Home Hard Talk ගරහාවි අගෞරව කරාවි , ඔබ ඔවුන්ගේ සාර්ථකත්වය මතම යැපේවි.

ගරහාවි අගෞරව කරාවි , ඔබ ඔවුන්ගේ සාර්ථකත්වය මතම යැපේවි.

ඔබ ඔවුන්ට ගරහාවි. අගෞරව කරාවි. ඒ තාක් කල් ඔබ ඔවුන්ගේ සාර්ථකත්වය මතම යැපේවි.
රටක දියුණුවට එම රටේ ආණ්ඩුව, ආර්ථිකය පමනක් නෙවෙයි එහි මිනිසුන්ගේ ආකල්පමය වර්ධනයත් බලපානවා. මීට හොඳම ආසියාතික උදාහරණ ලෙස ජපානය, සිංගප්පූරුව හෝ දකුණු කොරියාව ගත්තොත් ඒ ඇයි කියන එක අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්ය නෑ. ලොව දියුණු රටවල් අතරින් වගේම ආකල්පමය වර්ධනය අතිනුත් ඉහලින්ම ඉන්න රටවල් කිහිපයක් ඒ. පාරේ තොටේ දී අහම්බෙන් ටොෆී කොළයක්වත් දකින්න නොලැබෙන්නේ කම්කරුවන් පිරිසිදු කරන නිසා නොවේ. සෑම පුද්ගලයකු තුළම තමන් විසින් ඇති කරගත් ස්වයං විනය නිසා. රටේ දියුණුවට දායක වන ඔවුන්ගේ ආකල්ප නිසා.
ශ්රී ලාංකිකයෙක් විදිහට අපේ මිනිසුන්ගේ ස්වයං විනය හා ආකල්පමය වර්ධනය මොනවට පැහැදිලි කරන අවස්ථා කිහිපයක් පහුගිය දිනවල එක පිට එක මම දැක්කා.
 
 Emma Watson, Feminism සහ ප්රෞඩ ශ්රී ලාංකිකයින් ශ්රී ලංකාවේ තරුණ පරපුරේ කාගෙත් හිත දිනාගත් Emma Watson ස්ත්රීවාදිනියක් නැත්නම් feminist කෙනෙක්. පුරුෂ මූලික දියුණු වෙමින් පවතින රටවල් වල ගැහැණු දරුවන්ගේ ඉගෙනීමේ අයිතිය ප්රවර්ධනය කරන ඇය, එක්සත් ජාතීන්ගේ ස්ත්රී හිතවාදී තානාපතිනිය ( UN Women Goodwill Ambassador) ද වෙනවා. එක්සත් ජාතීන්ගේ සමුළුවේදී Gender Equality නැත්නම් ස්ත්රී පුරුෂ සමානාත්මතාවය ගැන කතාවක් පවා කර තිබෙනවා. Feminism, man-hating (පුරුෂ වෛරය) පදනම් කර නොගත්තක් බවත් ඇය පිළිගන්නවා. ඒ වගේම විවිධ සමාජීය මෙහෙවරයන්ගේ යෙදෙන ඇය UNICEF සංවිධානයට අමෙරිකානු ඩොලර් මිලියන ගණනින් මුදල් පරිත්යාග කරමින් තම ප්රේක්ෂකයන් ඒ සඳහා උනන්දු කරවනවා.
 
