Home Hard Talk ඔබේ අපේ දරුවෝ වත්මන් සමාජය තුල ආරක්ශිතද?

ඔබේ අපේ දරුවෝ වත්මන් සමාජය තුල ආරක්ශිතද?

child abuse sri lanka

ළඟ ළඟ දිගින් දිගටම අහන්නට ලැබුණු හද කම්පා කරන පුවත් කීපයක් හින්දා මේ දවස් වල පුදුම විදිහට හිත චංචලයි .අවුරුද්දයි මාස හතරක් වයස චූටි මල් කැකුළක් තළා පෙලා පොඩි කර දාන්න මනස හදාගන්න පුළුවන් නරුමයෝ මේ සමාජයේ ඉන්නවා කිවුවහම හිතට දැනෙන්නේ පුදුම බයක්.කලකිරීමක්

මදකට සිතන්න අවුරුද්දයි මාස හතරක් වයස කුඩා දරුවෙකුට තේරෙන්නෙ මොනවද .??කවුරුහරි මලක් කොළයක් සෙල්ලම් බඩුවක් පෙන්නලා කතා කරොත් ගොඩක් දරුවො ඕන කෙනෙක්ගෙ අතට යනවා සමහර දරුවෙක් ඇරෙන්න.ඉතිං ඒ කුඩා දරුවාට හොඳ නරක මොකද්ද කියලා තේරෙනවද ??තමන් වටේට ඉන්නේ මොන වගේ හිත් තියන මොනවගේ සිතුවිලි තියෙන මනුස්සයෝ ද කියලා ඒ ළමයාට තේරෙනවද ?සමාජයේ හොඳ නරක වත් තේරුම් කරලා දෙන්න පුළුවන් වයසක් නෙවෙයි අවුරුද්ද අවුරුදු දෙක වගේ වයස් සීමාව .ඉතින් අම්මලා වෙච්ච අපි මොහොතකටවත් හිතන්නේ නැහැ නේ මේ වගේ කුඩා දරුවන් වත් ඩැහැගන්න බලන් ඉන්න නරුම කාලකන්නි මේ සමාජයේ ඉන්නවා කියලා .හොඳ නරක කියලා දීලා තේරුම් කරන්න පුළුවන් වයසට එනකං අපි කොහොමද මේ චූටි මල් කැකුළු රැකබලා ගන්නේ

 අනේ අසල්වැසියා නේ නැත්තං අල්ලපු ගෙදර අන්කල් නේ කියලා නිවසේ නිවසියන් ඇරෙන්න කිසිම කෙනෙක් ගාව කොයිම වෙලාවකවත් දරුවාව දාලා දරුවව තනි කරලා යන්න එපා .විශේෂයෙන්ම ගෑනු දරුවො .

 කුඩා දරුවාව අනවශ්‍ය විදිහට සිප ගන්න අතපත ගාන්න පිට මිනිස්සුන්ට දෙන්න එපා .විශේෂයෙන්ම පිරිමි අයට .එහෙම කියන්නේ අපි දන්නේ නැහැනේ මිනිසුන්ගේ සිත් ඇතුලේ මොනාද තියෙන්නෙ කියලා .කෝකටත් පෙර සූදානම කියලා තමන්ට ඉන්නේ ගැහැනු දරුවෙක් නම් කොයිම වෙලාවකවත් දරුවාව අනවශ්‍ය විදිහට පිරිමින්ට අතපත ගාන්න සිප වැළඳ ගන්න ඉඩ දෙන්න එපා .(ගෑණු දරුවන්ට විතරක් නෙවෙයි කුඩා පිරිමි දරුවන්ටත් මෙය අදාලයි .අද නරුමයන් ගේ ආසාවන් වලට ගෑණු පිරිමි භේදයක් නෑ )

දරුවා කොයිතරම් කුඩා වුවත් දරුවාගේ රහස් අවයව නිරාවරණය වෙන විදිහට දරුවව තියාගන්න එපා .මොකද විකෘති ආශාවන් තියෙන කාම පිපාසිත යන්ට අනේ මේ දරුවෙක් නේද කියන සිතුවිල්ල එන්නේ නැහැ උන් බලන්නෙම වියරුවෙන්.

