අනෝමා ජනාදරීගේ “ප්‍රේම ජවනිකා”

මෙවර අපි Hardtalk තුලින් කථා කරන්නේ අපේ රටේ සම්මානනීය ජනප්‍රිය නිලියක් වන අනෝමා ජනාදරී සමඟයි. මෑතක දී ඇය බොහෝ දෙනා අතර කථා බහට ලක් වුන චරිතයක්. ඉතින් අපි ඇයව මුණගැසී මේ පිළිබඳව පිළිසඳරක යෙදුණා.

 

1. අනෝමා ජනාදරීගේ අපි අහපු අලුත්ම නිව්ස් එක තමයි “ප්‍රේම ජවනිකා”. මොකක්ද මේ ප්‍රේම ජවනිකා කියන්නේ…?

පිළිතුර : රති කෙළිය කියන්නේ අපි හැමෝගෙම ලිංගික ජීවිතයට නැතිවම බැරි රසාස්වාදය මුල් කරගත් විෂය ධාරාවක්.ලිංගික සත්වයකු හැටියට මෝරා වැඩීමේ දී කෑම බීම,ඇඳුම් පැළඳුම්,ඉඳුම් හිටුම් අතර මැදට එන්නේ ලිංගික වුවමනා.අපි සතුන්ගෙන් වෙන් වන්නේ සතුන් මේ මූලික වුවමනා ඉටු කර ගැනීමට විශේෂ වෙහෙසක් නොගැනීමත් පරිනාමණය වූ පසු අපි දේශපාලනික සංස්ථාවට අනුරූපව මේ මූලික වුවමනා ඉටු කර ගනිමින් ප්‍රවේණියට අනුකූලව ලිංගික වුවමනා ඉටු කර ගැනීමට පෙළඹීමත් නිසා.

එහෙත් අපි ආසියානු සමාජීය රටක් නිසා ආගමික/ධාර්මික ශ්‍රද්ධාවෙන් යුක්ත වීම නිසාත් ලිංගික අධ්‍යාපනය පිළිකෙව් කරණ,ලිංගිකත්වය පාපයක් සේ සළකන ඉතිහාසයක් තමයි තිබෙන්නේ.මේ මුග්ධ භාවයේ කඩතුරාවන්ගෙන් බැට කෑවේ අන් කවුරුවත් නොව ගැහැණියම බව ගැහැණුන් හැරෙන්නට දන්නේ වෙන කවුරුන් ද…?
ආගම් වලට අනුව පාපය නම් ගැහැණිය යි…ඇයව හඳුන්වන අන්වර්ථ නාමය සර්පයා යි…තහනම් ගහේ ගෙඩි කෑවේ ඇය යි…පිරිමියා රහසින්වත් පවක් නොකරණ තැනැත්තෙක්…හැබැයි ගැහැණිය නම් හැම විටම වැරදිකාර ලඳ ක්.

බටහිර යුරෝපීය ආගම් වාදයෙන් විනිර්මුක්ත වු මානව හිමිකම් වලින් සාපේක්ෂව විමුක්තිය ලැබූ මහා ජනතාවන් සිටින රටවල ඉහත මම සඳහන් කළ ප්‍රාග් ඓතිහාසික ලක්ෂණ වලින් දුරස්ථ තත්ත්වයකයි ජනතාව ජීවත් වන්නේ.ඔවුන්ට අනුව ලිංගිකත්වය කියන්නේ හැදෑරිය යුතුම,නඩත්තු කරගත යුතුම ජීවිතයට අත්‍යවශ්‍ය විෂය ධාරාවක්.ඉතින් එවැනි විද්වතෙකු ලියා ඵල කළ කෘතියක් මම එංගලන්තයේ ජීවත්වූ සමයේ දී කියැවූ පසු කල්පනා කළා එය අපේ රටට ගැළපෙන පරිදි සකස් කර ඵල කළ යුතුයි කියා.

