Home Entertainment අද වන විට අපෙන් ගිලිහි යන සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩා

අද වන විට අපෙන් ගිලිහි යන සිංහල අවුරුද්ද සමඟ බැඳුණු ජන ක්‍රීඩා

3
0

බක් මාසය කියන්නේ ඉතා වාසනාවන්ත නැතහොත් භාග්‍යවන්ත මාසයක් කියලයි හැමෝගෙම පොදු පිළිගැනිම වෙන්නේ. සූර්යා මීන රාශීයේ සිට මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ මිනිසා පමණක් නොව ගහ කොළ, සතා සිවුපවා ද වෙනදා නොතිබුණ තරම් ප්‍රබෝධයකින් හා උද්යෝගයකින් මේ වකවානුව තුළ ගතකරන්නේය.

ඒ විතරක් නෙමෙයි පවසර පුරා සැගව තිබෙන බොහෝ ජන ගී,ජන කතා,ජන කවි, ජන සංගීතය,ජන නාට්‍ය මෙන් ම ජන ක්‍රීඩා ද මේ මාසය තුළ සෑම නිවසකින් ම, ප්‍රදේශකින් ම, පළාතකින් ම එළියට එනු දැකගත පුළුවන්. සිංහල හින්දු අලුත් අවුරුද්දේ සියලු චාරිත්‍ර වාරිත්‍රවලින් පසු බොහෝ දෙනාගේ අවධානය යොමුවන්නේ බක් මහ උළෙලටයි.

ඈතඅතීතයේ සිට පැවැතගෙන ආ ජන ක්‍රීඩාවලට මුල් තැන දෙමින් මෙම බක් මහා උළෙල පැවැත් වෙන අතර එම උත්සවය සඳහා ගම්වල වෙසෙන සෑම කෙනාම එක් වී සහෝදරත්වයෙන් එකා මෙන් ක්‍රීඩාවල නිරත වීම මෙහි දී දැකගන්න පුළුවන්. නමුත් අද වන විට අතීතයේ පැවැත ආ ක්‍රීඩා වෙනුවට නව ක්‍රීඩා රැසක් එකතු වී තිබේ. සත පහ සෙවීම, පැපොල් ගෙඩියේ ඇට ගණනය කිරීම,බනිස් කෑම. බැලූන් පිපිර වීම, හොඳම තට්ටයා, බඩා තේරීම වැනි වැනි ක්‍රීඩා මේ අතර වෙනවා.

අද අපේ දරුවන් මේ ජන ක්‍රීඩා ගැන නොදන්නා තරම්. ඒ කාලයේ තිබුන ක්‍රීඩා වෙනුවට මේ වන විට අලුත් ක්‍රීඩා එකතු වෙලා පරණ ජන ක්‍රීඩා අභාවයට පත් වෙමින් යන කාලයක් තමයි මේ. ඉතින් අපි මේ අපේ ඉපැරණි ජන ක්‍රීඩා රැක ගත යුතුයි නේද?

 

සාමූහික ක්‍රීඩා

මේවර කෙළිය එළුවන් කෑම පංච කෙළිය

ඉන්දියාවේ සිට පැමිණි මෙම ක්‍රීඩාව සමඟ වූ ජනප්‍රවාදයට අනුව ගජබා රජතුමා සොළී රටට පැහැර ගෙන ගිය සිංහල සේනාවට පොළිය ලෙස සොළී රටෙන් දොළොස්‌ දහසක්‌ සෙනග රැගෙන එන ලදී. මෙම ගමනේදී පත්තිනි දේවියගේ සළඹද රැගෙන එන ලදී. මේ සමගම පංච කෙළිය වැනි ක්‍රීඩාවන්ද මෙරටට සම්ප්‍රාප්ත වන්නට ඇතැයි අපේක්‌ෂා කෙරේ. සිංහල අලුත් අවුරුදු කාලයට කලඑළි දකින මෙම ක්‍රීඩාවට සම්බන්ධ වීමෙන් පත්තිනි දේවියගේ ආශිර්වාදය තමන් වෙතට ලැබෙනු ඇතැයි අපේක්‌ෂා කරයි.

දෙදෙනෙකුට හෝ කණ්‌ඩායම් දෙකකට ක්‍රීඩා කළ හැක. ක්‍රීඩකයන් ගණන ඉරට්‌ටේ සංඛ්‍යාවක්‌ වීම අනිවාර්ය වේ. ඔත්තේ ගණනක්‌ සිටින විට හුංගෙක්‌ පත්කර ගනු ලබයි. කණ්‌ඩායම් දෙකක්‌ ක්‍රීඩා කරන විට දෙපිලට නායකයන් දෙදෙනෙක්‌ පත් කර ගනු ලබයි.

පංච ලෑල්ලේ ක්‍රීඩාවට පිවිසීමට පංචයක්‌ හෙවත් ඔණ්‌ඩුවක්‌ ලැබිය යුතුය. ඔණ්‌ඩුව යනු බෙල්ලන් එකෙක්‌ පමණක්‌ උඩුකුරුව සිටීමයි. සියල්ලම උඩුකුරුව පෙරළීම සිරිමල ලෙස හැඳින්වෙන අතර ඔහුට කිසිම අය ගණනක්‌ නොලැබේ. පංච පෙතේ අවසාන කොටුව ජලය නමින් හඳුන්වයි. ජලයෙන් ඉත්තන් ගොඩවන්නට නම් ඔණ්‌ඩුවක්‌ ලැබිය යුතුය. මුලින්ම ඉත්තන් එගොඩ කරන පිලට ජයග්‍රහණය ලැබේ.

