ඉවුම් පිහුම් ගැන නොදන්න නමුත් ඒ ගැන උනන්දු වෙන දෝණිලාට මේ පෝස්ට් එක ප්‍රයෝජනවත් වේවි කියලා මං හිතනවා. අපි හැමෝම විවිධ දේවල් වලට දක්ෂයි .සමහරු උයන්න දක්ෂයි .ඒත් උයන්න දන්නෙ නැති කෙනා වෙන ක්ෂේත්රයක දක්ෂයෙක් වෙන්න පුලුවන් .ටික දවසකට කලින් මැදි වයසෙ ඉන්න මගෙ ඥාති සොයුරියක් කෝල් එකක් දීලා “අක්කෙ තැම්බුම් හොද්දක් හදන්නෙ කොහොමද “කියලා ඇහුවා .මං ඇයට බොහෝම පැහැදිලිව ඒක කියලා දුන්නා.අපි පොඩි කාලෙ සමාජයෙ මතයක් තිබුනා ගෑණු ළමයෙක් වුනාම ගේ දොර වැඩ ,ඉවුම්පිහුම් ,මැහුම් ගෙතුම් ,ඉගෙනගත යුතුයි කියලා. නැත්නම් ඒක ගෑණු ළමයෙකුට ලොකු අඩුපාඩුවක් විදිහට අම්මලා දැක්කෙ.ඉතින් අම්මලත් අපිට වැඩ ඉගැන්වූයේ “නැන්දම්මගෙන් බැණුම් අහන්න වෙයි” කිය කියා.ඒත් ඒ සමාජය ටිකෙන් ටික වෙනස් වුනා.අධ්‍යාපන කටයුතු වෙනුවෙන් හෝ වෙනයම් හේතු නිසා ගෑණු ළමයි කුස්සියෙන් ටිකක් ඈත්වුනා. සමහර වෙලාවට අම්මලාම දරුවො කුස්සියෙන් ඈත්කරනවා. “අපෝ එයා කුස්සිය හැඩිකරනවා. ඊට වැඩිය හොඳයි මමම කරගන්නවා “කියලා.පවුලේ බඩපිස්සා වුනාමත් කුස්සියට එනවා අඩුයි.අපේ පවුලෙත් එහෙමයි.ඒ හින්ද එයා බැඳපු අලුත මගෙ ෆෝන් එකට ඇමතුම් බොහෝමයි.”ලොකු අක්කෙ වට්ටක්කා උයන්න අඹරන දේවල් මොනවද”කියල අහද්දි මං හිටියෙ ටවුමට යන ගමන් බස් එකේ.”ඔයා චිකන් රතුපාටට උයන්නෙ කොහොමද ” අහද්දි ටවුම මැද්දෙ. කොහොම හරි එයත් දැන් රසට උයනවා.හාල් වලට වතුර තියන්න ,සම්බෝලයක් හදාගන්න වගේ ප්‍රාථමික මට්ටමේ දේවල් පවා නොදන්න දෝණිලා ඉන්න පුලුවන් .උයන්න දන්නෙම නැති අයට “අයියෝ ,ඕකවත් දන්නෙ නැත්ද.” “ලංකාවෙද ඉන්නෙ ” වගේ උත්තර දුන්නොත් ඔවුන්ගෙ උනන්දුව නැතිවෙයි.කිසිම දෙයක් උයන්න දන්නෙ නෑ කියන්නෙ වරදක් නෙවෙයි .ඒ වගේ කෙනෙකුට මේ පුංචි පුංචි දේවල් ප්‍රයෝජනවත් වේවි .කවදහරි දවසක එයාලා ඉවුම්පිහුම් කලාවේ අතිදක්ෂයො වෙන්නත් පුලුවන් .ගොඩක් දේවල් ඇතුලත් කළොත් පෝස්ට් එක දිග වැඩිවෙයි.ඒ නිසා මං ඉල්ලීමක් කරනවා මේක කියවන ඔබ දන්න දේවල් Comment හැටියට එකතු කරන්න කියලා .ඒක අපි එකිනෙකාටත් බොහෝම ප්‍රයෝජනවත් වේවි .මොකද අපිට හැමදාම යාවත්කාලීන විය හැකි දේවල් ඉවුම්පිහුම් කලාව තුළ තියෙනවා .
🥔මාලුවකට ලුණු වැඩිවුනොත් අල පෙති කීපයක් දාන්න.
🥦කතුරු මුරුංගා කොළ නැවුම්ව කල්තබා ගැනීමට ශොපින් බෑගයක දමා වතුර ස්වල්පයක් ඉස ශීතකරනයේ දාන්න
🥒පතෝල ,වැටකොළු වතුර උනන එළවලු.ඒ නිසා උයන විට මිටිකිරි විතරක් පාවිච්චි කරන්න .වැටකොළු වලට පිටිකල පොල්කිරි වතුර මිශ්‍ර නොකර එකතු කර පිසගන්න.
🥕පොලොස් මැල්ලුමට සූදුරු, කොත්තමල්ලි ,සුදුලූනු ,ගම්මිරිස් , කරපිංචා ,කොච්චි හෝ අමුමිරිස්, අබ ස්වල්ප වශයෙන් ගෙන අඹරා පොල් කවලම් කර දාන්න .ඉතා රසයි.අවශ්‍ය නම් තෙම්පරාදු කරන්න .පොලොස් සිහින්ව කපල ලුණු ,කහ දාලා යන්තම් වතුර දාලා තම්බන්න.වතුර පෙරන්න තරම් තියන්න එපා.
🥥පොලොස් මාලුව රතුපාටට උයන්න වේලුනු පොල් පාවිච්චි කරන්න .කරාඹුනැටි කඩා ඉවත දමන නැටි කීපයක් දැමීමත් එක ක්‍රමයක් .මිරිස් යන්තම් රත්කර ගැනීමත් හොඳයි.මදගින්නේ බොහෝ වේලාවක් පිස ගැනීමත් හේතුවක් .
,
කොලගෝවා ,තම්පලා වගේ මැල්ලුම් හදද්දි වතුර උනනවා. තාච්චියක හදන එකෙන් ඉක්මනින් වතුර වාෂ්ප කරගන්න පුලුවන් .නැත්නම් වතුර එකතුවෙනකොට මැද ඉඩක් හදන්න.එතනට වතුර එකතුවෙයි
🥦උණු උණුවෙ බත් වලින් ප්‍රයිඩ් රයිස් හදන්න එපා.නියම රස එන්නෙ නෑ.බත නිවල ගන්න.
🦈
පොඩි මාලු බදිනවිට ලුණු ,මිරිස් කුඩු අතගා සීසන් කර බදින්න.(ගම්මිරිස් නොදා)
🥔
️පුංචි දරුවො අල කිරිහොදි කන්න කැමතියි .ඒත් අමුමිරිස් දැම්මම සැරයි.ඒ නිසා අමුමිරිස් ඇට අයින් කරලා හොද්දට දාන්න. හොද්ද ඉදුනම අල කෑල්ලක් දෙකක් පොඩි කරල හොද්දට දාන්න .ගොඩක් රසයි.
ඡායාරූප අන්තර්ජාලයෙන්
—මේනකා දිල් රුක්ෂි රන්දෙණිය —