“ප්‍රේම ජවනිකා” කියන්නේ එහි ප්‍රතිඵලය ක්.

2.ඔබ ප්‍රසිද්ධව සිටින්නේ නිළියක් හැටියට යි.එයිනුත් ඔබ ජනප්‍රිය අරුමෝසම් වර්ගයේ චරිත නොව මහා පොළොවේ සමාජ දේශපාලනික ඛේදවාචකයන්ට මුහුණ දෙන යතාර්ථවාදී චරිත ආන්දෝලනාත්මක අයුරින් රඟපාන නිළියක් හැටියටයි ඔබ ගැන ප්‍රේක්ෂකයින් දන්නේ.
ඇයි ඔබ වැනි නිළියක් ලිංගිකත්වය ගැන මෙවැනි පොතක් අනුවර්තනය කොට එළි දක්වන්නේ…?

පිළිතුර : පළපුරුද්දෙන් මුහුකුරා ගිය නිළියක් හැටියට මම කියන්නට කැමැතියි ලාංකීය සිනමාව කියන්නේ වාණිජ හෝ කලාත්මක ධාරා භේදයකින් තොර ජාවාරම ක්.මේවා කලා කෘති හෝ විද්‍යාත්මක සමාජවාදී ගුණයෙන් සන්නද්ධ අපේ සමාජය වෙනස් කරන්නට සමත් උපකරණ නෙවෙයි.ආත්මාර්ථය,පටු ආකල්ප,වෘත්තීය සුරා කෑම,අනුකරණය ඉහ වහා ගිය පුද්ගලයින් මේ ක්ෂේත්‍රය මාෆියාවක් කරගෙන.මම ලංකාවේ නමක් දිනාගත් සම්භාව්‍ය යැයි කියා හංවඩු ගසාගත් සිනමා අධ්‍යක්ෂක වරයෙකුගේ බිරියකව සිටියා.ඔහු මගේ නග්න සිරුර සිනමාවට නංවා මගේ නිළිකම සුරා කෑ අන්දම නින්දිත යි.ඉන් පසුව ඔහු අනුකරණය කරමින් සිනමාවට පැමිණි තරුණයින් ඔහුටත් වඩා තිරිසන් ආකාරයටයි සිනමාව හසුරවමින් මෙය ජාවාරමක් බවට පත් කරගන්නේ.ඉතින් ඔවුනගේ තේමාවල්,කෙරුවාවල් සියල්ලම බොරුවක්.

වෛද්‍ය විද්‍යාවට අනුව ලිංගිකත්වය දෙස බැලීමට මම ගත් උත්සාහය හරිම අව්‍යාජ යි වාගේම සුන්දරත්වයකුත් එහි තිබෙනවා.එය හැදෑරීමේදී තේරුම් ගිය සහ මට මා ගැනම,මගේ ආගම ගැන මගේ සැමියා ගැන මහා කළ කිරීමක් ජනිත වුණා.මම සේම මේ රටේ පොදු ගැහැණිය “සුරතාන්තය” අහිමි අය නේද…එය එලෙස වන්නේ ආගම්වාදී මානසිකත්වයකින් ක්‍රියා කරණ පිරිමි බහුතරය නිසා නේද…මම ඉපදුණ පවුල/මම හදා ගත් පවුල තුළ විරසකයන් ඇති වුණේ මේ අවබෝධය නැති නිසා නේද…මම වැදු ගැහැණු ළමයිනුත් කවදා හෝ මේ නූගත් කුටුම්භයටම ගොදුරු වෙනවා නේද…කියන කම්පාව මට ඇති වුණා.

මම ක්‍රියාත්මක විය යුතුයි…නිළියක හැටියට දැන්වත් හරි දෙයක් තනිවම හරි කළ යුතුයි කියන අදහසින් තමයි මේ පොත ඉදිරිපත් කරන්නේ.

3.ඔබට මේ සඳහා කවුරුවත් උදව් කළේ නැති ද…?

