Home All ජීවිතේ තිත්ත වෙලා තියන ඔයාටයි මේ

ජීවිතේ තිත්ත වෙලා තියන ඔයාටයි මේ

ප්‍රශ්න කරදර වැඩි වෙනකොට, දරාගැනීමේ සියලු සීමාවන් ඉක්මවා යනකොට, ආත්ම ශක්තිය බිංදුවට ම වැටෙනකොට මට වගේ ම ඔයාටත් එක ම එක වතාවක් හරි හිතිලා ඇති මේ ජීවිතේ මහා කරුමයක්, ගැලවීම විදිහට මියයෑම තෝරගැනීම සැපක් කියලා. ඒත් අපි තාම මළේ නෑ. අපේ හදවත් තාමත් ලබ් ඩබ් හඬින් ගැහෙනවා. ඒ වුණත් ඒ හැඟීමත් එක්ක පොරබදලා ජීවිතේ රැකගන්න තරම් ශක්තියක් නැති වුණ අහිංසක හදවත් සියතින් ම ජීවිත අහවර කරගත්තු දුක්ඛිත කතන්දර අපි අහලා තියෙනවා ඇති තරම්. අදත් අහනවා, හෙටත් ඇහේවි.

ඒත් ඇයි?

ප්‍රශ්න කරදර දුක්පීඩා එක විදිහට ම විඳින ඔබත් මමත් ජීවිතේ ගැට්ටෙ ඉඳගෙන, අන්තිම මොහොත වෙනකල් ජීවිතේ වෙනුවෙන් සටන් වදින කොට තවත් පිරිසක් ඇයි අතිශය වේදනාකාරී විදිහට වටින කියන ජීවිතවලට තිත තියන්නෙ? ඇත්තට ම ඇයි එහෙම? මොකක්ද ඒ වෙනසට හේතුව?


මේ ගැන අහන්න අපි එකතු කරගත්තේ වෛද්‍ය ක්‍රිෂානි සමරනායකව. මෙතැන් සිට ඉඩ ඇයට.


“මේ වෙද්දි ලංකාව සියදිවි නසාගැනීම් අතින් ලෝකෙ දෙවැනි තැනට ඇවිත් තියෙනවා. ඒ අතර අවුරුදු 30ට අඩු පිරිමි ළමයි තමයි වැඩිපුර ම සියදිවි නසාගෙන තියෙන්නෙ. ගොඩක් තරුණ වයසෙ ළමයින් සිය දිවි නසා ගැනීමට හේතු හැටියට ගන්නෙ පවුල්වල දෙමාපිය දික්කසාද, දෙමාපිය ආදරේ අඩු වීම, දෙමාපියන් විදෙස්ගතව සිටීම, මවගේ හෝ පියාගේ දෙවැනි කසාදේ, පියා මත්පැනට ඇබ්බැහි වීම නිසා විඳිමට සිදුවෙන හිරිහැර හා ලැජ්ජාව, ලිංගික අපයෝජන,මත් ද්‍රව්‍යයට ඇබ්බැහි වීම, ආදර සබඳතා බිඳ වැටීම වැනි දේ නිසා ඇතිවන දරාගත නොහැකි මානසික වේදනාවන්.
අද කාලෙ දරුවන්ට ළමා කාලයක් නැති වෙලා. දෙමාපියො දරුවන්ව පීඩාවට පත්කරනවා ශිෂ්‍යත්ව පංතියේ ඉඳලම. ඊළඟට ඕ ලෙවල්, ඒ ලෙවල්…ඔය විදිහෙ එක එක ටාර්ගට් දෙනවා. ඔයා මේ විභාගේ පාස් වෙන්න ම ඕනේ. ඔයා ඩොක්ටර් කෙනෙක් වෙන්න ම ඕනෙ. මේ දේවල් සඵල කරගන්න බැරි වුණොත් යම් විදිහකින් ඒ දරුවො මානසිකව වැටිලා දුකට,වේදනවාට,ලැජ්ජාවට ජීවිතේ නැති කරගන්න තැනට ම පත් වෙනවා.අනිත් කාරණාව තමයි ඉස්සර වගේ දැන් ළමයින්ට යාළුවො එක්ක එල්ලෙ අතක් ගහන්න, ක්‍රිකට් මැච් එකක් ගහන්න වෙලාවක් නෑ. ඒ අයගෙ කාලය ටීවී, ෆෝන්, කම්පියුටර් උදුරගෙන. පිල් බෙදිලා එකට සෙල්ලම් කරපු ළමයි ජය පරාජය කියන දේ එක සේ විඳින්න දන්නවා. තරගෙකදි එක පැත්තක් දිනනවා. තව පැත්තක් පරදිනවා. ජීවිතෙත් එහෙමයි. විටෙක ජය වගේ ම විටෙක පරාජය උරුමයි. දැන් සමහරුන්ට පරාජයන් දරාගන්න බෑ. ඒ අය පරාජයන් හමුවේ ජීවිතය අවසන් කරගන්නවා.


