විවාහය සහ විවාහය තුල ස්ත්‍රී දුෂණයක් විය හැකිද ?

Categories

Share

මිනිසාගෙ ලිංගික ජිවිත‍ය පාලනය කිරිම,එය විධිමත් කිරිම, ස්ථාපනය කිරිම උදෙසා මානව සමාජයේ විවාහය නම් සංකල්පය නිර්මාණය විය.සමාජ, සංස්කෘතික,ආගමික හා ආර්ථික පදනම් මත විවාහයන් සිදු වේ.විවාහය යන්න නිර්වචනය කිරිම පහසු කාර්යයක් නොවෙ. එයට හේතුව වන්නෙ එය ඉතා සංකිර්ණ මිනිස් සබඳතාවක් වන බැවින් එයට නිශ්චිත තනි නිර්වචනයක් සැපයිම ප්‍රායෝගිකව අපහසුය.නමුත් ලොකය පුරා විවිධ පුද්ගලයන් විවාහය යන්න නිර්වචනය කර ඇති අතර ඉන් කිහිපයක් මේසේ දැක්විය හැක.

“එක් ස්ත්‍රියක් එක් පුරුෂයෙක් හො පුරුෂයන් එක් අයකුට වඩා වැඩි ගණනක් සමග ලිංගික සම්බන්ධතා ගොඩනැගිම තුලින් සමාජය පිලිගත් දරුවන් ලබාගැනිම විවාහය වේ. ” – කැතලින් ගොෆ්

” පුරුෂයන් එක් අයකු හෝ වැඩි ගණනාවක් , ස්ත්‍රින් එක් අයකු හෝ වැඩි ගණනාවක් පවතින සමාජය අනුමත් කරන ආකාරයේ ලිංගික සම්බන්ධතා පවත්වා එයින් නෛතික හිමිකම්ක් සහිත දරුවන් බිහිකිරීම විවාහයයි” – E.A. Westermarch/ History of Human marriage (1901)

ඉහත් නිර්වචනයන් සැලකිමේදි විවාහය යන්න තුල මුලික කරුණක් ලෙස ලිංගික සම්බන්ධතාවය හදුනාගත හැකිය.නෛතිකව පිලිගන්න ලිංගික සම්බන්ධතාවයක් විවාහය තුලින් නිරුපණය වෙයි.නමුත් මෙකි විවාහය තුල ද ස්ත්‍රී දුෂණය සිදුවිය හැකි බව ඔබ පිලිගන්නෙද?

සැමියා හා බිරිද අතර ඇතිවන ලිංගික සංසර්ගය විවාහය තුලදී සාමාන්‍ය දෙයකි.නමුත් සැමියාගෙන් නිත්‍යානුකූලව , අධිකරණමය තීන්දුවක් මත වෙන්ව සිටිම සදහා අවසරය ඇති ස්ත්‍රීයක් සමග ඇයගෙ කැමැත්තකින් තොරව,ඇයගේ කැමැත්තට එරෙහිව සිදුකරන ලිංගික සංසර්ගය ස්ත්‍රී දුෂණය වරදෙහිලා සලකයි. ඒ අනුව අදාල ස්ත්‍රිය තමන්ගේ බිරිඳ වුවද ඇයගෙන් නීත්‍යානුකූලව වෙන්ව ඇති විටකදි ඇයගෙ කැමැත්තකින් තොරව ලිංගික සංසර්ගය වෛවාහක් ස්ත්‍රී දුෂණය ලෙස හදුන්වයි.