පිළිතුර : මුලදීම මම තීරණයක් ගත්තා හොඳම දේ තමයි කිසිවෙකුගේවත් උදව් නොපැතීම කියන කාරණය.මොකද ලිංගිකත්වය කියන්නේම මහා භයානක/රහසිගත ගණුදෙනුවක් කියන ආකල්පය තමයි අපේ සමාජයට බෝ කරලා තියෙන්නේ.ලිංගික අවයව වලට සාහිත්‍ය කරුවන් දීලා තියන “නම්”වුණත් එහෙමනේ.පිරිමියාට තියෙන්නේ ලිංගය ක්.ගැහැණියට තියෙන්නේ රහසඟ ක්.ඒ කියන්නේ රහස් අඟක්.ඒක කොහොමද රහසක් වෙන්නේ..?ඉතින් මේ වාගේ පසුබිමක මම කාගෙන් හරි උදව් ඉල්ලුවොත් ඉස්සරවෙලාම මාව හංවඩු ගහලා නැති කරලා දාවි.හොඳම දේ තනිවම පොත අනුවර්තනය කරනවා කියලා හිතාගෙන එය අමාරුවෙන් කළා.විශේෂයෙන්ම මේ විෂය ක්ෂේත්‍රයට අදාළ පාරිභාෂික ශබ්ද (Technical Terms)සොයා ගැනීම හරිම අමාරුවක් වුණා.

අත් පිටපත හදා ගත්තාට පස්සේ දැන් මතු වුණේ type setting කරන්න කාටද දෙන්නේ කියන එක යි.කල්පනා කරනකොට මගේ අනෙකුත් ලිපි ලේඛන type කරණ මැදි වියේ කාන්තාවක් ඉන්නවා ඇඹුල්දෙණියේ…ඊටත් ඇය තමුන්ගේම නිවසේ තමයි මෙය කරන්නේ… ඉතින් ඇය හමුවී මගේ වැඩේ පැහැදිළි කරලා එක පරිච්චේදයක් පමණක් දීලා (අත්තිකාරමකුත් එක්ක)මම ආවා.හවස් වරුවේ මට දුරකථන ඇමතුමක් ලැබෙනවා ඇගේ සැමියාගෙන්.එය සහමුළින්ම තර්ජනාත්මක යි…වහාම මේ කුණුහරුප ලියැවිල්ල ගෙනිච්චේ නැතිනම් පොලිසියට අල්ලා දෙන බව කියමින්.පේනවා නේද සැමියන්ගේ තිබෙන ලිංගික දැනුම…ඔන්න පළමුවෙනි උදව්ව.

ඊ ළඟට මම කල්පනා කළා වෘත්තියෙන් ඉහළම ආයතනයකට මේ පොත ගෙනිච්චොත් එයාලට විෂය ධාරාවෙන් ප්‍රශ්ණයක් නැහැනේ කියලා හිතලා Oroginal Text book එකත් අරගෙන ලංකාවේ ප්‍රමුඛ පෙළේ Fonts නිර්මාණය කරන්නෙකුගේ වෙළඳ ආයතනයකට ගියා.ඔහු සියල්ලම නිරීක්ෂණය කරලා පොතේ පිටු සැළසුම් කරලා දෙන්න රුපියල් ලක්ෂ 1 ½ ක් ඉල්ලා සිටියා.ඒත් මම කොහෙන් හෝ type කරගෙන එන්න ඕන…

මේ අතරවාරයේ මට මතක් වුණා Google වල හැමෝම වගේ පහසුවට type කරණ transliteration කියන ක්‍රමය.ඉතින් පොත ලියපු මමම type කරන්න පටන් ගත්තා.හැබැයි හොඳ දෙයක් වුණා ඒකෙන්…මමම type කරණකොට තව තවත් පොත සංස්කරණය වෙවී පිරිපහදු වෙන්න පටන් ගත්තා.මේ අතරේ මගේ යහළුවෙක් වන දසුන් පතිරණ කියන තරුණ නළුවා එකඟ කරගත්තා පොතේ ෆොටෝස් ගන්න.විශ්වාසවන්තම ෆොටෝග්‍රෆර් කෙනෙක් ෆොටෝස් අරන් දුන්නා.design වලට ශ්‍රවනාබාධිත තරුණයකු ගෙදරට ගෙනැවිත් කොපියුටරය ලබා දී design කරගත්තා.