 රැකියාවට යන මවක් නම් ඔබ රැකියාවට යන පියෙක් නම් ඔබේ දරුවන් නිවසේ සුරක්ෂිත ද කියන එක හොඳින් අවධාරණය කර ගන්න.නිවසේ සිටින මෙහෙකරු නැත්තං දරුවා බලාගන්නට සිටින තැනැත්තා මොන වගේ කෙනෙක්ද කියන එක ගැන හොඳ අවබෝධයකින් ඉන්න .බොහොම මෑතකදී ලිපියක් කියෙව්වා ගෙදර වැඩට ඉන්න මෙහෙකරු ගෙදර අයිතිකාරයෝ වැඩට ගියාට පස්සෙ ඒ මාස හයට අඩු දරුවව අරගෙන හිඟාකන්න යනවා කියලා ඉතින් බලන්න මේ වගේ දේවල් අහන්න කරන්න ලැබෙන රටක් මේක

 හැම වෙලාවෙම දරුවා කොහෙද ඉන්නේ මොනාද කරන්නේ කියන එක ගැන අවධානයෙන් ඉන්න. දරුවා කා සමග හිටියත් කොයි අවස්ථාවක හිටියත් දරුවා ගැන ඇහැගහගෙන ඉන්න .මොකද සමහර දේවල් වෙන්න ගොඩක් වෙලා යන්නෙ නෑ බොහොම සුළු වෙලාවක් ඇති

පිට අයට පේන්න දරුවව ඇඟ සෝදවන්න දරුවාව ඇඳුම් නැතුව තියාගන්න එපා හැම වෙලාවෙම දරුවාගේ ආරක්ෂාව ගැන මවක් විදියට පියෙක් විදියට ද සැලකිලිමත් වෙන්න.
ඕනම අවස්ථාවක ඔබට හිතනවා නම් ඔබේ දරුවා අනාරක්ෂිත කියලා එහෙමත් නැත්නම් ඔබේ දරුවාව අනවශ්‍ය විදිහට කවුරුන් හෝ පාවිච්චි කරන්න උත්සාහ කරනවා කියලා ඒ ලද පළවෙනි අවස්ථාවෙම ඒ පුද්ගලයාට විරුද්ධවම නැගී සිටින්න.මත්ද්‍රව්‍ය පානය කර බීමත්ව පැමිණෙන පුද්ගලයන්ට කිසිම අවස්ථාවක දරුවාව අතට දෙන්න එපා. ඉතාම විශ්වාසවන්ත පුද්ගලයෙකු ළඟ දරුවා ගැවසුණද නිතරම දරුවා ගැන හොඳ අවධානයකින් ඉන්න.

දරුවාගේ දෛනික කටයුතු ගැන හොඳ අවධානයකින් ඉන්න දරුවා වෙනදට වඩා වෙනස් නම්,දරුවාගේ ක්‍රියාකාරකම් වෙනස් නම් දරුවා කුමක් හරි අපහසුතාවකින් පසු වෙනවා කියලා ඔබට හිතෙනවා නම් ඒකට හේතුව මොකක්ද කියලා වහාම හොයලා බලන්න.සමහර වෙලාවට දරුවන් අපයෝජනයට ලක් වෙන්නේ අපි කිසිසේත්ම නොසිතන පුද්ගලයෝ අතින්. අපි දැඩිව විශ්වාස කරන පුද්ගලයෝ අතින් ඒ හින්දා කිසිම වෙලාවක කිසිම කෙනෙක් පමණට වඩා විශ්වාස කරන්න එපා .හැම වෙලාවෙම ඔබේ දරුවා ගැන දැඩි අවධානයකින් ඉන්න .

