Home Girls විවාහය හා අනියම් සබඳතා..

විවාහය හා අනියම් සබඳතා..

love

විවාහ ජීවිතය තුළ ඇතිවන අනියම් සබඳතා

මාතෘකාව දුටු සැනින් මෙය කෙනෙකුට අපුල දනවන්නක් විය හැක. එහෙත් ශ්‍රී ලංකාව තුළ මේ වන විට කතා කළ යුතු මට්ටමින් මෙම ගැටලුව පැන නැගී ඇත. එලෙසම මේ පිළිබඳ කතාබහ කරන විට විවිධාකාරයේ මත වාද, ප්‍රතිචාර දරන අය අපට මුණ ගැසෙයි.
විවාහ වී සිටින පුරුෂයෙකු හෝ කාන්තාවක විසින් පිටස්තර ස්ත්‍රියක හෝ පුරුෂයකු සමග ඇතිකරගන්නා සබඳතාවක් මෙහිදී අනියම් සබඳතාවක් ලෙසින් හැඳින්වේ. මෙහිදී ඒ සඳහා විවිධාකාරයේ හේතු, සාධක විය හැක. අයෙකුට තම පුරුෂයාගෙන් හෝ බිරිඳගෙන් නොලැබෙන ආදරය, ආරක්ෂාව, රැකවරණය, තේරුම් ගැනීම, මේ ආදී අනෙකාගෙන් අපේක්ෂා කරන මූලික අපේක්ෂාවන් නොලැබීයාම, එක් හේතුවක් ලෙස මෙම අනියම් සබඳතා සඳහා දැක්විය හැක. එකිනෙකාගේ හැඟීම්, සිතුවිලි තේරුම් නොගැනීම නිසා තමාව තේරුම් ගන්නා තමාට රැකවරණයක් සැලැසේ යැයි අපේක්ෂා කරන වෙනත් කෙනෙකු සමග ඇති කරගන්නා මේ සබඳතාව බොහෝවිට පවුල් ජීවිත අවුල් කරමින්, යම් අවස්ථාවල දිවි අහිමි කරමින් පවා කෙළවර වේ. එලෙසම තමාගේ සහකරුගේ හෝ සහකාරියගේ වත්පිළිවෙත්, පිරිසිදුකම, තමාගේ පවුලේ අයවලුන් කෙරෙහි දක්වන ආකල්ප නිසා ඇතිවන මත ගැටුම් දුරදිග යාම නිසා ඇති වන කලකිරීම් මේ සියල්ල අනියම් සබඳතාවයකින් කෙළවර විය හැක. තමාගේ සහකරු හෝ සහකාරිය ඇතිකරගන්නා අනියම් සබඳතාවයක් නිසා ඇතිවන සිත් තැවුල මගහරවා ගැනීමට ද අයෙක් විටෙක මේ ආකාරයේ සබඳතාවක් ගොඩනඟා ගනී.
මගේ සමීපතමයෙක් මා හා බෙදාගත් ඇයගේ අත්දැකීම් මෙලෙස ඔබ හමුවේ දක්වමි.
මම ඇත්තටම විවාහ වුණේ යාළුවෙලා. අපි බැඳපු දවසේ මගේ පිරිසිදුකම ඇත්තටම ඔප්පු කරගන්න මට පුළුවන් වුණේ නෑ . ඒත් කිසිම දවසක වෙනත් කෙනෙක් එක්ක කිසිම විදියක සම්බන්ධතාවයක් පවත්වලා නෑ මම. ටිකක් ගතානුගතික මත දරන කෙනෙක් තමා මගේ මහත්තයා. එදා ඉදල මගේ දිහා එයා සැකෙන් බලන්න පටන් ගත්තා. ඒ මම කිසිම දවසක වරදක් කරලා නෙවෙයි. ඒත් එයා මං දිහා බැලුවේ වරදකාරයෙක් දිහා බලන විදියට .මගේ නිදහස අසීමාන්තිකව සීමා කලා. කොයිම විදිහකින් වත් කිසිම පිරිමියෙක් එක්ක කතා කිරීම තහනම් වුණා. ඒ වෙලාවට එයා හැසිරුණේ මං ඒ පිරිමියා එක්ක සම්බන්ධ කරමින්, කෑකෝ ගහමින් පිස්සුවෙන් වගේ .මේක මට තදබල ලෙස මානසික වධයක් වුණා. එයාගේ මානසිකත්වය කොච්චරද කියනවා නම් දරුවා ඉපදෙන්න ඉද්දි කීප සැරයක්ම මට කියලා තියෙනවා දරුවා එයාගේ නෙවෙයි කියලත්. මට දැනුනා ඇත්තටම එයාට මානසික ප්‍රශ්නයක් තියෙන බව ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යමු කිව්වත් කිසිම දවසක යා කැමති වුණේ නෑ. මට දරන්න බැරි තරම් මානසික පීඩනයකින් තමා ජීවත් වුණේ. මගේ ෆෝන් එක, පර්ස් එක නිතරම එයා බැලුවා. හැබැයි කිසිම දවසක එයාගෙ ෆෝන් එක බලන්න මට අවස්ථාවක් තිබ්බෙ නෑ. ඒත් එයා ගැන මට ඇති වුන සැකයක් එක්ක දවසක් එයා නිදි අතරේ මම එයාගේ ෆේස්බුක් එකවුන්ට් එකට ගියා. මගේ ඇස් අදහා ගන්න බැරි විදියට මට ඒ චැට් වලින් ගොඩක් දේවල් හෙළි වුණා. මාව මේ තරම් හිර කරලා, පීඩනයක් දීලා එයා ඕනෙතරම් පෙම්වතියෝ, අනියම් කාන්තාවෝ ආශ්‍රය කරලා තිබ්බා. මගේ ජීවිතේ වැඩිපුරම දුක්වුණු දවස මම එදා. ඒ දැනුනු දුකත් එක්ක මම බොහොම අකීකරු, නපුරු බිරිදක් වුණා. තත්වය බොහොම දරුණු වුණා. නිතරම ආරවුල්. මේ අතරේ මගේ මහත්තයා ප්‍රසිද්ධියේ එයාගෙ නෑයෝ ඉස්සරහා මාව ලැජ්ජ කරන්න පටන් ගත්තා. ඒ මිනිස්සු මට අනුකම්පා කරා. ඔය අතරේ එයාගේ නෑදෑ වෙන මල්ලි කෙනෙක් ඇත්තටම මං ගැන අනුකම්පාවෙන් මට ගොඩක් උදව් කරා. මගේ හිත හදාගන්න මට හයියක් වුණා. මහත්තයගෙන් නොලැබෙන ආදරේ, ආරක්ෂාව මට දුන්නා. මට ඇහුම්කන් දුන්නා. ඇත්තටම ඒ වෙද්දි එයාගැන ලොකු විශ්වාසයක්, එයාගෙන් ලොකු රැකවරණයක් මට දැනුනා. අපිටත් නොදැනිම අපි ආදරේ කරන්න පටන් ගත්තා. එයා අවංකවම මට ආදරේ කරා. ඇත්තටම මට ඒක වරදක් කියලා කොයිම වෙලාවකවත් දැනුනේ නෑ”

