Home All සුදු රෙද්දේ රතු පැල්ලම් හොයන ඇත්තන්ටයි මේ

සුදු රෙද්දේ රතු පැල්ලම් හොයන ඇත්තන්ටයි මේ

රන්පෝරු මස්තකයේ අතැඟිලි බැඳලා අෂ්ඨක එහෙමත් කියලා තියෙන
තරමක් නැකැත් ඔක්කෝමත් අකුරට ඉෂ්ටසිද්ද කරලා විවාහය කියන
රන්හුයෙන් දෙහදක් ආදරෙන් බැඳෙන්නෙ අලුත් ජීවිතයක් ගැන
බලාපොරොත්තු ගොන්නක් කරපින්නගෙන. නිසංසල, අඳුරු රාත්‍රියක සුවයහන් මත ගෙවෙන මධුසමය ඒ බැඳීම තවත් ශක්තිමත් කරනවා.
පැරණි සිරිතට අනුව විවාහ වුණු යුවළ මධුසමය ගතකරන්නේ යහන මත
ඇතිරූ සුදු ඇඳ ඇතිරිල්ලක් මත.

ලිංගික එක්වීමේදි ඒ සුදු පාට ඇතිරිල්ලට එකතු වෙන රතු පාට ලේ පැල්ලමක් මනාලියගෙ පිරිසිදු බවේ සංකේතයක් වෙනවා. ඕක චෙක් කරලා බලලා මනමාලිට වරිත සහතිකේ දෙන්නෙ නැන්දම්මා නැත්තන් මනමාල පාර්ශ්වයේ වැඩිහිටි කාන්තාවක්. දූගේ පිරිසිදු බව කියලා මනමාලිගෙ ගෙදරට යවනවා ලියුමක් ඇතුළෙ දාපු රතු මලක්. ඔන්න ඉතින් දුව නැත්තන් ලේලි මීට කලින් මිනිහෙක් එක්ක නිදියගෙන නෑයි කියලා
රටේ ලෝකෙ උන්ට කියන්න ගෙවල් දෙකේ ම රතිඤ්ඤත් දානවා. එතනින්
පස්සෙ තමයි දෙවෙනි දවසට ලකලෑස්ති වෙන්නෙ.
හැබැයි ඉතින් කරුමෙටවත් මනමාල ජෝඩුව මංගල රෑ ගෙවපු ඇඳ ඇතිරිලෙ
තිබිලා නැන්දම්මගෙ ඇහැට ලේ පැල්ලමක් අහුවුණේ නැත්නම් එදාට එතන
මඟුලක් නෙවෙයි අවමගුලක්. ඔන්න ඕකයි ඇත්ත කතාව.

හැබැයි මේ විදිහට මනමාලිගෙ පිරිසුදු බව මනින එක කොයිතරම් නම් වැරදි අදහසක්ද කියලා අපි දැනගත්තේ ඩොක්ටර් ජානකී විදානපතිරණ එක්ක කතා කළායින් පස්සෙ.
“ඇත්තට ම මං මුලින් ම කියන්න ඕනෙ මේ කන්‍යාභාවය කියන දේ
කාන්තාවන්ට වගේ ම පිරිමින්ටත් තියෙන දෙයක්. කන්‍යාභාවය තියෙනවයි
කියන එකෙන් අදහස් වෙන්නෙ කාන්තාවක් නැත්නම් පිරිමියෙක් කිසිම දවසක තවත් කෙනෙක් එක්ක ලිංගික ව හැසිරිලා නැහැයි කියන එකට. ඒ දේ මනින්න කිසි ම විදිහක විද්‍යාත්මක පරීක්ෂණයක් නෑ.

