Home All 92 පසුකළ අයිරාංගනීගේ අපි කව්රුත් නොදත් කතාව

92 පසුකළ අයිරාංගනීගේ අපි කව්රුත් නොදත් කතාව

සුවහසක් ලාංකේය ප්‍රේක්ෂක ජනතාවගේ අපමණ ගෞරවාදරයට පාත්‍ර වූ අයිරාංගනී සේරසිංහ නම් සම්මානනීය රංගන ශිල්පිනිය පසුගිය ජුනි 21 වැනි දින කලා ලොව හිතමිත්‍රාදීන් පිරිවරාගෙන සැමරුවේ ඇගේ 92 වැනි ජන්ම දිනය යි. මනුෂ්‍ය වර්ගයා සේ ම සොබාව සෞන්දර්ය දෙස දයාර්ද්‍ර හැඟීමෙන් බලන ඇය ප්‍රිය සෙනෙහෙවන්තයින් සමඟින් ජීවිතයේ සැදෑ සමය ගෙවනවා.

1927 ජුනි 21 වැනි දා රුවන්වැල්ල ප්‍රදේශයේ මුදුන්ගොමුවේදී මෙලොව එළිය දුටු අයිරාංගනී රොක්සානා මීදෙණිය අධ්‍යාපනය ලැබුවේ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙන්, බිෂොප් විද්‍යාලයෙන් සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන්. ඇය උසස් අධ්‍යාපනය සඳහා ඇතුළු වූයේ පේරාදෙණිය ලංකා විශ්වවිද්‍යාලයට යි. මියුසියස් විද්‍යාලයේ ගුරුවරියක ලෙස ද කටයුතු කළ ඇය, ටයිම්ස් ආයතනයේ ජනමාධ්‍යවේදිනියක ලෙසත් කටයුතු කළා. බොහෝ දෙනකු ඇය හඳුනාගන්නේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පිනියක ලෙස යි. වින්ස්ටන් සේරසිංහ හා අතිනත ගත් ඇයට උපන්නේ පුතුන් දෙදෙනෙක්. ඒ, රවී සේරසිංහ සහ රංජිත් සේරසිංහ.

ප්‍රංශයේ de La Ville de Paris කලාගාරයේ නිත්‍ය ප්‍රදර්ශන කාණ්ඩයට අයත් ව තිබුණු ˜Irangani˜ ලෙස නම් කළ ආලේඛ්‍ය සිතුවම අයිවන් පීරිස් නම් ලාංකේය සිත්තරාගේ නිර්මාණයක්. එදා අයිරාංගනී විසිතුන් හැවිරිදි සුන්දර යුවතියක්. ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ බාල සොහොයුරා වන අයිවන් පීරිස් විසින් මේ සිතුවම ඇඳ තිබුණේ 1950 වසරේදී යි.
කුඩා කළ අයිරාංගනියගෙන් පිළිබිඹු වූයේ තරමක් දඟකාර ගතිලකුණු. සාන්ත බිෂොප් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඇයට නේවාසිකාගාරයේ ගෙවෙන ජීවිතය ඉතාමත් නීරස වුණා. ඒ නිසයි ඇය විභාගය අවසන් වූ පසු ගෙදරින් එන්න කියූ බවට බොරු කියා පාසලෙන් ඉවත් ව යන්නේ. එහෙත් ටික දිනක් නිවෙසේ අලස ව ගෙවෙන විට ඇය වෙලා ගන්නේ වැඩිදුර අධ්‍යාපනය ලැබීමේ තදබල ආශාවක්. ඇයට තම නැන්දනියගේ ආරාධනය මත ඇගේ නිවෙසේ රැඳී සිටිමින් මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරීමේ භාග්‍ය උදාවන්නේ ඉන් පසුව යි. 1947 වසරේදී උසස් අධ්‍යාපනයට වරම් ලද ඇය ඇතුළු වූයේ ලංකා විශ්වවිද්‍යාලයට.