කොයි යම් හෝ අවස්ථාවක ඔබ පළමු විවාහය අතහැර දෙවැනි විවාහයකට යනවනම් ඔබේ පළමු විවාහයේ දරුවන් ගැන ඔබේ පළමු විවාහයේ දරුවන්ගේ ආරක්ෂාව ගැන ඔබ දැඩි තීරණයක් ගන්න .ඔබ විවාහ වන පුද්ගලයා ඇත්තටම ඔබේ පළමු විවාහය දරුවන්ට ආදරය ද ඔවුන්ව රැක බලාගන්ඩ සුදුසුද කියන්න ඔබ තීරණය කරන්න .මොකද කල් යනකොට ගොඩක් පිරිමි බිරිඳගේ කලින් විවාහයේ දරුවන් ව අපයෝජනය කරන්නට පෙලඹෙනවා .හැබැයි එහෙම නොකරන ගොඩාක් හොඳ ගොඩක් හොඳ විදියට ඒ දරුවන්ටත් සලකගෙන ඉන්න තාත්තලත් ඕන තරම් ඉන්නවා.
ඇතැම් අවස්ථාවලදී ඔබේ දරුවා පමණක් නොවේ, ඔබට හිතනවා නම් ඔබේ අසල් වැසියාගේ දරුවා එහෙමත් නැත්නම් ඔබේ නෑදෑ හිතමිත්‍රාදීන් දරුවා කවුරුන් හෝ අතින් යම් කිසි අපයෝජනයකට ලක් වෙන්නට ඉඩ තියෙනවා කියලා වහාම ඒ දෙමව්පියන් දැනුවත් කරන්න .මොකද ඇතැම් අවස්ථාවලදී දෙමව්පියන්ට නොපෙනෙන දේවල් ඔබට පෙනෙන්නට පුළුවන්.

හයක් හතරක් නොතේරෙන හොඳ නරක නොතේරෙන හරියට අම්මා තාත්තා අයියා අක්කා මල්ලි නංගි කියලවත් කතා කරන්න බැරි පොඩි දරුවෝ විනාශ කරලා දාන නරුමයෝ ඉන්න රටක් මේක. ඉතින් හොඳත් නරකත් කියලා දෙන වයසකට එනකන් ඒ චූටි මල් කැකුළු අපේ ඇස් වගේ අපේ ඇස් මානේ තියාගෙන බලාගන්න.සමහර දේවල් වෙන්න මහා ලොකු වෙලාවක් යන්නෙ නෑ එකම එක පොඩි වෙලාවක් ඇති .සමහර වෙලාවට එක විනාඩියක් ,දෙකක් වෙන්නත් පුළුවන් දරුවො කියන්නේ අපේ වගකීමක් .අපි ජීවිත කාලෙම දරුවන්ට සෙවනක් වෙන්න ඕනේ ඉතාමත් ඉතාමත්ම කුඩා කාලයේදීම කුඩා දරුවෙකුට අර තරම් ලොකු විශාල කරදරයක් උනොත් ඒ දරුවාගේ ජීවිතයේ ඉස්සරහට මොනවා වෙයිද.සිදුවුනාට පස්සේ අඬලා වැලපිලා පලි ගහලා වැඩක් නෑ වෙන්න කලින් නතර කරගන්න දෙමව්පියෝ විදිහට අපි සැලකිලිමත් වෙන්න ඕනෙ .

කෙසේ වෙතත් විකෘති ලිංගික ආශාවන් නිසා කුඩා දරුවන් අපයෝජනය කරන නරුම තිරිසන් කාලකන්නි මිනිසුන්ව මේ ලෝකෙන්ම තුරන් වෙලා යන්න ඕනේ. ඒ වගේම එහෙම මිනිස්සුන්ට නීතියෙන් උපරිම දඬුවම් ලබා දෙන්න ඕනේ කොයිම වෙලාවකවත් නීතියෙන් ඔවුන්ට පැන යන්න දෙන්න හොඳ නැහැ. එහෙම වුනොත් වෙන්නේ කාලකන්නි මිනිස්සු ඒ දෙයින් නතර නොවී දිගින් දිගටම ඒ වගේ පාපකාරී ක්‍රියා කරනවා. ඒ විතරක් නෙවෙයි ඔවුන් ආදර්ශයට ගත්තු ඔවුන් වගේම මිනිස්සුත් බය නැතුව අපරාධ කරනවා මොකද නීතියෙනුත් ඔවුන්ට ගැලවීමක් තියෙන හින්දා. ඉතින් මේ වගේ කාලකන්නි මිනිසුන්ට වේදනාකාරී මරණයක් ලැබෙන්න ඕනේ කියන එකයි මගේ මතය .

අපි හැමෝම එකතු වෙලා අපේ දරු පැටවුන් ව ආරක්ෂා කර ගනිමු.


-උදේශිකා සඳමාලි අල්විස්