දැන් අතේ සල්ලි නැහැ පොත මුද්‍රණය කරන්න.මේ බව මම ජනමාධ්‍යවේදී නන්දන වීරරත්නට කිව්වහම ඔහු Neptune Printers වෙත මාව යොමු කළා.අතේ සත පහක් නැතිව මට ඔවුන් පොත මුද්‍රණය කර දුන්නා.සමන්ත යහම්පත් වගේ පුවත්පත් ලේඛකයින් මගේ උත්සාහයට උදව් කළා.ජාත්‍යන්තර කාන්තා දිනයේ දී මම පොත එළියට දැම්මා.ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න පොත දැකලා මාව පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල ට යොමු කළා.එමඟින් පසුගිය 16 වෙනිදා උගත් ගෞරවණීය වෛද්‍ය වරුන් පිරිසක් සමඟ පොතේ සම්මන්ත්‍රණයක් පැවැත්වුවා.එහි දී මට තේරුනා මම තනි වෙලා නැති විත්තිය.
ඒත් type setting අදියරේදී මාව පොලිසියෙන් අල්ලාගෙන ගියා නම් තවමත් මම හිරේ.

4. ප්‍රශ්ණය : ලංකාව වගේ රටක ලිංගිකත්වය පිලිබඳ මේ තරම් විවෘතව කතා කරන්නේ නැහැ.ප්‍රචලිත පොතක් විදිහට තියෙන්නේ කාම සුත්‍ර පමණ යි.මෙවැනි සංස්කෘතියක් තියන රටක මේ පොත අපේ රටට කෙතරම් ගැළපෙනවා ද…?

පිළිතුර : මම ඔබෙන් අහන්න කැමැතියි සංස්කෘතිය කියන්නේ පන්සිල් පද පහ ජීවිතේ වැඩිම වාර ගණනක් පුනරුච්චාරණය කරමින් එය පිළි නොපදින එකට ද කියලා…මම ඔබෙන් අහන්න කැමැතියි සංස්කෘතිය කියන්නේ හයක් හතරක් නොදන්නා ගැහැණු දරුවන්,පාසල් යන ගැහැණු දරුවන් දුෂණය කොට මරා දමන එකටද කියලා…මම ඔබෙන් අහන්න කැමැතියි විවාහක බිරිඳව සදාකාලිකවම හැම රැයකම නිදි ඇඳේ දී අසංඛෙයිය වාර ගණනක් ඇගේ කැමැත්තෙන් තොරව ඇයට සුරතාන්තය ලබා නොදී ඇගෙන් සුරතාන්තය ලබන එකටද කියලා…මම ඔබෙන් අහන්න කැමැතියි සංස්කෘතිය කියන්නේ 25% ක දේශපාලන කාන්තා නියෝජනයවත් ඔවුන්ට ලබා නොදීමටද කියලා…

මම ඔබෙන් අහන්න කැමැතියි මේ සියලු අධර්මිෂ්ටකම් ඇති වී තිබෙන්නේ ලිංගික අධ්‍යාපනය වගේ විෂයක් පාසල් මට්ටමේ සිට උගන්වන්නේ නැති නිසා නෙවෙයි ද කියලා…මම ඔබෙන් අහන්න කැමැතියි මේ සියල්ලට පිළිතුරක් හැටියට රට පුරා ගණිකා වෘත්තීය නීති ගත කිරීම කාලෝචිත නොවන්නේ මන්ද කියලා…?

මම හිතනවා මේ වගේ පොත් සිය ගණනක් තිබුණත් මදි වෙයි කියලා මේ අසහනය තුරන් කරන්නට.

