Home All හැකියාවන් ඉදිරියේ සීමාවන් නොතකන ඇය සෙව්වන්දි

හැකියාවන් ඉදිරියේ සීමාවන් නොතකන ඇය සෙව්වන්දි

ඇය උපන්නේ අම්බලන්තොට ප්‍රදේශයේ මාමඩල නම් සොඳුරු ගම්පියසේයි. නිස්කලංක පරිසරයක ජීවිතේ ගෙවන සෙව්වන්දි දලදාවත්ත නම් ඇය, ව්‍යාපාරික කතක්, චිත්‍ර ශිල්පිනියක්, ලේඛිකාවක්, රංගන ශිල්පිනියක්, කඳු නගින්නියක්, ඡායාරූප ශිල්පිනියක් වගේ ම කෙටි චිත්‍රපට අධ්‍යක්ෂිකාවක් ලෙස ද හඳුනාගන්න පුළුවන්. ඉගෙනීම් කටයුතු හා එදිනෙදා වියපැහැදම් වෙනුවෙන් අවශ්‍ය කරන මුදලින් සැලකිය යුතු කොටසක් ඇය උපයාගන්නේ තමාගේ ම මහන්සියෙන් සහ දක්ෂතාවයෙන්.
මාමඩල මහ විද්‍යාලයෙන්,අම්බලන්තොට මහා විද්‍යාලයෙන් සහ දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයෙන් අකුරු කෙරූ සෙව්වන්දිය ඇගේ ආදරණීය දෙමාපියන් සමඟ ජීවත්වෙන්නෙ ගම කෙලවරේ ම ගෙදර. විශාල වෙල් යායක් මැද තියෙන සෙනෙහෙ කැදැල්ලක, ගස්වැල් මල් පිරිවරාගත්තු පරිසරයක ගෙවෙන ජීවිතේ ඇති නිහඬ නිසංසල බව, ඇගේ කලාත්මක කටයුතුවලට විශාල රුකුලක් බව නම් අමුතුවෙන් කිව යුතු නෑ.
දුක සතුට දෙක එකට කැටි කරගත්තු මේ අපූරු ජීවන ගමනෙදි අපි අතින් ගිලිහුණු එක ම එක නිමේෂයක්වත් ආයෙමත් ජීවිතයට එන්නෙ නෑ. නමුත් ඒ ගෙවීගිය නිමේෂයන්, සොඳුරුතම අයුරින්,සදාතනික මතක සටහන් බවට පත්කරන්න, කලාත්මක ඇහැකට උරුමකම් කියන ඡායාරූප ශිල්පියෙකුට, ශිල්පිනියකට පුළුවන්. ස්වභාව සෞන්දර්යට බෙහෙවින් ඇලුම් කරන ඇය දක්ෂ ඡායාරූප ශිල්පිනියක් බව මා මින් පෙර සඳහන් කළා. ඇගේ කැමරා කාචයට හසුකරගත් නෙක සොඳුරු සේයාරූ එකතුව ඒ දක්ෂතාව මනාව විදහා දක්වනවා.


“අපේ අයියා කෙනෙක් ෆොටෝග්‍රැෆි කළා. එයාගේ ෆොටෝ දැකලා තමයි මටත් හිතුණෙ ට්‍රයි කරලා බලන්න ඕනෙ කියලා. මගේ තාත්තත් ෆොටෝග්‍රැෆර් කෙනෙක් නිසා ගෙදරින් ම ඒ සම්බන්ධයෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. තාත්තගේ පරණ කැමරා වගයකුත් පොඩි කාලෙ ඉඳලා ම අතපත ගාලා තිබුණු නිසා මගෙ හිතේ ආසාවක් තිබුණා ෆොටෝග්‍රැෆි කරන්න. මුලින් මං එෆ් බී එකෙන්,ඉන්ටර්නෙට් එකෙන් බලලා ෆොටෝග්‍රැෆි ඉගෙනගත්තා. තේනුවර සර්ගේ ක්ලාස් එකට ගියාට පස්සෙ මට ඒ ගැන තිබුණු ආසාවයි උනන්දුවයි වැඩි වුණා. යාළුවො කියනවා “උඹට පුළුවන්. උඹේ ෂොට්ස් ලස්සනයි” කියලා. ඒත් මට නම් තාම මදි. මට ඕනෙ තව ගොඩක් දේවල් ඉගෙනගන්න.”
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත කලා උපාධිය හදාරන සෙව්වන්දි ඒ යටතේ සිනමෙටෝග්‍රැෆි (සිනමා සහ නාට්‍ය අධ්‍යයනය)ඉගෙනගන්නවා. ෆොටෝග්‍රැෆි සහ සිනමෙටෝග්‍රැෆි කියන්නෙ සම්පූර්ණයෙන් ම වෙනස් දෙකක්. චලන රූප සහ නිශ්චල රූප කියන දෙවර්ගයම ගැන වෙන වෙන ම හදාරන ඇය මේ වන විට කෙටි චිත්‍රපට කිහිපයක් ද අධ්‍යක්ෂණය කර අවසන්. ඒ අතරින් කිහිපයක් කෙටි චිත්‍රපට තරග සඳහා ද ඉදිපත් කරලා තියෙනවා වගේ ම තව දුරටත් ඒ සම්බන්ධයෙන් හදාරා ඉදිරියේ දී ප්‍රේක්ෂකයාට දැනවිය හැකි නිර්මාණයක් බිහි කිරීමයි ඇගේ බලාපොරොත්තුව.