ඔළිඳ කෙළිය

ගණිත ක්‍රමයකට අනුව සිදුවෙන මෙම ගෘහස්‌ථ ක්‍රීඩ dවට කාන්තාවන් දෙදෙනෙක්‌ සහභාගි වන අතර ක්‍රීඩාව ආරම්භයේ සිට අවසානය දක්‌වාම අත්වැල් ගායනය සිදු වේ. ඔළිඳ උපතේ සිට ඹළිඳ ක්‍රීඩාව ජයගන්නට අවශ්‍ය උපක්‍රම ගායනයෙන් කියෑවෙයි.

ඔළිඳ පුවරුව යනු සකස්‌ කර ගත් ලෑල්ලකි. එය අඟල් 10 සිට 14 අතර දිග අඟල් 6 සිට 8 අතර පළල ලෑල්ලකි. එක පැත්තක 7 බැගින් දෙපැත්තේ වළල් දෙපේළියකි. පේළි අතර පුවරුව දෙකොන 2 ඞ 2 බැගින් වළවල් දෙකකි. ඔළිඳ පුවරුවට මුතු පුවරුව යන නමද ඔළිඳ කොළොම්බුව යන නමද භාවිත කරයි. මේ වෙනුවෙන් වටිනා දැව යොදා ගනී. ඔළිඳ උපත සිදුව ඇත්තේ බංගලි දේශයේ බව මෙම ක්‍රීඩාව කරන විට ගයනා ගීත වලින් පැහැදිලි වේ.

ඔළිඳ තිබෙන්නේ කොයි කොයි දේසේ ඔළිඳ තිබෙන්නේ බංගලි දේසේ ගෙනත් සදන්නේ. කොයි කොයි දේසේ ගෙනත් සදන්නේ සිංහල දේසේ

රෑන් ඇදිව්චද බලකොයි නෑනෝ ගසට පලව්චද බලකොයි නෑනෝ මල් හට ගත්තද බලකොයි නෑනෝ පල හට ගත්තද බලකොයි නෑනෝ

කිරි සල් වෙව්චද බලකොයි නෑනෝ ඔළිඳ පැහිව්චද බලකොයි නෑනෝ දැන්නම් පැහිලා බලකොයි නෑනෝ ඔළිඳ නෙළන්නට යමු අපි නෑනෝ

ඔළිඳ පුවරුවේ වළවල් 14 ක එක වළකට ඇට 4 බැගින් ඇට 56 ක්‌ ඇත. මෙය ඔළිඳ වපුරනවා ලෙස භාවිතා කරයි. ඉන් පසු එක්‌ ක්‍රීඩිකාවක්‌ තම පේළියේ මුල් වලේ ඇට අතට ගනු ලබයි. මෙය ඔරවනවා ලෙස භාවිත කරයි. මෙසේ එරවූ ඇට වළකට එක බැගින් ළඟම ඇති වලවල්වලට පිළිවෙලින් දමනු ලබයි. ඊළඟ වළේ ඇති ඇට සියල්ලද මුලින් කළ අන්දමට සිදු කරයි. මෙසේ ඇට ඉසින අතර අතේ ඇට ඉවර වුන විට හිස්‌ වළක්‌ හමු වුවහොත් ඊට එහා පැත්තේ ඇති ඇට සියල්ලම ඉසීම කරන ක්‍රීඩිකාවට හිමි වේ. මෙය ඔළිඳ කෙළියේදී කනවා යෑයි භාවිතා කෙරේ. පිළිවෙලින් හිස්‌ වළවල් දෙකක්‌ හමු වුවහොත් තුන්වැනි වලේ ඇති ඔළිඳ ඇට කෑමට ක්‍රීඩිකාවට අවසර නැත. එවැනි අවස්‌ථාව පුස්‌සක්‌ ලෙස හඳුන්වයි. එවිට අනෙක්‌ ක්‍රීඩිකාවට ක්‍රීඩා කිරීමට අවස්‌ථාව සැලසෙයි. පුවරුව එක්‌ පැත්තක ඇට සියල්ල හමාර වූයේ නම් එය රෑ පුහුල කපනවා ලෙස හඳුන්වයි. මෙහිදී ජය ගන්නේ වැඩිම ඔළිඳ ඇට ලබා ගන්නා අයයි. හිස්‌ වළවල් දෙකක්‌ අතර වළක තනි ඇටයක්‌ ඇති විට එය පුතා ලෙස හඳුන්වයි.

කජු ක්‍රීඩාව

දරු දැරියන් අතර ප්‍රචලිත මෙම ක්‍රීSඩාවේදී කජු ඇට හයක්‌ ක්‍රීඩාවට ප්‍රමාණවත්ය. කජු සිsයල්ල දෝතින් ගෙන උඩ දමන අතර බිමවැටුණ කජු ගෙඩි අතර ඇඟිල්ලකින් ඉරක්‌ අඳී. කජු ගෙඩි දෙකෙහි නොගෑවෙන ලෙස ඇඟිලි යෑවු පසු එම කජු ක්‍රීඩා කළ අයට අයිති වන අතර වැඩිම කජු ගෙඩි ගණනක්‌ ගත් අය තරගයෙන් ජය ලබති.