කොළඹ සරසවියේ දී මහාචාර්ය ඊ.එෆ්.සී. ලුඩොවයික්ගේ මෙහෙයවීමෙන් පවත්වාගෙන ගිය ඉංග්‍රීසි නාට්‍ය සංගමයේ අයිරාංගනිය ද සාමාජිකාවක් වුණා. එවකට කොළඹ ආශ්‍රිතව ප්‍රසිද්ධියට පත් වූ ඉංග්ලිෂ් තියටරයේ ලූෂන් ඩී. සොයිසා , සීතා පරාක්‍රම, ජීන් පින්ටෝ, ආතර් වැන්ලැන්ගන්බර්ග් වැනි අය අයිරාංගනිය හා එක් ව රැඟු ශිල්පීන්. ‘ඇන්ටගනී‘, ‘ට්වින්ස්‘, ‘ගෝස්ට්‘, ‘ද ත්‍රී සිස්ටර්ස්‘ ඇය රැඟූ ඉංග්‍රීසි නාට්‍ය අතර වෙනවා.
වරක් සිය සැමියාගේ විභාගයක් සඳහා අයිරාංගනිය එංගලන්තයට යන බව දැනගත් මහාචාර්ය ලුඩොවයික්ගෙන් ඇයට උපදෙස් ලැබෙන්නේ නොවරදවා ම රංගනය පිළිබඳ නිවැරදි හැදෑරීමක් කළ හැකි පාසලකට ඇතුළත් වන ලෙස යි. ඇය “Bristol Old Vic Theatre School” නම් රංගන පාසලට ඇතුළත් වන්නේ ඒ අනුව යි. රංගනය පිළිබඳ හැදෑරීමේ වැදගත්කම සහ හැදෑරීමක් ඇතිව රංගනයේ යෙදීම කෙතරම් වැදගත්ද යන කාරණාව ඇය වටහා ගන්නේ එමඟින්. තවත් වසරක් ගෙවී ගිය තැන ලන්ඩන් බලා පැමිණෙන ඇය වැඩිදුර අධ්‍යාපනය හදාරන්නේ “The Central School of Speech Training and Dramatic Art” ආයතනයෙන්. අයිරාංගනිය නැවත ලංකාවට පැමිණෙන්නේ කලාව පිළිබඳ සැලකිය යුතු මට්ටමක හැදෑරීමක් ඇතිව යි. රංගනය සම්බන්ධයෙන් විදෙස් හැදෑරීමක් සහ පුහුණුවක් ලද ප්‍රථම ශ්‍රී ලාංකික චිත්‍රපට නිළිය ද ඇය යි.

