Home Entertainment අනියම් ඇසුරකින් මව් පදවිය ලබන කාන්තාවක්

අනියම් ඇසුරකින් මව් පදවිය ලබන කාන්තාවක්

4
0

මූදු පතුල යට ඉඳලා

මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා//

සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා//
සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා//

වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා//
තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා//
ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
ඒවායින් කවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
පුතුගෙ ඉණේ පළඳනවා///

 

මව් පදවිය ලබන එක විවාහ දිවියට යන ඕනෑම යුවතියකගේ සිහිනයක්. විවාහයෙන් පසු දෙමවුපියන් ඥාතීන් වගේම විවාහක යුවලක් නොඉවසිල්ලෙන් ඉන්නේ කවද්ද දරු සුරතල් බලන්න පුළුවන් වෙන්නේ කියලා. බටහිර සංස්කෘතියට වඩා ආසියානු සමාජය තුල විශේෂයෙන් ලාංකීය සමාජයේ මේ ගැන තියන අවධානය වැඩියි. ඒ වගේම තමයි දරු සම්පත් ලැබීම ප්‍රමාද වෙනකොට සමාජයෙන් එන පීඩනය ගැරහුම් වගේම සමහර කාන්තාවන්ට දරාගන්න බැරි තරම්. තාක්ෂණයෙන් කොයි තරම් ඉහලට ගියත් දරුවන් නැතිවෙන්න එකම හේතුව කාන්ත්වගේ වඳ භාවය කියලා හිතන්න තරම් හණමිටි අදහස් දරණ අය ලංකාවේ ඕනි තරම් ඉන්නවා. එහෙම අය ඇඟිල්ල දිගු කරන්නේ කාන්තාවන් දෙසටයි. මෙවැනි තත්වයකට පත් වන කාන්තාවකගේ මානසිකත්වය මොනවගේ වෙයිද? ඇය කොයිතරම් සමාජය ඉදිරියේ අසරණ වෙනවද කියලා කියලා හිතන්නේ බොහොම අතලොස්සක්.

1962 ගුණසේන ගලප්පත්ති කලාකරුවානන් අතින් නිමවෙන ” මුහුදු පුත්තු ” නාට්‍යයෙන් කියවෙන්නෙත් මෙන්න මේ වගේ කථාවක්. මෙහි එක් ජනප්‍රිය දරු නැළවිලි ගීතයක් තමයි ” මුහුදු පතුල යට ඉඳලා ” ගීතය. අනියම් ඇසුරකින් ලබන මව් පදවියක් ගැනයි මේ ගීතයෙන් කියවෙන්නේ. මෙම කාන්තාවගේ සැමියා මුහුදු රස්සාව ජීවනෝපාය කරගත් අයෙක්. ඉතින් ගොඩක් වෙලාවට ඉන්නේ මුහුදේ. විවාහ වී කාලයක් ගත වුවත් මේ යුවලට දරු සුරතල් බලන්න අවස්ථාවක් ලැබුනේ නැහැ.දරුවන් නොමැති නිසා සමාජයෙන් ඇඟිල්ල දික්වෙන්නේ මේ කාන්තාවට. වඳ ගැහැනියක් ලෙස හංවඩු ගැහෙද්දි ඇය අතිශයින් පිඩාවට පත්වෙනවා.දරුවකු ලබා ගැනීමට මොවුන් නොකරන දෙයක් නැහැ. සැමියා, ඥාතීන් විවිධ භාර හාර සිදු කරන අතර තුර මෙම කාන්තාව සැමියාගේ සහෝදරයා සමග කතරගම යන්නේ දරුවන් වෙනුවෙන් භාරයක් වෙන්නයි.

කතරගම යන අතරතුර මේ දෙදෙනා අතර අනියම් ප්‍රේමයක් නිසා මේ කාන්තාව දරුවකු පිළිසිඳ ගන්නවා. දරුවකු නැති වඳ ගැහැනියක් ලෙස සමාජයෙන් ලැබූ ගැරහුම් වලට ඇගේ පිළිතුර වන්නේ ඇගේ සැමියාගේ බාල සහෝදරයාගෙන් දාව ලැබෙන දරුවායි…

වෙරළෙන් කිරි කවඩි සොයා කෙනේක් පුතුට ගෙන එනවා
තවාත් කෙනේක් පාට පාට පබළු කඩෙන් ගෙන එනවා
ඒ පබළුයි මේ කවඩියි එක නූලේ අමුනනවා
ඒවායින් කවඩි සදා පුතුගෙ ඉණේ පළඳනවා
පුතුගෙ ඉණේ පළඳනවා

තාත්තලා දෙදෙනාම දරුවාට සලකන ආකාරය ගීත රචකයා අපුරුවට ඉහත පද මාලාවෙන් ඉදිරිපත් කර ඇත. දරුවාගේ මවත් කිසි වෙනසක් නොපෙන්වා දරුවාට ඒ සැලකුම ලබා දෙනවා. ලේ උරුමයෙන් දරුවාගේ පියාත් නීතියෙන් දරුවාගේ පියා වන තැනැත්තාත් මේ මගේ දරුවා ලෙස බිලිඳාට සලකනවා.

සුදු පාටින් පහන් තරුව දුර අහසේ දිළිසෙනවා
සුදු පාටින් ටිකිරි සිනා පුතුගෙ මුවින් ගිලිහෙනවා

සැමියාත්, ඔහුගේ බාල සහෝදරයාත් හැඩ රුවින් එක සමාන වන නිසාත් දරුවාට ද ඒ හද හුරුකම ම ලැබෙනවා. අනියම් ඇසුරකින් ලැබුන දරුවකු වුවත් ගැටළුවක් නොවී සමාජයට මුහුණ දීමට හැකියාව ලැබෙන්නේ මේ හැඩහුරුකම නිසයි.

මූදු පතුල යට ඉඳලා
මුතු ඇටයක නිදි කරවා
පෙණ කැටියක පාකරලා
මගෙ දෝතට පුතු ආවා

මෙවැනි සිදුවීමකින් දරුවකු ලබා ගැනීම පහසු දෙයක් නෙමෙයි. ඒ වගේම සමාජය අනුමත කරන්නේ නැහැ. එත් දරුවකු නැති වඳ කාන්තාවක් ලෙස සමාජයෙන් එල්ලවෙන චෝදනාවට අභියෝග කරන මේ කාන්තාව තම අභිමතාර්ථ ජයගත් ආකාරය හරි අපුරුවට මේ පද මාලාවෙන් ඉදිරිපත් කරනවා.