පහුගිය දවස් කිහිපයේ මම Emma Watson ගේ FB පිටුවේ අපූරු comment ගොඩක් දැක්කා. විවෘත මානසිකත්වයකින් යුතු රටක ඉපදී හැදී වැඩුණු ඇය තම ස්වාධීනත්වය, තම දැක්ම නිරූපණය කරන ඡායාරූප ගොන්න පහුගිය අවුරුදු කිහිපය තුළ මුදා හැරලා තියෙනවා. නමුත් ඒවායේ comment කියවීමේදී ශ්රී ලාංකික තරුණයන්ට ඇය කෙරෙහි තියෙන ආදරය කෙසේ වෙතත් පුද්ගලයෙක් ලෙස ඇයට තියෙන ගෞරවය ගැන හොඳ අවබෝධයක් ලැබෙනවා. ඇය කෙසේ ඉඳගත යුතුද, සිටගත යුතුද, ඇය ලංකාවේ අතහැර ගිය ගමේ ඉන්න පෙම්වතා ගැනද තිබුණා. එතනින් නොනැවතී ඇයව අගය කරමින් වෙනත් රටවල මිනිසුන් දාපු
comment වලට පවා රිංගා ගත් ප්රෞඩ ශ්රී ලාංකිකයන් අමු සිංහලෙන් කුණුහරුපවලින් බැන වැදී තිබුණා.
 
ප. ලි: මම serious ගත්තා කියන ඔබේ හුදෙක් ආතල් එකට කියන්නේ human indecency කියලා. නැත්නම් අවිනීත බව. ඔබට වරදක් නොකළ අයකුට නිකරුණේ ඔවුන්ට නොතේරෙන භාෂාවකින් හෝ කුණුහරුප දැමීමෙන් ඔබ හැදී වැඩුණු සමාජ පසුබිම පෙන්නන්නේ.
 
 BTS & Fans (ARMY)
පහුගිය කාලේ අපේ ලාංකිකයින්ගේ තවත් ඉලක්කයක් උනේ ද. කොරියානු සංගීත කණ්ඩායමක් වන BTS සහ ARMY ලෙස හඳුන්වන ඔවුන්ගේ ප්රේක්ෂකයින්.
BTS ගැන කතා කළොත් ඔවුන්ගේ සංගීතය මිලියන ගණනක් ප්රේක්ෂකයින් ආදරෙන් වැළඳ ගත්තක්. හේතුව ඔවුන්ගේ සංගීතය තුළින් ප්රේක්ෂකයන් වෙත ගෙන යන ධනාත්මක පණිවිඩ. විශේෂයෙන් self-love/ self-acceptance. ඔවුන් ගෙනියන මෙම පණිවිඩය ලොව පුරා සිටින බොහෝ ප්රේක්ෂකයින් තමාට විෂාදයෙන් ගොඩ ඒමට බොහෝ සෙයින් උපකාරී වූ බව ප්රසිද්ධියේ පිළිගන්නේ “සංගීතය දිව්යමය ඖෂධයක්” යන්න ඔප්පු කරමින්. “True love begins with Self-love” ඔවුන්ගේ පණිවිඩයයි. මෙවැනි අර්ථවත් ගීත රාශියක් මගින් ඔවුන් ප්රේක්ෂකයන්ගේ මානසික සෞඛ්ය / mental health වෙනුවෙන් කළ මෙහෙවර උදෙසා ඔවුන්ට එක්සත් ජාතීන්ගේ සමුළුව ඇමතීමටත් UNICEF සංවිධානය සමග එක්ව ‘Love Yourself, Love Myself’ නමින් campaign එකක් ආරම්භ කරමින් අමෙරිකානු ඩොලර් මිලියන ගණනක ආධාර එකතු කිරීමටත් අවස්ථාව උදාකර දුන්නා.
මීට සති දෙකකට පමණ පෙර BTS ඔවුන්ගේ අලුත්ම ඉංග්රීසි ගීතය වන “Dynamite” මුදාහැරීමත් සමග එය ශ්රී ලංකාවේ YOUTUBE Trending #1 in SL බවට පත් වෙන්නේ තවත් ලෝක වාර්තා ගණනක් අභිබවමින් සහ ලංකාවේ Trending #1 බවට පත් වුණ ප්රථම විදේශීය Music Video eka බවට පත් වෙමින්.
ඒත් එක්කම ලංකාවේ ඔවුන්ගේ ප්රේක්ෂකයින්ට මුහුණ දෙන්න වෙන්නේ මිහිරි අත්දැකීමකට නෙමෙයි. ජපානය, චීනය, ද. කොරියාව වැනි නැගෙනහිර ආසියාතික රටවල් කියන්නේ අනිත් රටවල්වලට වඩා සෑහෙන වෙනස් සංස්කෘතියක් තියෙන රටවල්. උදාහරණයක් විදිහට එවැනි රටවල්වල ගැහැණු පිරිමි භේදයකින් තොරව තම සනීපාරක්ෂාව ගැන සැලකිලිමත් වෙනවා. පිරිමින් රැවුල පවා නිතරම කපමින් පිරිසිදුව තබා ගන්නවා. නමුත් ලංකාවේ සංස්කෘතිය තුළින් බිහිවූ Toxic masculinity යන සංකල්පයත් සමග ලංකාවේ Meme pages රාශියක් BTS ලට පහර එල්ල කරන්නේ ඔවුන් පිරිමි නොව ගැහැණුන් බවත්, සමලිංගිකයන් බවත් පවසමින්. මේ “ඇඩ්මින්වරුන්” සමග එකතු වෙන තවත් ලංකාවේ පිරිසක් එම fansලා පිඩාවට පත් කරන්නේ ඔවුන්ගේ සංගීත රසයට ගරහමින්. Kpopවලට හෝ BTSලට සවන් දෙන ලොව වටා ඉන්න මිලියන ගණනක ජනතාවගේ රසවින්දනයට ගරහන ඔවුන්, එකිනෙකට වෙනස් පුද්ගලයන් එකිනෙකට වෙනස් රසවින්දනයකින් යුතු බවත් තමන්ගේ සංගීත රසයෙන් එය වෙනස් වූ පලියට එම සංගීතය ඊට වඩා පහළ මට්ටමක තිබෙන්නේ නැති බවත් පිළිගන්නට මැළි වෙති.
 