1955 වසරේදී “Be safe or be Sorry” නම් කෙටි වාර්තා චිත්‍රපටයට තරුණ අයිරාංගනිය සම්බන්ධ කරගන්නේ ලෙස්ටර් ජේමිස් පීරිස් විසින්. ඇය එහි නිරූපණය කළේ ගාලු පාරේ ඔස්ටින් කාරයක් පදවාගෙන යන වයසක කාන්තාවකගේ චරිතයක්. ඇගේ ප්‍රතිභාපූර්ණ රංගනය හඳුනාගත් ලෙස්ටර් ඔහුගේ “රේඛාව” සිනමා නිර්මාණයට දායක වන ලෙස ඇයට ඇරයුම් කළා. අයිරාංගනිය එම ආරාධනාව ප්‍රතික්ෂේප කරන්නේ දෙබස් කට පාඩම් කිරීමට ඇය තුළ ඇති අකමැත්ත හේතුවෙන්. එහෙත් එය ඇයට කළ හැකි බව අවධාරණය කළේ ලෙස්ටර් ජේමිස් පීරිස් විසින්. එවන් දැවැන්ත කලාකරුවකුගේ සිනමා නිර්මාණයකින් සිය සිනමා දිවිය ආරම්භ කිරීමේ භාග්‍යය අයිරාංගනියට උදා වූයේ ඒ අයුරින්. රේඛාවේ ”කතිරිනාහාමි” ලෙස සුවිශේෂී චරිත නිරූපණයක් කළ ඇය 1956 වසරේදි හොඳ ම නිළිය ලෙස දීපශිඛා සම්මානය ද දිනා ගත්තා.
එවකට අයිරාංගනී සේරසිංහ වෘත්තියෙන් මාධ්‍යවේදිනියක්. සේවය කළේ ටයිම්ස් පුවත්පත් ආයතනයේ විශේෂාංග අංශයේ. කලක් ගුවන් විදුලියේ ඉංග්‍රීසි අංශයේත් සේවය කළා. පරිසර සංරක්ෂණය උදෙසා නිරතුරුව කැපවන පරිසරවේදිනියක් ද වන අයිරාංගනිය සංචාරක ක්ෂේත්‍රයේ මෙන් ම වතු පාලන ක්ෂේත්‍රයේ ද ප්‍රායෝගිකව නියැළී අත්දැකීම් ලබා ඇති තැනැත්තියක්. විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක ව සිටිය දී ඉංග්‍රීසි නාට්‍ය ඔස්සේ රංගනයට පිවිසි ඇය පසු කලෙක ‘අපට පුතේ මඟක් නැතේ‘, ‘වෙස් මුහුණු‘, ‘පෝරිසාදයා‘ යනාදී සිංහල වේදිකා නාට්‍ය කීපයක් සඳහා ද රංගනයෙන් දායක වුණා.

ප්‍රභූ පැලැන්තියෙන් කලාවට අවතීර්ණ වූ අයිරාංගනියගේ පියා මීදෙණිය වලව්වේ රටේ මහත්තයා යි. ඇය ඇගේ ප්‍රභූ පැලැන්තිය නියෝජනය වන අන්දමේ චරිත පමණක් නොව ග්‍රාමීය දුප්පත් චරිත ද නිරූපණය කළේ ප්‍රශස්ත අන්දමින්. ඇගේ පළමු සිනමා නිර්මාණය වන “රේඛාව” ඒ සඳහා හොඳ ම නිදසුනක්. ඈ තුළින් හැම විට ම පිළිඹිබු වූයේ තාත්වික රංගනයක්.
‘සන්දේශය‘, ‘දෙලොවක් අතර‘, ‘රන්සළු‘, ‘බක්මහ දීගේ‘, ‘සාගරයක් මැද‘,‘කිණිහිරියා මල්‘, ‘මචං‘ වැනි සිනමා නිර්මාණවල ඇය ඉදිරිපත් කළේ එකිනෙකට වෙනස් වූ චරිත නිරූපණයන්. එවන් බහුවිධ රංගනයකට හේතු වූයේ රංගනය සම්බන්ධයෙන් කළ විධිමත් හැදෑරීම යි. ඒ හැරුණු විට ‘රේඛාව‘, ‘සීගිරි කාශ්‍යප‘,‘අවරගිර‘, ‘දෙවැනි ගමන‘, ‘දඩයම‘, ‘රන්සළු‘, ‘සුදු සෙවණැලි‘, ‘තුන්වෙනි යාමය‘, ‘ඔබ දුටු දා‘, ‘ද ගෝඞ් කිං‘, ‘පවන රළු විය‘, ‘හිම කතර‘, ‘ලොකු දුව‘, ‘කල්පාන්තයේ සිහිනයක්‘, ‘අබා‘, ‘සිකුරු හතේ‘ යනාදී බොහෝ සිනමා නිර්මාණවලට අයිරාංගනී සිය රංග ප්‍රතිභාව එක් කළා.