මේ ඇයගේ පාපොච්චාරණයයි .මාද කාන්තාවක ලෙස මෙම අවස්ථාවේ ඇයගේ සිතුම් පැතුම් හොඳ හැටි තේරුම් ගත හැක. විවාහය යන රාමුව තුළ කොටුවී මෙයාකාරයෙන් දේවල් සිදු කිරීම කෙතරම් දුරට සභ්‍ය දැයි ප්‍රශ්නාර්ථයකි විවාහ ජීවිතය තුළ විඳවීම අවශ්‍ය නැත තමාට රිසි ජීවිතය නොලැබේ නම් ඔහුගෙන් නීතියෙන් වෙන් වීමට ශක්තිය හැකියාව කාන්තාව විසින් ලබාගත යුතුය එවිට තමාට රිසි ජීවිතය ළඟා කර ගැනීමට හැකියාව ඇත මේ අනියම් සබඳතා සඳහා එක් උදාහරණයක් පමණි මෙයාකාරයෙන් පුරුෂයන්ටද විවිධාකාර හේතු තිබිය හැක.
ජීවිතය ඇත්තේ විඳින්න ,එය විඳින්න. විවාහය තුල කිසි දින විඳවන්න එපා. නමුත් කාන්තාවක් ලෙස මාගේ මතය අනියම් සබඳතා අනුමත නොකරමි. නොගැලපේ නම් වෙන් වන්න .ඉදින් තමාගේ රිසි ජීවිතය සොයා යන්න. ජීවිතය විඳින්න .තව දෙයක්, අමාරුවෙන් ගොඩ නගා ගන්නා සබඳතාව තුළ අවංක වන්න. අනෙකාගේ ආදරයට වටිනා කමක් දෙන්න. විශ්වාසය රකින්න. අනෙකා තේරුම් ගන්න. ජීවිතය තුළ ලස්සන අළු කොබෙයි යුවළක් වන්න.
ඔබට ජය හා සතුට!

SSK