ගෘහ ක්‍රීඩා

නිවසෙහි හෝ ගොඩනැඟිලි තුළ කරන වෙහෙසකර නොවන ක්‍රීඩා

පංච කෙළිය ඔළිඳ කෙළිය නෙරෙන්චි ඇදීම

එළිමහන් ක්‍රීඩා

රබන් ගැසීම ඔන්චිල්ලා පැදීම චක්‌ගුඩු පැනීම

ආගමික සහ දේව සංකල්ප සමඟ බැඳුණු ක්‍රීඩා

අං කෙළිය පොරපොල් ගැසීම

කොප්පර කොප්පර පිපිඤ්ඤා

ගමේ දරු දැරියන් අතර සිදු වන මෙම ක්‍රිඩාවේදී බොහෝ පිරිසකට සහභාගි විය හැක. දරුවන් රවුමට සිට ගනිති. එක්‌ දරුවෙක්‌ අතු කැබල්ලද රැගෙන රවුම වටේ යයි. රවුම වටේ යන අය සහ රවුමේ සිටින අය අතර සංවාදයක්‌ ගොඩනැඟේ.

කොප්පර කොප්පර පිපිඤ්ඤා පස්‌ස බැලුවොත් දෙසඤ්ඤා

රවුමේ සිටින අය කෝ නෑනෝ පනාව කියන විට වට යන්නා යට ලීයේ පනාව යෑයි පිළිතුරු දෙයි. මේ අන්දමට කීප විටක්‌ කියයි. රවුමේ සිටින්නන් කළ ගෙඩි කළගෙඩි කියන විට රවුම වට යන්නා බෝතල බෝතල කියමින් වට දුවයි. මෙසේ දුවන අතරම අත්ත කෙනෙකු පිටුපස තබයි. වටය ගොස්‌ එතැනට එන්නට පෙර අත්ත ළඟ ඇති තැනැත්තා වට යන්නා ලුහු බඳියි. එසේ නැත්නම් අත්ත ගෙන වටයේ යන්නා ඔහුට එයින් ගසයි. වට යද්දී වුවද කෙනෙකු පිටුපස බැලුවහොත් පහර වදී. එකිනෙකා මාරුවට දිගින් දිගටම මෙසේ සිදු වෙයි.

පොරෝ සෙල්ලම

පිල් දෙකකට බෙදී කවියෙන් අසන ප්‍රශ්න වලට කවියෙන් පිළිතුරු ලබා දෙයි.

ගොඩේ මන්නේ මොටදෝ පොරොව ගෙනෙන්නට නොවෙදෝ පොරව ගෙනෙන්නේ මොටදෝ ගහක්‌ කපන්නට නොවෙදෝ ගහක්‌ කපන්නේ මොටදෝ ඔරුව කොටන්නට නොවෙදෝ

බුහු කෙළිය

ජල්ලි ගැසීම, මටිට කැඩීම යනුවෙන් හඳුන්වන මෙම ක්‍රීඩාව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්‌කම් පෙන්නුම් කරයි. ලොකු දොඩම් ගෙඩියක්‌ හෝ ජම්බෝල ගෙඩිsයක්‌ උණු අළු පල්ල තම්බාගෙන පදම් කර ගනී. සමතලා බිමක උඩු පිල සහ යටි පිල ලෙසින් පිල් දෙකකට බෙදෙයි. උඩු පිලෙන් යටි පිලේ අය බෝලය බිම වැටෙන්නට පෙර උඩින් අල්ලා ගතහොත් බෝලයත් රැගෙන උඩු පිලේ විසි කළ තැනට දුවති. වීසි කළ අය පස්‌සෙන් පස්‌සට දුව ගෙන ඇවිත් පිල්a කණුව රකිති.

ඔවුන් උත්සාහ ගන්නේ පිල් කණුව රකින ගමන්ම වීsසි කරනු ලබන බෝලය උඩදීම අල්ලා ගැනීමටයි. එසේ අල්ලා ගැනීමට බැරි වුවහොත් පෙරට ගමන් කළ නොහැක. බෝලය වීසි කළ යුත්තේ බිම වැටුණ තැන සිටයි. බෝලය පිල් කණුවෙන් ඔබ්බෙහි බිම වැටීමට පෙර අල්ලා ගැනීමට නොහැකි වුවහොත් දිනුම හිමි වන්නේ වීසි කළ පිලටයි.

චක්‌ගුඩු පැනීම

අස්‌වැන්න නෙළා ගත් වෙල් යායක්‌ හෝ වැව් තාවුල්ලක්‌ වැනි හිස්‌ ඉඩ කඩක චක්‌ගුඩු පැනීම සිදු වේ. ක්‍රීඩා භූමියේ සීමා දෙකක්‌ ලකුණු කරගනු ලැබේ. මෙම භූමිය හරි මැදින් කොටස්‌ දෙකකට බෙදා නායකයන් දෙදෙනෙක්‌ තෝරා ගනී. කාසියක්‌ උඩ දමා මුලින්ම ක්‍රීඩා කරන පිරිස හඳුනාගනී.

එක්‌ පිලක ක්‍රීඩකයෝ චක්‌ගුඩු ගුඩු රෑ කියමින් අනෙක්‌ පිලේ සීමාවට ගොස්‌ ක්‍රීඩකයන්ට පහර දී තමන්ගේ සීමාවට දුව ගෙන එති. පහර කෑ ක්‍රීඩකයා මෙන්ම පහර දී ගුඩු ගුඩු කීම නැවතූ ක්‍රීඩකයාද පරාජයට පත් වේ. ගුඩු කියන්නා ගුඩිඩා ලෙස හැඳින්වේ.

ගොළු ගුඩු පැනීමේදී ගුඩිඩා කථා නොකරන අතර කතා කළොත් ඔහු පරාජයට පත් වේ.

ඉනි වැට පෙරළීම

ඉනි වැට පෙරළීම දරු දැරියන් අතර මෙන්ම කාන්තාවන් අතරද ජනප්‍රිය වූ ක්‍රීඩාවකි. ශක්‌තිමත්ව තැනූ වැටක්‌ ගොනුන් විසින් කඩා ගෙන එන්නට දරන උත්සාහය වළක්‌වන්නට පිරිසක්‌ කටයුතු කරයි. මෙය සංවාදාත්මක ලෙසින් සිදු වේ.

