගැන ආදරයක් ඇති වේවි !


ගංගා කුමාරි පෙරේරා

Popular Articles