එසේම විවාහ යුවලක් අතර සිදුවන ලිංගික සංසර්ගය ස්ත්‍රී දුෂණයක් යැයි නොසලකන නමුත් එකී ලිංගික සංසර්ගය සදහා පුරුෂයා විසින් ස්ත්‍රීයට එරෙහිව ප්‍රචණ්ඩත්වය යොදාගෙන තිබුණේ නම් එය ස්ත්‍රීයට එරහිව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය දියත් කිරිම පිලිපදව පුරුෂයාට එරහිව අපරාධ වරදක් ස්ථාපනයවේ.පුරුෂාධිපත්‍යයේ තවත් වේශයක් ලෙස ලිංගික අඩත්තේට්ටම හැදින්විය හැක.එය නීතිය තුල හැඳින්වෙනුයේ වෛවාහක ලිංගික අඩත්තේට්ටම හෙවත් Marital Rape නමිනි.ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ සහ ලිංගික අපයෝජනයන්ගේ කොටසක් ලෙස ද මෙම වෛවාහක ලිංගික අඩත්තේට්ටම හැදිවිය හැක.මෙකි වෛවාහක ලිංගික අඩත්තේට්ටම් යන අපරාධය සරලවම මෙලෙස හැදින්විය හැක.එනම් සැමියා විසින් සිය බිරිඳගේ කැමැත්තෙන් තොරව ඇය මත බලහත්කාරයෙන් සිදු කරනු ලබන ලිංගික ක්‍රියා යනුවෙනි.මේම වෛවාහක ලිංගික අඩත්තේට්ටම් සදහා සමාජයේ මෙන්ම නීතිය තුලද ඇත්තෙ යම් සෘණාත්මක ආකල්පයකි.මුල්කාලීනව නීති විශාරදයන් මෙම වෛවාහක ලිංගික අඩත්තේට්ටම් යන වරද අපරාධ වරද ගණයේලා සැලකිමට මැලිවිය.ඔහුන්ගේ තර්කයය වුයේ කුටුම්භයක් තුල සිදුවන ක්‍රියාකාරකම් සදහා බලපෑම් කිරිමට නීතියට නොහැක යන්නයි.නමුත් පසුකාලීනව නැගි ආ මානව හිමිකම්,කාන්තා අයිතිවාසිකම් සදහා හඩ නැගු ස්ත්‍රීවාදී ව්‍යාපාර නිසාවෙන් වෛවාහක ලිංගික අඩත්තේට්ටම් කිරිම මනුෂ්‍ය ශරීරයට එරහිව හා ආත්ම ගරුත්වයට එරහි අපරාධ ලෙස සැලකිමට බොහො රටවල් පෙලඹිය. සමාජය පිලිපදව අවදානය යොමු කිරිමෙදි සමාජයේ මතය වුයේ කුටුම්භයක් අතර සිදුවන ක්‍රියාකාරකම් ප්‍රසිද්ධියේ කථා නොකල යුතු බවයි. නමුත් මෙකි වෛවාහක ලිංගික අඩත්තේට්ටම් යන්න ඔහුන්ගේ කැමැත්තකින් තොරව සිදුවන ක්‍රියාවක් වන අතර එකි වරද අනෙකුත් ලිංගික අඩත්තේට්ටම් හා සමානවන බව අප අමතක නොකලයුතුය.

මෙකි ලිංගික අඩත්තේට්ටම් කිරිමේ වරදේ දඩුවම් පිලිපදව දණ්ඩ නිතිසංග්‍රහයේ හි 364 වෙනි වගන්තියෙ දක්වා ඇති අතර එකී වගන්තිය ප්‍රකාරව යම් අයෙකු ලිංගික අඩත්තේට්ටම් සිදුකළ බවට සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කල යුතුවන අතර එසේ ඔප්පු කල හොත් මෙකි වරද වෙනුවෙන් වසර 7කට නොඅඩු එමෙන්ම වසර 20කට නොවැඩි බරපතළ වැඩ සහිත සිරදඬුවමක් සහ දඩ මුදලකි ගෙවිමට සිදුවේ.

ශ්‍රි ලංකාව වැනි ආසියානු රටක මෙම වෛවාහක ලිංගික අඩත්තේට්ටම් වලට විරුද්ධ කාන්තාවන් සිය හඩ අවදි කිරිම ඉතා පහල මට්ටමක් පවති. මක්නිසාද කිවහොත් මෙකි වරද වෙනුවෙන් නීතිය ඉදිරියට යන කාන්තාවන් හට නීතිය සුරකින්නන්ගෙන් හා යුක්තිය පසිඳලන්නන්ගෙන් ගැරහුම්වලට ලක් වන්න සිදු විමයි.ඔබ සිතා බැලුව හොත් ඔබටම වැටහේවි ලිංගික අඩත්තේට්ටම් හෝ ස්ත්‍රී දුෂණය ලක්වුවෙකු අපගේ නීති පද්ධතිය තුල නැවත නැවත කෙලෙසන්නෙ කෙසේද යන්න..අන් අතට කාන්තාවන් හට සිය අයිතිවාසිකම් පිලිපදව ඇති දැනුම මදකමද මෙයට හේතුවිය හැකි.(සමස්ථයක් වශයෙන් අප රටෙ බහුතරයක් ජනතාව තමන්ගේ අයිතිවාසිකම් ගැන ඇත්තේද මද අවබෝධයකි )තම අයිතීන් පිලිපදව නොබියව හඩ නැගිමට අප රට තුල කාන්තාවන් හට සහයෝගය ලැබිය යුතු අතර ඒ සදහා කාන්තා ව්‍යාපාර, නීති සුරකින්න,යුක්තිය පසිඳලන්න හා පිරිමින්ද මුලික විය යුතුය. විවාහය යන්න වහල් ගිවිසුමක් නොවන වගත්,බිරිද යනු තමන්ගේ දේපලක් නොවන වගත්, ඇයද මනුෂ්‍යයෙකු බවත්,ඇය ලිංගික මෙවලමක් නොවන බවත් අප සමාජයේ බොහො පිරිස් තවමත් අවාසනාවකට තේරුම් නොගෙන ඇත.

සටහන : Rio Sagaarox

Author

Share