ගොන්නු : – අහසට ඉනි මං බඳින ගොනෙක්‌ ඇත. වැට : – ඒ ලකුණේ ගොන් අප දුටුවේ නැත. ගොන්නු : – බණ්‌ඩිය රාළගෙ ගොන් බානක්‌ ඇත. වැට : – ඒ ලකුණේ ගොන් අප දුටුවේ නැත. ගොන්නු : – ඇඹරුම් ගල යට ගොන් බානක්‌ ඇත. වැට : – ඒ ලකුණේ ගොන් අප දුටු වේ නැත. ගොන්නු :- කරට උඩින් පැනලයි යන්නේ වැට : – ආවට මොකදෑ යන්න නොදෙන්නේ

කල්ලි කෙළිය

මෙම ක්‍රීඩාව රෑ ගුඩු පැනිල්ල රෑ රෑ කල්ලි සිං කෙලිය යන නම් වලින් හඳුන්වනු ලබයි. ක්‍රීඩයන් දෙදෙනාගේ සිට දොළහ දක්‌වා අතර ගනනක්‌ සහභාගි වේ. ගුඩු වළක පළල අඟලක්‌ද දිග අඟල් තුනක්‌ද වේ. කල්ලි ලීයේ දිග අඩි තුනකි කුඩා ලීය අඟල් හයක්‌ පමණ වන අතර එය කුටිටා නමින් හඳුන්වයි.

කුඩා වළක්‌ හාරා ඒ මත ලීය හරහට තබා දිග ලීයෙන් මෙම කුඩා ලීය ඈතට විසි කරනු ලබයි. දෙපිලකට බෙදී සිදු කරන මෙම ක්‍රීඩාවේදී රකින පිල විසින් ලීය අල්ලා ගනු ලැබුවහොත් එම පිලට වාරමක්‌ ලැබේ. අල්ලා ගැණීමට නොහැකි වුවහොත් එය වැටුණු තැන සිට කුට්‌ටා රකින පිලෙන් කෙනෙකු වල ළඟට වීසි කළ යුතුය. යෑවූ තැනැත්තා වළ නොසිට වැටුණොත් ඒ යෑවු ක්‍රිඩකයා දැවේ. වළට ඈතින් වැටුණු විට එම දුර කල්ලියෙන් මනිනු ලැබේ කල්ලියෙන් දහයක්‌ වාරමක්‌ හෙවත් ගුඩ්ඩකි.

ගුඩු ගැසීමේදී සිදු කරන ගායනා

ගුඩු ගුඩු දෙයියන් කොණ්‌ඩ කුරුල්ලන් බැදුමට අල්ලන් අල්ලන් අල්ලන්

මට ගුඩු දුන්නට තොට හෙණ ගහපිය ගහපිය – ගහපිය – ගහපිය

සංවාද ගායනා

කවුදැයි කවුදැයි ගුඩු ගහන්නේ ගුඩු ගහන අය සබයට එන්නේ ගුඩු ගුඩු නාදා කොළපු ගෙනාදා අඹ හොදි කෑදා මට ගුඩු දුන්දා

අතක පතක ක්‍රිඩාව

මෙම ක්‍රීඩාවට දරුවන් රාශියකට සම්බන්ධ විය හැක. මෙහි නායකයෙක්‌ද සිටී. නායකයා තමා වටට වාඩි වී සිටින අයගේ බිම තබාගෙන සිටින අත්ලට මෙසේ කියමින් තට්‌ටු කරයි.

අතක පතක සොර සූරින් අනගි පැත්ත පැඟිරි බිංදු ඉරි ඉරිගි කොත්තමල්ලි කොහිද සීයේ ?

වාක්‍යයේ අවසාන කොටස කියවෙන විට තට්‌ටු වෙන අත ඇත්තා ක්‍රීඩාවෙන් ඉවත් වේ. අවසාන ව විට ඉතිරි වන ක්‍රීඩකයාට

අතව් කිතව් පහුරු කිතව් අපි දිනුවෝ කියමින් අත ඉවතට ගන්නා තුරු පහර දෙයි.

මේවර කෙළිය

සිංහල අවුරුදු කාලයේදී බෙහෙවින් ජනප්‍රිය මේවර කෙළිය කාන්තාවන්ගේ සහභාගිත්වයෙන් සිදු වෙයි. මෙම ක්‍රීඩාව පිළිබඳව විවිධ අදහස්‌ ඇති අතර එයින් එකක්‌ වන්නේa මේවර යනු වළල්ලකි. එක්‌ ස්‌ත්‍රියක්‌ තමන්ට අයිති වළල්ලක්‌ සෙවීම මෙහි කතා පුවතයි. තමන්ගේ වළල්ල දුටුවාදැයි ඇය සිය මිතුරියන්ගෙන් ප්‍රශ්න කරයි. තමන් එය නුදුටු බව ඔවුන් දිවුරමින් කියයි. නමුත් එම වළල්ල සඟවා ගෙන සිටින්නේ ඇයගේම මිතුරියන්ය.

තවත් අදහසකට අනුව මේවරය යනු කන පළඳන ආභරණයකි. ඉහත අන්දමටම ඇය, තමන්ගේ ආභරණය දුටුවාදැයි සිය මිතුරියන්ගෙන් ප්‍රශ්න කරයි. තමන් එය නුදුටු බව ඔවුන් දිවුරමින් කියති. නමුත් එම ආභරණය සඟවාගෙන සිටින්නේ ඇයගේම මිතුරියන්ය.