5.”ප්‍රේම ජවනිකා”පොත මිල දී ගත හැකි පොත්හලවල් මොනවාද…ඊ පොතක් (E Book ) හැටියට මෙය තිබෙනවා ද…?

පිළිතුර : සරසවි,වීජිත යාපා,රත්න,වික්ස්,…යන පොත් සාප්පු ශාඛා රට පුරා තිබෙනවා.ඊ පොතක් හැටියට තවම එළි දක්වන්නට නොහැකි වී තිබෙන්නේ මගේ බුද්ධිමය දේපළ ආරක්ෂා වන ක්‍රම වේදයක් ඒ තුළ නොමැති නිසා යි.

6.ප්‍රශ්ණය : අලුත් ඩිජිටල් තාක්ෂණය යටතේ විද්‍යුත් තාක්ෂණය ඔස්සේ ලිංගික අවබෝධය ඇති කැරලීමට පොතේ අන්තර්ගතය වීඩියෝ හෝ සිනමා තාක්ෂණයෙන් රූපගත කර අන්තර් ජාලයට හෝ සිනමා කෘතියක් ලෙස හෝ එළි දක්වන්නටත් පිළිවන් නේද…?

පිළිතුර : ලෝකයේ දියුණු රටවල තාක්ෂණය මෙතරම් දියුණු නැති කාල වලදීත් ලිංගික අවබෝධය ඇති කරවන සිනමා කෘති බිහි වී තිබෙනවා.ඔබේ අදහස හොඳයි…ඒත් පළමුවෙන් නිෂ්පාදකයකු ඕන.දෙවැනුව මෙය ගැඹුරින් වටහා ගත් නළු නිළියන් කාර්මික ශිල්පීන් සිටින්නට ඕන…බලමු ඉදිරියේ දී…

7.අනෝමා ජනාදරී හරිම රැඩිකල් චරිතය ක්. ඇයි ඔබ එවැනි චරිතයක් බවට පත් වන්නේ…ඔබ කවුද…?

පිළිතුර: සිනමාවේ දී අපි ස්වර්ණා මල්ලවාරච්චි “දඩයම” චිත්‍රපටයේ කරපු විප්ලවය දිහා බැලුවේ සංසන්දනාත්මකව අනෙක් නිළියන් අරුමෝසම් චරිත රඟපාමින් නටමින්,විනෝද වෙමින්,කඳුළු සළමින් ඉන්නකොටයි.ඒත් වසන්ත ඔබේසේකර කියන අධ්‍යක්ෂකවරයා ඇයව නිර්ව්‍යාජව ඒ කෙරෙහි පෙළඹවුවා.

කාලය සහ සමාජයේ හැලහැප්පීම් දරුණු වෙනකොට ස්වර්ණාට එහා ගිය කැප කිරීමක් කළ හැකි සිනමාවෙන් දරුණු ලෙස ඒ සමාජ ගතිකයන් පෙන්වන නිර්මාණකරුවන් එල්ල වන අභියෝගයන්ට මුහුණ දිය හැකි අය ඕන.හඳගමත් මමත් මෝරා වැඩෙමින් හිටියේ එවන් සමාජ දේශපාලන වටපිටාවක.ඉතින් අපි අපෙන් විය යුතු කාර්ය භාරය ඒ මොහොතේ නොපිරිහෙළා නොබියව ඉටු කළා.
ඒ සම්බන්ධයෙන් පසු කලක අපිව අපිට නැති වුණත් අපිට අපි විතරවත් හිටි කාලයේ අපි ඒ දේ කළ එක ගැන සතුටුයි.

මම කවුද…? දැනට මේ රටේ මිනිස්සු ගැහැණු මම ගැන දන්නා ප්‍රමාණය හොඳටම ඇති.ඒ නිසා මම ඊට එහා ගිය අර්ථ කථන මම ගැන දෙන්න හදන එක වැරදියි.