වේදිකාව, ටෙලිනාට්‍ය සහ සිනමාව යන සෑම අංශයක ම කැපී පෙනෙන චරිත නිරූපණයක් ඉදිරිපත් කළ අයිරාංගනී සේරසිංහ මෙරට ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත් වුණේ ටෙලි නාට්‍ය රංගනය ඔස්සේ යි. විශේෂයෙන් ‘යශෝරාවය’, ‘දූ දරුවෝ’ වැනි සෝප් ඔපෙරාවල මවගේ චරිතයට පණ දුන් ඇය ප්‍රේක්ෂක ආකර්ෂණය නොමඳව දිනාගැනීමට සමත් වුණා. ඒ හැරුණු විට ඇය රඟ පෑ ටෙලිනාට්‍ය අතර ‘සමාප්තිය‘, ‘නෑදෑයෝ‘, ‘රුපියල් ශත‘, ‘අමන්දා‘, ‘සල්සපුනා‘ වැනි නිර්මාණ ද සුවිශේෂ යි.
ජනාධිපති, සිග්නීස්, සුමති, සරසවිය ආදී වූ සම්මාන රැසකට ද හිමිකම් කියූ ඇය ලාංකේය ප්‍රේක්ෂක ජනතාවගේ නොමඳ ගෞරවාදරයට පාත්‍ර වූ රංගන ශිල්පිනියක්. 1985 වසරේදී ඇය හොඳ ම සහය නිළියට හිමි ජනාධිපති සම්මානය දිනාගත්තේ ‘ආදර කථාව’ චිත්‍රපටය වෙනුවෙන්. 1967 වසරේ දී ‘ඔබ දුටු දා‘ සිනමාපටය වෙනුවෙන් හොඳ ම නිළියට හිමි සරසවිය සම්මානය ද 1995 වසරේ දී ‘පවන රළු විය‘ සිනමා නිර්මාණය වෙනුවෙන් හොඳ ම නිළිය සරසවිය සම්මානය ඇයට පිරිනැමුණා. 2003 වසරේදී හොඳ ම සහය නිළියට හිමි සරසවිය සම්මානයෙන් පිදුම් ලැබුවේ ‘සුදු සෙවනැලි‘ චිත්‍රපටය සඳහා ඉදිරිපත් කළ ප්‍රශස්ත රංගනය වෙනුවෙන්.
හෙළ කලා කෙත අස්වැද්දූ අයිරාංගනී සේරසිංහ ශ්‍රේෂ්ඨ නිර්මාණ ශිල්පිනියගේ පෞද්ගලික ජීවිතයේ, කලා ජීවිතයේ සහ වෘත්තීය ජීවිතයේ අත්දැකීම් අළලා ඉංග්‍රීසි බසින් රචිත Irangani as told to Kumar de Silva නම් ග්‍රන්ථයේ කර්තෘ වුණේ කුමාර් ද සිල්වා. පසුව එය උදයසිරි වික්‍රමරත්න අතින් සිංහලට පරිවර්තනය වූණේ අයිරාංගනී කුමාර් ද සිල්වාට පැවසූ පරිදි යනුවෙන්.

දීර්ඝ කාලයක් රංගනය සම්බන්ධයෙන් කළ හැදෑරීම්, ජීවිත අත්දැකීම් සහ පළපුරුද්ද තුළින් ඔපමට්ටම් කරගත් රංග ප්‍රතිභාව ඇගේ දිවියේ සාර්ථකත්වය යි. යුග යුග මතක රැන්දූ බහුවිධ චරිත නිරූපණයන්ගෙන් නිරන්තරයෙන් රසික සිත්සතන් සුවපත් කරන්නට ජීවිතයක් කැප කළ අයිරාංගනිය කලා ලොවට පෑයූ දිදුල තරුවක්. ඇය වෙනුවෙන් ප්‍රේක්ෂක අපේ ප්‍රාර්ථනය නිදුක්, නිරෝගී මෙන් ම සුවපත් දිගු දිවියක්.

මිහිරි කාංචනා