තවත් අදහසක්‌ අනුව මේවරයා යනු මෙහෙකරුවෙකි. තමන්ගේ මෙහෙකරු සොයා දෙන්නැයි ඇය යෙහෙළියන්ගෙන් ඉල්ලා සිටින බව වළ ගියෙදෝ මගෙ මේ වරයා යන්නෙන් නිරූපණය වන බවටද අදහසක්‌ ඇත.

මෙම ක්‍රීඩාවේදී ඉදිරිපත් කරන සමූහ ගීතය සංවාද ස්‌වරූපයක්‌ ගනී.

සාර සදිසි පෙති පේර නෙළන කල-වළ ගියෙදෝ මගෙ මේ වරයා නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් -අප දුටුවේ නැත මේ වරයා කොස්‌වතු කන්දේ කොස්‌ නෙළනා කළ -වළ ගියෙදෝ මගෙ මේ වරයා නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් -අප දුටුවේ නැත මේ වරයා මුං වතු කන්දේ මුං නෙළනා කල – වළ ගියෙදෝ මගෙ මේ වරයා නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් -අප දුටුවේ නැත මේ වරයා කහවතු කන්දේ කහ නෙළනා කල – වළ ගියෙදෝ මගෙ මේ වරයා නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් -අප දුටුවේ නැත මේ වරයා

මේ අන්දමට ගීතය ගයා අවසාන වන විට ගී ගයමින් වටට ගිය කාන්තාව ඔටිටුයි කියමින් සඟවන ලද වළල්ල ගන්නට නැමෙයි. ඒ සමගම වළල්ල පාගා ගෙන සිටි අයද වළල්ල ගන්නට නැමෙයි. පිරිස අතර වූ පොර බැදීමෙන් වළල්ල සොයා ගත් අය ජයග්‍රහණය කරයි.

එළුවන් කෑම

පිරිසක්‌ විසින් සිදු කරන මෙම ක්‍රීඩාව ගායනය සහ රංගනයේ එකතුවක්‌ ලෙස සදු වේ. එළුවෙකු සහ කොටියකු අතර සිදු වන කතා බහ දෙබසක අන්දමට සිදු වේ. තරගයේ ස්‌වභාවය අනුව වචන උස්‌ පහත් විමද සිදු වේ.

අත්වැල් ගායනා

මේ පුටු ඉන්දෝ ඉන්ඩ නොදෙන්දෝ මේ ඇඳ ඉන්දෝ ඉන්ඩ නොදෙන්දෝ මේ බත් කන්දෝa කන්ඩ නොදෙන්දෝ මේ කැඳ බොන්දෝ බොන්ඩ නොදෙන්දෝ

කුරුලු කූඩු කූඩු දුටින් අපි දුටු කූඩුවක්‌ නැතී ගිරා කූඩු දුටින් දුටින් අපි දුටු කූඩුවක්‌ නැතී ලේන් කූඩු දුටින් දුටින් අපි දුටු කූඩුවක්‌ නැතී කවුඩු කූඩු කූඩු දුටින් අපි දුටු කූඩුවක්‌ නැති

සංවාද ගායනා

හොඳට නටඤ්ඤං රළහමි දෙනවද එළුවා කොච්චර නැටුවත් රළහමි නොදෙමුව එළුවා දණින් වඳිඤ්ඤං රළහමි දෙනවද එළුවා කොව්චර වැන්දත් රළහමි නොදෙමුව එළුවා මෙන්න වැන්දා රළහමි දෙනවද එළුවා කොව්චර වැන්දත් රළහමි නොදෙමුව එළුවා

පනා හැංගීම

ප්‍රාදේශීය ව්‍යවහාරය තුළ ලේන්සු හැංගීම හවරි හැංගීම යන නම් වලින් මෙම ක්‍රීඩාව හඳුන්වයි. කිසියම් භාණ්‌ඩයක්‌ සඟවා එය සොයා ගැනීමට වෙහෙස දරන අතර ඒ සඳහා වූ ගායනාවන්ද වේ.

සංවාද ගායනා

බත් ටික කොහොමද ලිප උඩ නෑනෝ හොදි ටික බෑවම යමු නෑනෝ වස්‌සා කොහොමද කොටුවෙද නෑනෝ වස්‌සා බැන්දම යමු අපි නෑනෝ

උකුණො වැටෙන පනාවා ලේඬි වැටෙන පනාවා අපි නොදිටිමු පනාවා දියන් නෑනෝ පනාවා අපි නොදිටිමු පනාවා අනේ මගේ පනාවා අපි නොදිටිමු පනාවා

පොර පොල් ගැසීම

පත්තිනි දේවිය සහ පාලඟ කුමරු සම්බන්ධව ගොඩනැඟ ඇති මෙම ක්‍රීඩාවේදී වැස්‌ස සහ සශ්‍රිකත්වය බලාපොරොත්තු වේ. උණ රෝග , ගව සහ කුකුළු වසංගත නියඟය වැනි අවස්‌ථාවන්ගෙන් සහනය අපේක්‌ෂා කළේ පොර පොල් ක්‍රිඩාවෙන්ය.