ලේ පිටවීම

ඒ වුණත් මිනිස්සු හිතාගෙන ඉන්නවා ලිංගික එක්වීමක දී කාන්තාවකගේ කන්‍යා පටලය බිඳිලා ලේ යනවා නම් ඇය කන්‍යාවක් කියලා. ඒක ඇවිල්ලා දුර්මතයක්. කන්‍යා පටලය කියන්නෙ කන්‍යාභාවය මනින දර්ශකයක් නෙවෙයි.
කන්‍යා පටලය කියන්නෙ කාන්තාවකගේ යෝනි මාර්ගය අවසාන වන සිදුර
වටේ තියෙන හරි ම තුනී පටලයක්. මේ පටලයේ රුධිර නහර නෑ. ඉතින්
ලිංගික එක්වීමකදි මේ පටලය බිඳුනයි කියලා රුධිර වහනයක් සිද්ධ
වෙන්නෙත් නෑ. මේ පටලය එකිනෙකාගේ විවිධ හැඩයෙන් පිහිටන්න පුළුවන් වගේ ම කන්‍යා පටල ගත්තම වර්ග හත අටක් ම තියෙනවා. සමහර අයගෙ ලිංගික එකතු වීමකදි දැඩි තෙරපීමක් වගේ දෙයකින් කන්‍යා පටලයයි යෝනිමාර්ග බිත්තියයි සම්බන්ධ වෙන තැන තුවාල වීමකින් ලේ යන්න පුළුවන්. 50%ක 60% විතර ප්‍රතිශතයකට මේ ලේ පිටවීම සිදු නොවෙන්නත් පුළුවන්.

ඒ වුණත් මිනිස්සු හිතනවා එහෙම ලේ යන එකෙන් තමයි කන්‍යාභාවය මනින්නෙ කියලා. ඒක විද්‍යාත්මක ව ගත්තම කොහොමටවත්
සාර්ථක පරීක්ෂණයක් නෙවෙයි.
දැන් සමහර ගෑනු ළමයි ගත්තම ඒ අයගෙ කන්‍යා පටලය ප්ලාස්ටික් වගේ
ඇදෙනසුලුයි. කැඩෙන්නෙ නෑ. එහෙම අයගෙ පළවෙනි වතාවෙ ලිංගික ව
එකතු වෙනකොට නැතුව දෙතුන් වතාවකින් පසුව ලේ පිටවීමක් වෙන්න
පුළුවන්. තවත් සමහර ගෑනු ළමයි ඉන්නවා ඒ අයගෙ යෝනිකට
සම්පූර්ණයෙන් ම වැහිලා. ඒ කියන්නෙ මැද සිදුරක් නැතිව. එතකොට
වැඩිවියට පත්වෙලා පළවෙනි වතාවට මාස්ශුද්ධිය හැදෙනකොට ලේ
පිටවෙන්න විදිහක් නෑ. ඒ වගේ අවස්ථාවල දරුණු විදිහට යටි බඩේ කැක්කුම් එහෙම ඇතිවෙන්න පුළුවන්. එහෙම වුණා ම පොඩි ඔපරේෂන් එකක් කරලා යෝනි කට විවෘත කළාම හරි.


මේ වෙද්දි ප්ලාස්ටික් සැත්කමකින් පුළුවන් බිඳුණු කන්‍යා පටලයක් නැවත
සකස් කරලා කන්‍යාභාවය තියෙන බව පෙන්වන්න. රජයෙ රෝහල්වල නම්
මේ සැත්කම කරන්නෙ නෑ. සමහර ඩොක්ටර්ස්ලා මේ සැත්කම කළා වුණාට
තාමත් තීරණය කරලා නෑ මේ දේ වෛද්‍ය ආචාර ධර්ම පද්ධතියට ගැලපෙනවද නැද්ද කියලා. මොකද සමහරු (කන්‍යාභාවය අහිමි කරගත්) මේ සැත්කම කරගෙන, ලිංගික එක්වීමකදි එයාලට ලේ පිටවෙනකොට සමාජය ඒ දේ හැම කන්‍යාවකගෙන් ම බලාපොරොත්තු වෙනවා. ඉතින් ඇත්ත ම කන්‍යාවකට ලේ පිටවුනේ නැත්නම් එයා අපිරිසිදුයි කියලයි මිනිස්සු හිතන්නෙ.