ඊට අමතර ව පුවත්පත් සහ සඟරාවලට ලිපි සහ කාව්‍ය නිර්මාණ ඉදිරිපත් කරන්නේ ඇගේ සිතුවිලි නිදහසේ පිටපත් කරමින්. මේ සියලු දේ අතර සිතුවම්කරණයත් ඇය කිසිවිටකත් මඟනොහරින කටයුත්තක්. මේ සියලු දේ ඇයට විනෝදාස්වාදයක් වගේ ම යම් ආකාරයක ආදායම් මාර්ගයක් ඇති කරනවා.
සමාජය තුළ තවමත් දකින්නට ලැබෙන්නේ ගෑනු ළමයි යම් සීමාකිරීමට ලක් කිරීමට ගන්නා උත්සාහය යි. නමුත් එවන් සීමාවන් තිබිය යුතු නෑ. කිසිඳු ක්ෂේත්‍රයකදී නිර්මාණශීලිත්වය සහ හැකියාව යන කාරණාවලදී කිසිවිටකත් ගැහැනු පිරිමි බව ආදාළ වෙන්නෙත් නෑ. හැකියාව වගේ ම උනන්දුව, කැපවීම තියෙනවා නම් ගැහැනු ළමයෙකුට වුණත් හොඳ ආර්ථික තත්ත්වයක් ඇති කරගන්න පුළුවන් වගේ ම ජීවිතය පිළිබඳ තෘප්තිමත් බවක් ද ඇති කරගැනීමට පුළුවන් බව සෙව්වන්දි ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වනවා.