අතීතයේදී පොර පොල් ක්‍රීඩාවට යොදා ගත්තේ ගසෙන් ඉබේ වේලි වැටෙන තැඹිලි පොල්ය. අතීතයේදී පොරපොල් ක්‍රීඩාවට යොදාගන්නා භූමියට දෙවියන් අරක්‌ ගෙන ඇතැයි විශ්වාස කළ නිසා තෝරා ගත් තැනිතලා භූමියේ බෝ , නුග , හෝ නා ගසක්‌ තිබුණි. ක්‍රිඩාවට භාවිතා කරන ලද පොල් යවන පොල් සහ ගහන පොල් ලෙස කොටස්‌ දෙකකි. යවන පොල් අතර සමහරක්‌ පොල් බිඳින්නට ඉතා අපහසු ඇට පුහු පොල් ලෙස හඳුන්වන ලදී. ගැසීමට යොදා ගන්නා ගෙඩිය අත් ගෙඩිය ලෙස හඳුන්වයි. නිපොල් ලෙස හඳුන්වන සාමාන්‍ය පොල් ක්‍රීඩාවට යොදා නොගනී.

තැනිතලා බිමක සීමාවන් ලකුණු කොට ගොක්‌ තීරුවලින් එකිනෙකට මුහුණ දී ඇති පන් පැළ දෙකක්‌ ඉදි කරනු ලැබේ. අනුමැතිරාළ විසින් දෙවියන් උදෙසා යාතිකාවක්‌ කරයි.

පොල් පේ කිරීමේ ගායනා

වැඳ දෙවියන් හට වරම් ලැබෙනවා උඩු පිලයේ පොල් බිඳී තිබෙනවා තෙද මිණි හළඹෙන් සමා ලැබෙනවා පොල් කෙලියට වස්‌ නැත දුරුවෙනවා

වඳුරු වසංගත ලෙඩ දුරු වෙනවා අඹෙන් මලෙන් පත්තිනි උපදිනවා සිරි පතුලට පිට ඔප්පු කරනවා පොර පොල් කෙළියට වරම් ලැබෙනවා

උඩු පිල ක්‍රීඩකයෝ යටි පිලෙන් එවන පොල් බිඳීමෙන් ජයග්‍රහණය කරයි. යටි පිල ක්‍රීඩකයෝ උඩු පිලෙන් එවනු ලබන පොල් බිඳීමෙන් ජයග්‍රහනය කරයි. උඩු පිලේ පොල් ඉතිරි වුවහොත් උඩු පිලටද යටි පිලේ පොල් ඉතිරි වුවහොත් යටි පිලටද වාසි සහගතය. මෙම ක්‍රීSඩාවේදී එවනු ලබන පොල් ගෙඩිය මෙන්ම අතේ ඇති පොල් ගෙඩියද ඇතැම් විට පොල් ගෙඩි දෙකමද බිඳෙන්නට පුළුවන.

පොර පොල් ක්‍රීඩාව බදාදා හෝ සෙනසුරාදා දිනක ආරම්භ කොට දින 7 ක්‌ පවත්වන අතර නොබ්ඳී පොල් ඉතිරි වන පිල ජයග්‍රහණය ලබයි. අවසාන දින පොර පොල් පිටියේ ගම්මඩු උළෙලක්‌ පවත්වා දානමය පිංකමකින් මෙය අවසාන කරයි. කාන්තාවන්ට මෙම දානමය පිංකමට සහභාගි වන්නට අවසර නැත.

අතරමැද ගායනා

උඩු පිල වට්‌ටාඩි මොටෙයි ගෙට දුව දුව පොලොසයි ගෙට දුව දුව බුලත් කතෙයි

අං කෙළිය

පත්තිනි දේවිය වෙනුවෙන් සිදු කරන මෙම ක්‍රීඩාවේදී පත්තිනි දේවිය සහ පාලඟ කුමරුගේ කතාව ගායනයෙන් ඉදිරිපත් කරයි. වර්ෂාව බලාපොරොත්තුව සිදු කරන මෙම ක්‍රීඩාවේ උද්වේගකර අවස්‌ථාව අනුව ගීයේ ස්‌වභාවය වෙනස්‌ වේ.

කතා වස්‌තු ගායනය

සසිරිබර මෙසිරිලක කඳ කුමරු සාමිනේ දොළහ පත්තිනි දෙවියනේ රකිති අප හැම දෙනේ

උද්වේගකර අවස්‌ථාවක්‌

එන වලියට හෝයියා- යන වලියට හෝයියා අනංගයෝ හෝයියා = මල් මදයෝ හෝයියා මල් මාමා හෝයියා – ගිනි ජාලා හෝයියා පාලඟයෝ හෝයියා පත්තිනියෝ හෝයියා

අපි දිනුවයි හෝයියා දිනුම් පිලට හෝයියා

ඔන්චිල්ලා පැදීම

පුරාණයේ සිටම පැවැත එන ඔන්චිල්ලාව සමඟ බැඳී පවතින ජනප්‍රවාද කීපයක්‌ ඇත. එයින් පැරණිම කතාවට අනුව අසුර නම් තැනැත්තා ඊශ්වර දෙවියන්ට ඇප උපස්‌ථාන කිරීමෙන් සතුටට පත් විය. කාලයක්‌ ගෙවෙන විට ඊශ්වර දෙවියන්ගේ බලසම්පන්න බව නිසාම කිසියම් වරයක්‌ ඉල්ලා ගත යුතු යෑයි සිතුණෙන් අසුරයා විසින් ඊට ගැලපෙන කාලය බලා සිය අදහස ඉදිරිපත් කරන ලදී. අසුරයා පිළිබඳව වූ විශ්වාසය නිසාම ඊශ්වර දෙවියන් වරයක්‌ දීමට කැමැත්ත පළ කළෙන් අසුරයා ඉල්ලා සිටියේ තමා කිසිවෙකුගේ හිසට අත කැබූ විට එම තැනැත්තා අළු වී යන වරමකි. ඊශ්වර දෙවියන් විසින් එම වරම ලබා දුන් තැනදී අසුරයාට එය අත්හදා බැලීමේ ආශාවක්‌ පහළ විය. එය අත්හදා බැලීමට අසුරයා ඊශ්වර දෙවියන්ගේ හිසට අත තැබූ සැණම ඊශ්වර දෙවියන් ඔහුගෙන් බේරීමට පළා යත්ම එය දුටු විෂ්ණු දෙවියන්ට ඊශ්වර දෙවියන් ගැන දුක සිතුණේය. විෂ්ණු දෙවියන් විසින් අසුරයා යන මග ඔන්චිල්ලාවක්‌ බැඳගෙන ගැහැනු වෙසින් ඔන්චිල්ලා පදිනු දැක අනේ මෙම කාන්තාව මෙසේ සිටින්නේ ඇයි දැයි සිතා නළලට අත ගසා ගත් වනම අසුරයා අළු වී ගියේය