ජීවිතේ මොකක්ද කියලා වැටහෙන්නෙ නැති තරමට තරුණ ළමයි ටීවි, ෆෝන්, කම්පියුටර්වලට සින්න වෙලා. අසභ්‍ය දේවල් නරඹලා ම සමහරු ඉන්නෙ මානසික විකෘතිතාවන්වල. මේ වගේ කාරණාවලදී දරුවන්ට දැනෙන්න ආදරේ දීම ගොඩක් වැදගත්. දරුවො එක්ක යාළුවො වගේ හිටියොත් ඒ අය ඕන ම ප්‍රශ්නයක් දෙමාපියො එක්ක කියයි.
පුංචි ම පුංචි කාරණාවලටත් දැන් හොස්පිටල්වලට අවුරුදු පහළවේ,දාසයේ ළමයි එනවා. එක්කො පැනඩෝල් බීලා, නැත්නම් බෙල්ලෙ වැල දාගන්න හදලා. හොයලා බැලුවම කොල්ලා එක දවසක් ෆෝන් එකෙන් කතා කළේ නෑ, පොඩ්ඩක් වෙලා ගියා… වගේ බොළඳ හේතු තමයි අහන්න දකින්න තියෙන්නෙ. ගොඩක් ම එන්නේ අවුරුදු 20ට අඩු ළමයි. ඒකට හේතුව මිනිස් ආශ්‍රයක් නෑ. වැඩිපුර ගණුදෙනු කරන්නේ යාන්ත්‍රික දේවල් එක්ක. ඉතිං ජීවිතේ ගැන අවබෝධයක් නෑ. දරාගැනීමේ ශක්තියක් නෑ.


මේ සම්බන්ධයෙන් ජීවිතේ නැති කරගැනීමට සූදානම් වන අයව කල්තියා හඳුනාගැනීම ගොඩක් වැදගත්. එහෙම අය නිතර “ජීවිතේ එපා වෙලා තියෙන්නෙ මට”, “මොනවා කෙරුවත් වැඩක් නෑ” වගේ සෘණාත්මක දේවල්, ජීවිතේ නැති කරගන්න කලින් කා එක්ක හරි කියනවා. “මට මැරෙන්න හිතෙනවා” වගේ වචන කටින් පිටවෙනවා. ඒ වගේ ම ජීවිතේ විනාශ කරගන්න විධි හොයනවා. අනිත් අයව නුරුස්සන ගතියක් වගේ ම නිතර තනි වෙන්න, මුළු ගැන්වෙන්න බලනවා. කෑම ගැන තියෙන උනන්දුව නැති වෙනවා. මූණේ හිනාවක් නෑ. නිතර කේන්ති යනවා. අධ්‍යාපනයට ඇල්මක් නැති වෙනවා. කලබලකාරී ගතියක් ඇති වෙනවා. ඩිප්‍රෙෂන් කියන අවපීඩන තත්ත්වයට පත් වුණා ම තමයි ඒ අය ජීවිතේ නැති කරගන්න හිතන්නේ.

මේ තත්ත්වයට පිළියම් සෙවීමට පටන් ගත යුත්තේ ගෙදරින්. දෙමාපියන් දරුවට ආදරේ පෙන්නලා, දරුව සමග වැඩි වෙලාවක් ගත කරනවා නම් දරුවගේ පුංචි වෙනස් වීමක් පවා හොයාගන්න පුළුවන්. ඒ වගේ ම පාසල් මට්ටමෙන් ගුරුවරුන්ටත් පුළුවන් මේ දිවිනසා ගැනීමේ මානසිකත්වයේ ඉන්නා ළමයි වෙන් කරලා හඳුනගන්න. එහෙම ළමයි පාසලේ වැඩවලට එන්න එන්න දුරුවල වීගෙන එනවා. ඔහේ පැත්තක් බලාගෙන ඉන්නවා. පාසල්වල දැන් තියෙනවා උපදේශන සේවාවන්. මේ විදිහෙ ළමයින්ව ගෙන්නලා ඒ අයගෙ ප්‍රශ්න කතාකරලා, මනස හදන්න කණ්ඩායම් ක්‍රියාකාරකම්, තරග වගේ දේවල්වලට යොමු කරනවා. ඒ වගේ ම ආගමික සිද්ධස්ථානවලින් ඒ ළමයින්ට ප්‍රශ්න කරදරවලට මූණ දෙන හැටි කියලා දෙනවා.


මේ වගේ කෙනෙක්ව අඳුන ගත් වහාම සහනයක් ලබා ගත හැකි අදාළ තැන්වලට යොමු කරනවා නම් බොහෝ දුරට දිවි නසා ගැනීම් අවම කරගත හැකියි.


රෝහල්වල දැන් මානසික වාට්ටුව කියලා බෝර්ඩ් ගහලා නෑ. “යොවුන් මිතුරු හමුව” කියලා තමයි බෝර්ඩ් ගහලා තියෙන්නෙ. ඉතිං එහෙම තැන්වලිදි රෝගී මනසක් ඇති අය සමඟත් ඒ අයගේ දෙමාපියන් සමඟත් කතාබහ කරලා, ඒ ප්‍රශ්න නිරාකරණය කරගන්න, මානසික පීඩනයෙන් නිදහස් වෙන්න ඩොක්ටර්ස්ලා උදව් කරනවා. ගොඩක් ම බැරූරුම් තත්ත්වයට පත් වෙලා, ජීවිතේ විනාශ කරගන්න තදින් ම හිතන අයට මනස සුවපත් කරන්න සමහර බෙහෙත් පවා ලබා දෙනවා. ඒ වගේ ම මනෝ චිකිත්සකයන් ( සයිකො තෙරපීස්ලා) කියලා පිරිසකුත් ඉන්නවා. ඒ අයත් දිවි නසාගැනීමේ මානසිකත්වය උදුරා දැමීමට කටයුතු යොදනවා. වැඩියෙන් ම වැදගත් මෙවැනි මානසික මට්මක සිටින අය නිවැරදිව හඳුනාගෙන, හැකි ඉක්මනින් අදාළ තැන්වලට යොමු කිරීමයි. නොපමාව යොමු කළොත් නිකරුණේ නැති නාස්ති වෙන අහිංසක ජීවිත බේරගන්න අවස්ථාවක් ලැබේවි.”

උපදෙස් – වෛද්‍ය ක්‍රිෂානි සමරනායක
මීගමුව මහ රෝහල

මිහිරි කාංචනා