Peggy’s café ආරම්භයත් සමඟයි ඇය ව්‍යාපාරිකාවක් බවට පත්වන්නේ. ඇගේ අනාගත සහකරු අශේන් මලිත සමඟ සහයෝගයෙන් Peggy’s café නමින් කැෆේ එකක් සාර්ථකව කරගෙන යන අතර ම එයින් සැලකිය යුතු අන්දමේ ආදායමක් ද ලබනවා. Peggy’s café එක පටන් ගන්න ඕනෙයි කියන අදහස සෙව්වන්දිගේ හිතට එන්නේ අශේන් එක්ක බොහොම සුන්දර තැනක කෑම කන්න ගිය වෙලාවක. විනෝදයෙන් කල් ගෙවීමට වගේ ම සංචාරයට වැඩි කැමැත්තක් දක්වන මේ දෙදෙනා ම කැමති වුණේ තවත් කාගෙ හරි යටතේ රැකියාවක් කරලා මාස් පඩියක් ගන්නවට එහා ගිය දෙයක් කරන්නයි. ඉතිං දෙන්නම අනාගතේ වෙනුවෙන් ඉතුරු කරලා තිබුණු මුදල්වලට දෙපැත්තෙම දෙමාපියන්ගෙන් ලැබුණු මුදලුත් එකතු කරලා පුංචියට වැඩේ පටන් ගත්තේ ළඟ ම යාළුවෝ කිහිප දෙනෙකුගෙත් උදව් ඇතුව යි.
“කන්නයි කියලා තැනකට ගියා ම අපි කාලා එනවා එච්චරයිනෙ. ඒත් මට ඕනෙ වුණේ කෙනෙක්ට ඇවිත් කාලා ටික වෙලාවක් නිදහසේ ඉඳලා, පොතක් පතක් කියවලා, ෆොටෝ එකක් එහෙම අරගෙන ඕනෙනම් සිංදුවකුත් කියලා වෙනසක් අත්විඳලා යන්න පුළුවන් තැනක් හදන්නයි. හරියට ම කියනවා නම් නිකරුණේ රැඳී සිටීම තහනම් නැති තැනක්. සමහර රටවල එළවළු වැඩිපුර හැදුණම එළියෙ වට්ටියක තියලා තියනවා ‘මෙතනින් කැමති ප්‍රමාණයක් අරන් යන්න’ කියලා ලියපු ලොකු බෝර්ඩ් එකකුත් එක්ක. එතකොට ඒ රටවල මිනිස්සු ඇවිල්ලා එළවළු වට්ටිය ම අරන් යන්නෙ නෑනේ. තමන්ට අවශ්‍ය ප්‍රමාණය විතරක් එතනින් අරන් යනවා. ඒත් අපේ අයත් එකක් ඕක කරන්න ගියොත් වට්ටිත් අරන් යයි. මම Peggy’s café එකේ පොත් තියලා, පොඩි අයට සෙල්ලම් කරන්න ටෙඩි බෙයාර්ස්ලා එළියෙ තියලා වෙනසක් කරන්න හැදුවත් ටික දවසක් යද්දි මට තේරුණා ලංකාවෙ මිනිස්සුත් එක්ක ඕක කරන්න බෑ කියලා. පොත් නැතිවෙනවා. ටෙඩි බෙයාර්ස්ලා අතුරුදහන් වෙනවා. පස්සෙ මං ටෙඩි බෙයාර්ලා සේරම කබඩ් එකක දාලා වැහුවා. අපිට ඕනෙ වුණේ ආදායමක් ලබන ගමන් ම එනයන අයට ටිකක් නිදහසේ ඉන්න පුළුවන් තැනක් හදන්නයි.

මිනිස්සුන්ගේ පෞද්ගලිකත්වයට හානියක් වෙන විදිහට අපි එයාලව නිරීක්ෂණය කරන්න ගියෙත් නෑ. ඒ වගේ ම මගේ අදහසක් තිබුණා සති අන්තයේ ෆිල්ම් එකක් එහෙම පෙන්නලා ඒ ගැන හොඳ සංවාදයක් ගොඩනඟන්න. නමුත් මිනිස්සු හැමෝම එක වගේ නෙවි නිසා මේවා හිතුව විදිහට ම කරන්න අමාරුයි. ඒත් අත්හරින්නේ නෑ. ඉදිරියෙදිත් වෙනසක් කරන්න බලාපොරොත්තු වෙනවා.” සෙව්වන්දි කියන්නේ එහෙම.
“මට ඩිග්‍රිය ලැබිලා අවුරුදු 7ක් 8ක් වෙනවා. ඇයි තාමත් ජොබ් එකක් ලැබුණෙ නැත්තෙ?” කියලා එෆ් බී. පෝස්ට් දානගමන් රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබුණම රජයෙන් ම රස්සාවකුත් දෙන්න ඕනෙයි කියලා හිතාගෙන කවදා ම හරි රජයෙන් රස්සාවක් දෙනකල් අම්මා තාත්තට බරක් වෙලා වැඩක්පලක් නොකර ම වයසට යන සමහර තරුණතරුණියන්ට සෙව්වන්දිලා වගේ අය ආදර්ශයක්. උපාධිය කියන්නේ රැකියාවක් කරන්න දෙන සුදුසුකමක් විතරක් ම නෙවෙයි.

ඒ වගේ ම තමයි රජයේ විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගත්ත කෙනෙක් රජයේ රස්සාවක් කරන්න ඕනෙයි කියලා නියමයකුත් නෑ. අපි හැම වෙලාවෙ ම තෝරගන්න ඕනෙ අපිට ගැලපෙන මාර්ගය. අපේ ඇතුළාන්තයේ හැංගිලා තියෙන දක්ෂතාවය සහ නිර්මාණශීලිත්වය එළියට ගන්න මහන්සි වෙන්න ඕනෙ. ඒ නිර්මාණශීලිත්වයට ස්ත්‍රී පුරුෂ බව කිසිසේත්ම අදාළ වන්නේ නෑ. ඉතිං හැකියාවන් ඉදිරියේ සීමාවන් නොතකන ඇය, දිනෙක බාධක සුනුවිසුනු කර අරමුණ ජය ගනීවි.

මිහිරි කාංචනා