පත්තිනි දෙවියන් වෙනුවෙන් බාර වී ඔන්චිල්ලා ඉදි කරන බව කියන අතර කූඩු ඔන්චිල්ලා , බඹර ඔන්චිල්ලා, දෙපට ඔන්චිල්ලා, වැල් ඔන්චිල්ලා, යතුරු ඔන්චිල්ලා , සහ මල් ඔන්චිල්ලා ලෙස ප්‍රභේද ගණනාවකි. සිංහල අවුරුදු කාලයේදී පදිනු ලබන්නේ ලණු ඔන්චිල්ලාවයි. මෙහිදී දෙදෙනෙකුට වාඩි වී සිටිය හැකි අතර දෙන්නෙක්‌ දෙපැත්තේ සිට ඔන්චිල්ලාව පදවනු ලැබේ.

සිංහල අවුරුදු කාලයේදී කලඑළි බසින ඔන්චිල්ලා පැදීමේදී ගායනා කරන කවි වාරම් ලෙස හැඳින්වේ.

ඔන්චිලි චිලි චිල්ල මලේ වැල්ල දිගට නෙල්ලි කැලේ කඩන්න බැරි කටු අකුලේ කඩා දියන් මගේ මලේ

අත්ත උසං උසං උසං ජම්බු පොකුරු සිලිං බිලිං ලොකු අක්‌කේ පදිං පදිං ජම්බු කඩං බෙදං බෙදං

අං කෙළිය

පත්තිනි දේවිය මුල් කර ගත් ක්‍රීඩාවන් දොළහක්‌ ඇති අතර එයින් මුල්ම ක්‍රීඩාව අං කෙලියයි. සොලි වංශයේ මායා රජුට සිටි පාලඟ නම් කුමරු පත්තිනි දේවිය සමග විවාහ විය. දිනක්‌ මේ දෙදෙනා උයනට ගිය විට සපුමල් සුවඳක්‌ දැනෙන්නට විය. අවාරයේ දැනෙන සපුමල් සුවඳ ඔස්‌සේ ගිය ඔවුන් මල් පිපී තිබුණ ඉසව්ව සොයා ගන්නා ලදී. බිම සිට කඩන්නට බැරි ඉසව්වක තිබුණ මල් කඩන්නට කෙකි දෙකක්‌ කපා ගත් අතර එකක්‌ පත්තිනි දේවිය සමග සටි පිරිසද අනෙක්‌ කෙක්‌ක කුමරුන් සමග සිටි පිරිසද අතරට ලැබුණි. කෙකි දෙක පැටලී අවසානයේදී පිරිමින් අතර වූ කෙක්‌ක බිඳී ගියෙන් මෙම සිද්ධිය සිහිපත් කරන්නට අංකෙළිය බිහි වූ බව ජනප්‍රවාදයේ සඳහන්ය.

මෙම ක්‍රීඩාව කරන විට උඩු පිල සහ යටි පිළ ලෙසින් කොටස්‌ දෙකකි. අං ඇදීSමට දෙපිරිස මහත් හරසර සහිත පෙරහැරකින්a පිට්‌ටනියට පැමිණෙන අතර සියල්ලන්ම පිරිමින් විම විශේෂත්වයකි. ක්‍රීඩකයන් මස්‌ මාංශයන්ගෙන් වැලකී සිටින අතර ක්‍රිඩාව ආරම්භ කිරීමට කප් සිටුවිම නැකතට සිදු කරයි. රෑඅං ආභරණ රෑ ලෙස සලකන අං ගෙන එන්නේ දේවාලයේ සිටය. අඟක්‌ ලෙස තෝරාගන්නේ ගසක සෘජුකෝණයක්‌ ලෙස සැකසුණු අත්තකි. අං කොටස්‌ දෙකක්‌ වන අතර ඒවා නම් පොලු අං සහ කෙකි අං ලෙසය. අන්දර පිහිඹිය ඇට්‌ටේරියා කරඳ සහ කළුවර වැනි ගස්‌ මේ සඳහා යොදා ගනී.

උඩු පිල සහ යටි පිල අතර වූ මෙම තරගයෙන් අං කැඩීම ගැලවී යා නොදී රැක ගත යුතුය. අං පටලවා ගෙන සිදුකරන මෙම ක්‍රීඩාවේදී අඟ නොකැඩුණු පිරිස අඟ ලිහාගෙන මඟුල් බෙර වයමින් ගම වටා යයි. අවසානයේදී සිදු කරන දේව පූජාවෙන් ක්‍රීඩාව අවසන් කරයි.