තවත් අවස්ථාවක එක් meme ඇඩ්මින් කෙනෙක් මෙවැනි දෙයක් කියනවා fan කෙනෙක් කියපු දෙයකට. “ඔබ විෂාදයෙන් පෙළෙන අවස්ථාවක එයින් එළියට එන්න BTS සංගීතය උදවු උනා කියන්නේ බොරුවක්. ඔබ දුර්වලයෙක්. එවැනි දේකට සංගීතයෙන් කළ හැකි දෙයක් නැහැ.” මානසික රෝග ලෙස දෙයක් මේ ලෝකේ පවතින බව පිළිගැනීමට පවා පසුබසින ලාංකීය සමාජයේ, සිය දිවි නසාගැනීමෙන් ලෝකයෙන්ම 29 වන ස්ථානයේ පසු වන රටේ ජීවත් මනුස්සයෙක්ට එක් අතකට විෂාදයෙන් පෙළෙන පුද්ගලයෙක්ට ගීතයක සැනසිලිදායක වචන කිහිපයකින් හෝ එන සැනසීම ගැන තේරෙන්නේ කුමක්ද?
 
 Umaria Sinhawansha, weight-loss and skin color
ඊයේ දිනයේ ලංකාවේ ඉතා දක්ෂ ගායිකාවක වන උමාරියා තමන්ගේ ඡායාරූපයක් දානවා FB එකේ. එහි තිබු සමහර comment ඇයගේ ඇග ගැන හෝ හමේ පාට ගැන දාපු comment. ඇය කෙට්ටු බව හෝ ඊට පෙර ඈ සිටි විදිහ සැසැඳමින් හෝ ඇගේ හමේ වර්ණය විනිශ්චය කර තිබුණේ ඊට වඩා අගය කිරීමට හේතු රාශියක් තිබියදී. ඒවාට හොඳ පිළිතුරක් උමාරියා විසින්ම දීලා තිබ්බා.
 
ඒ වගේම දේකට තමයි පහුගිය දවස්වල Adhithya වගේම Yohaniත් මුහුණ දෙන්න සිදු වුණේ. Body shaming වගේම sexualization. ඔවුන්ගේ දක්ෂතාවය ඇගයීම වෙනුවට කාන්තාවක් හෝ ගැහැණු ළමයෙක් විදිහට පිරිමි ඇසින් ඔවුන්ව වක්රාකාරව නිරුවත් උනා. ගෞරවය ලැබිය යුත්තන්ට එය ලබා දීමට ලංකාවේ මිනිසුන් එතරම් පැකිලෙන්නේ ඇයි?
 