ටැම්පූන්

එහෙම බැලුවම මේ සැත්කම මිත්‍යා මතයක් ප්‍රමෝට් කිරීමක් වගේ වෙනවා.
තවත් සමහර අවස්ථාවල ලිංගික එකතුවීමක් සිදු නොවී ම කන්‍යා පටලය
බිඳෙන්න පුළුවන්. සමහර ස්වයං වින්දනයට හුරුවුණු අය පුරුදුවෙලා ඉන්නවා යෝනිමාර්ගයට ඇඟිලි ඇතුළු කරන්න. ඒ වගේ දේකින් කන්‍යා පටලයට හානි වෙන්න පුළුවන්. ඒ ඇරුණම ටැම්පූන් කියලා පෑඩ්(සනීපාරක්ෂක තුවා) වෙනුවට පාවිච්චි කරන උපකරණයක් තියෙනවා. ලංකාවේ ටැම්පූන් පාවිච්චියක් නැති වුණත් පිටරටවල එහෙම ස්පෝට්ස් කරන අය මාස්ශුද්ධිය හැදුණහම ටැම්පූන් එකක් අරන් යෝනි මාර්ගයට ඇතුළු කරනවා. ඒකෙනුත් කන්‍යාපටලයට හානි වෙන්න පුළුවන්.

ඉතින් වර්ජිනිටි එහෙමත් නැත්නම් කන්‍යාභාවය මනින දර්ශකයක් නෙවෙයි
මේ කනයා පටලය. ඒ ගැන හැමෝම දැනුවත් වෙන්න ඕනෙ. එහෙම
නොවුණොත් නිර්දෝෂි ගොඩදෙනෙක්ට නිකරුණේ දඬුවම් විඳින්න සිද්ද
වෙනවා.”

හණමිටි අදහස්

කොහොමටත් මිනිහා මැරුණම ඒ ගින සෑයට ම පැනලා සති පූජාව දෙන්න
ගෑනුන්ට බල කරපු අතීත භාරත සමාජෙන් ගෑනි මැරුණම සතිපූජාව දෙන්නයි කියලා මිනිහට කිව්වෙ නෑ. රාවණා ළඟ හිරවෙලා හිටියට අග්නි පරීක්ෂාව දෙන්න වුණේ සීතාවට. එහෙම මිසක් සීතා ළඟ හිටියේ නැති වකවානුවෙ රාමාගේ කල්කිරියාව මැන බලන්න කව්රුවත් ඉල්ලුවෙ නෑ අග්නිපරීක්ෂාවක්.
එහෙම එකේ පිරිමියෙක්ගෙ පිරිසිදුකම මැනලා බලන්න අබමල් රේණුවක
තරම්වත් වුවමනාවක් නැතිවුන් ගෑනියෙක්ගෙ පිරිසිදුකම මනින්න මේ තරම්
දතකන එකේ පුදුමෙකුත් නෑ.
දැන් ඉතින් ඇත්ත දැනගත්තනෙ. මීට පස්සෙවත් ටිකක් හිතන්න. තමන්ගෙ
නොදැනුවත්කමයි, නූගත්කමයි නිසා අහිංසක, අසරණ, පිරිසිදු ගැහැනියෙක්ගෙ ජීවිතේ අපායක් කරන්න එපා. කොහොමටත් අපි අතමිට මොළවගෙන ඉස්සරට අරන් යන්න ඕන අතීය අපිට දායක කළ හැමදේ ම නෙවෙයි. අපිට ගැලපෙන වගේ ම නිවැරදි දේවල් විතරයි. මිත්‍යා මත වගේ ම හණමිටි අදහස් මගින් ම හලලා යන එක අපි කාගෙ කාගෙත් ඇඟට ගුණවෙයි.

විශේෂ ස්තූතිය – වෛද්‍ය ජානකී විදානපතිරණ
සටහන – මිහිරි කාංචනා