ගොසින් බැසපුවයි දුනුකේ විලටා විමසා බැලුවයි ඒ විල වටටා නැත සිමි සපුමල් මේ අවටා මෙතැන නොවෙයි සිමි තව යන් එපිටා

ගොසින් බැසපුවයි නාමල් විලටා විමසා බැලුවයි ඒ විල වටටා නැත සිමි සපුමල් මේ විල අවටා මෙතන නොවෙයි සිමි තව යන් එපිටා

කඹ ඇදීම

සිංහල අලුත් අවුරුදු කාලයේදී දක්‌නට ලැබෙන කඹ ඇදීම සිංහල ජන ක්‍රීඩාවන් අතරට ගැනෙන විශේෂිත ක්‍රීඩාවකි. මෙම ක්‍රිඩාව නාවිකයන්ගෙන් ආරම්භ වන්නට ඇතැයි සලකනු ලැබේ. මාස ගණනක්‌ මුළුල්ලේ මුහුදු ගමනෙහි යෙදුණු නාවිකයන් ඔවුන්ගේ විනෝදය සහ ව්‍යායාමය උදෙසා කඹ ඇදීම සිදු කළ බැව් විශ්වාස කෙරේ.

රබන් ගැසීම

සිංහල ජන සමාජයේ උත්සව අවස්‌ථාවන් සමග සම්බන්ධ වූ රබන් ගැසීම කාන්තා පාර්ශ්වය සමග බැඳී පවතින ජන ක්‍රීඩාවකි. රබාන සමග බැඳී ඇති ජන විශ්වාසයන් කීපයක්‌ වේ. ඊශ්වර දෙවියන් දුටු සිහිනයකට අනුව රබාන නිර්මාණය කළ බවත් එම නිර්මානය සුවඳ සඳුන් ලීයෙන් සිදු කළ බවත් එක්‌ ජනප්‍රවාදයක්‌ වේ. මුලින් සරල ලෙසින් වූ තෝරා ගැනීමට පහසු රබන් පදයකින් මුල පුරා එයින් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් තෝරා ගැනීමට අපහසු රබන් පද වෙතට යොමු වීම මෙම ක්‍රීඩාවේ ලක්‌ෂණය වේ. රබාන වටා නටමින් මෙන්ම දෑතින් මෙන්ම වැලමිටෙන්ද රබානට පහර දෙමින් අති දක්‌ෂ ලෙසින් ක්‍රීඩා කරන පිරිස්‌ අප අතර වේ.

මෙම ක්‍රීඩාව ආරම්භ කිරීමට පෙරාතුව රබන් පදයකින්ම බුදුන් සහ දෙවියන්ගෙන් අවසර ඉල්ලා සිටිනු ලැබේ.

බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ

එයින් අනතුරුව දෙවියන් අමතන්නේ මෙසේය

එගොඩ කෝවිලේ වේණාවක සද්දේ මෙගොඩ කෝවිලේ වේණාවක සද්දේ හකර වරම් දෙවියන්ගේ සද්දේ අනේ දෙවියනේ අපෙ සවනට මිණි සද්දේ

රබන් වාදනය ප්‍රධාන කොටස්‌ තුනකින් සිදු වේ.

රබන් සුරල් වැයීම

රබන් සුරල් වැයීමේදී රබාන වටා හයදෙනෙක්‌ වාඩි වී සිටිති. තිදෙනෙක්‌ රබාන වාදනය කරන අතර ඉතිරි අය වයන පදයේ තාලයට සිය අත්ලෙන් රංගනය ඉදිරිපත් කරයි.

බුලත් බුලත් මම ගත්තා තුට්‌ටු දෙකට මම වික්‌කා තුට්‌ටු දෙකට ගත්තු බුලත් සල්ලි හතට මම වික්‌කා

උඩින් උඩින් වර පෙත්තප්පූ බිමින් බිමින් වර පෙත්තප්පූ උඩින් උඩින් වර බිමින් බිමින් වර කැවුම් කන්න වර පෙත්තප්පූ

අත්මාරු කිරීම

රබාන වාදනය කරන විට එකිනෙකාගේ අත්වලට ගසමින් රබාන වාදනය කරන අතර මෙම අවස්‌ථාව සඳහා ස්‌ත්‍රී පුරුෂ දෙපක්‌ෂයම සම්බන්ධ වෙති. එකිනෙකා අතර ගොඩනඟා ගන්නා සංවාදයන්ට අනුව සිදු වෙන වාදනය බෙහෙවින් විනෝදජනක වේ.

රත්තරනින් මුද්ද හොඳයි ගල් තුනකුත් එක්‌ක මුද්ද ගන්න කැමැති කෙනා එනවද මා එක්‌ක

දකුණ හුරුයි දෝං තාං

වමත හුරුයි දෝං තාං දකුණ හුරුයි

වමත හුරුයි

දෙකම හුරුයි දෝං තාං

.තාලන්

මෙහිදී මුලින් ගීතයක්‌ ගායනා කරන අතර එයින් අනතුරුව එය රබානෙන් වාදනය කරයි. මුලදී ඉතාම ලයාන්විතව රබන් පදයක්‌ ගයා වාදනය ආරම්භ කරයි. එයින් අනතුරුව ගීතය නොමැතිව වාදනය පමණක්‌ සිදු වේ. ඉතා තරගකාරීව මෙය සිදු කෙරේ. එක්‌ කණ්‌ඩායමක්‌ ගීතයේ පදය ගායනා කරන අතර සෙසු පිරිස පදයට අනුරූප වාදනය ඉදිරිපත් කරයි. තාලන්වලදී ගායනා කරන ගීතයන් අතර

පැත්තක බුදුරුව පැත්තක දෙවිරුව සෑය රුවින් දිලිතෙයි. අත්තක සුදු මල් අත්තක රතු මල්

සෑය රුවින් දිලිතෙයි. තත් තත් ගිජි කුඳ රුපියල් සවුදම ටි ං ගා දොර හරිතෙයි.