 කෑල්ලක් වෙන්න කෙට්ටු වෙන්නම ඕනෙද!
පහුගිය දවසක තවත් පෝස්ට් එකක් share උනා. එහි හිටියේ හොඳින් හැඳ පැළඳ ගත් තරමක මහත පැත්තට ශරීරය බර වූ ගැහැණු ළමයෙක්. එහි සඳහන් කර තිබුණේ “කෑල්ල කියලා හිතන් ඉන්න බතලියෙක් හැමෝගෙම friend list එකේ ඉන්නවා” කියලා. ඒකට බොහෝ පිරිසක් තම තමන්ගේ මහත පැත්තට බර යෙහෙළියන් tag කරලා තිබුණා. ඇත්තටම ඒක යාලු fit එකට කරන විහිළුවක් විතරද? Tag කරපු අය හිතපු විදිහටම tag වෙච්ච හැමෝම හිතන්න ඇද්ද? හැමෝගෙම දරා ගැනීමේ හැකියාව විවිධාකාරයි. ඇතැම් විට මෙවැනි අනෙකාගේ ශරීරයට කරන ඇඟිලි දික් කිරීම එම පුද්ගලයාට මානසික පීඩාවක් වගේම ශරීරය කෙරෙහි හීන මානයක් ඇති වීමටත් බලපාන්න පුළුවන්. එයින් ඔවුන්ට eating disorder පවා ඇති වෙන්න පුළුවන්. තමන්ට හිමි ශරීරය සෞඛ්යසම්පන්න තාක් කල් තම ශරීරය ගැන ආඩම්බර වීමටත් එයට ආදරය කිරීමටත් ඉඩ නොදෙන්නේ ඇයි?
 
ලංකාවේ මිනිසුන් විසින් මේ ආකාරයට ගැරහීමට පත් උනේ තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයේ ඉහළටම ගිය පුද්ගලයන්. කරුණ නම් “බල්ලෙක් බුරපු පලියට කන්දක් පාත් නොවනු ඇත.” නමුත් ගැටළුව නම් ලංකාවේ බහුතරයක් ජනතාව “It’s just a joke” යන්න නිදහසට කාරණාවක් කරගනිමින් සමාජ මාධ්ය තුළ cyber bullying, harassment, indecency body shaming, abusing, hate speech, toxic masculinity, stereotyping, racism, වැනි බරපතල ඍණාත්මක සංකල්පයන් සාමාන්ය දෙයක් ලෙස සමාජගත වීමයි. මෙය සරල කාරණාවක් නොවන්නේ මෙවැනි අපයෝජනයන් හීන මානයෙන් මෙන්ම විකුර්ති මානසිකත්වයෙන් යුතු අනාගත පරපුරක් බිහි වීමට හේතු වීමයි.
අවසාන වශයෙන් කිව යුත්තේ Emma Watson, BTS වැන්නන් UNICEF සංවිධානය වෙනුවෙන් ඩොලර් මිලියන දහස් ගණනින් ආධාර එකතු කිරීමට හේතු වී ඇති අතර තම පෞද්ගලික ධනය පවා කැප කොට ඇත. ඉතින් එයින් කොටසක් කෙසේ හෝ තවමත් දියුණු වෙමින් පවතින අපේ රටේ සංවර්ධනයට වෙන් වෙයි. ඉතින් ඔබ තවත් ඔවුන්ට ගරහන්න. අගෞරව කරන්න. ඒ තාක් කල් ඔබ ඔවුන්ගේ සාර්ථකත්වය මත සදාකල් යැපෙනු ඇත.
Spread love instead of hate, spread body positivity instead of body shaming, just be a kind and decent human being.
 
-අමාලි අනුරාධිකා