සෙබල සටහන්!

Categories

Share

“ Welcome to the Houston Intercontinental Airport, Houston, Texas. It’s a beautiful sunny day in Houston. The temperature outside 75F. We hope you all had a wonderful journey with American Airlines”

Houston! දැනගෙන හිටියා එනවා කියලා හැබැයි ප්ලෑන් කරල තිබ්බෙ නෑ මෙහෙටම එන්න ඕනේ කියලා හරි, අනිවාර්යෙන්ම මෙහෙටම ඇවිත් නතර වෙනවා කියලා. ඒක හීනයක්! ඔව්! බොරු කියන්න ඕන නැහැ ඒක හීනයක් තමයි මං කාලයක් දැක්ක හැබැයි අරමුණක් නැතුව දැක්ක හීනයක් නෙවෙයි. මොකද අරමුණක් නැතිව දකින හීන, හීන විතරයි කියලා මම දැනගෙන හිටියා. ලංකාව දාලා යනකොට පුදුම තරම් දුකක් දැනුනා. රටවල් ගණනාවකට ගිහින් තිබ්බත් නතර වෙන්න නෙවෙයි. රස්සාවකට විතරයි. එහෙම යනකොට දැනගෙන හිටියා ආපහු එනවා කියලා ඒක නිසා ඇතිවන දුක ලොකුවට දැනෙන්නෙ නෑ මොකද මම දන්නවා ගියත් ආපහු එනවා කියලා. ඒත් මේ සැරේ ආවෙ ස්ථිර පදිංචියට තියෙන වීසා එක අරගෙනමයි. ඒ කියන්නේ ආපහු ලංකාවට ආවත් එන්නෙ යන්න බලාගෙන. හැරවීමක් නැහැ . මම දිග හුස්මක් ගත්තා.

“එහෙනම් මේක තමයි ආරම්භය” මම මටම කියාගත්තා.

මම හැදුනෙ අම්පාරේ. කොළඹ විදිහට කියනවනම් ඩොටේ. මගේ තාත්තා රස්සාව කළේ හිඟුරාන සීනි කර්මාන්ත ආයතනයේ. අම්මට රස්සාවක් කරන්න වෙලාවක් තිබ්බේ නෑ. ළමයි පස් දෙනෙක් බලාගන්නවා කියන එකම රස්සාවක් කරනවට වඩා බරපතළ රාජකාරියක්. ඒ බරපතළ රාජකාරිය මගේ අම්මා හරියටම කළා. මේ කතාව අද මම ඔයාලට කියන්නෙ මම නිසා නෙවෙයි ‘මම’ කියන පුද්ගලයා හදපු එක ධෛර්යවන්ත ගැහැණුන් දෙන්නෙක් නිසා. එක්කෙනෙක් මගේ අම්මා. අනිත් කෙනා මගේ අත්තම්මා. මම මේක මෙහෙමවත් නොකිව්වොත් ඒක ඒ ධෛර්යවන්ත ගැහැණු දෙන්නට කරන අපහාසයක්.

Houston airport එකේ ලොකුවට තියෙන්නේ රාජාලියෙක්. එතකොට තමයි මං මුල්වරට දැක්කේ ඇමෙරිකානු රාජ්‍ය ලාංඡනය. ලංකාවෙ රාජ්‍ය ලාංඡනය ඊට වඩා හොඳද මන්දා. ඒක මතක් වෙලා මම ඔලුවට දාගෙන හිටපු තොප්පිය ගලවලා ආපහු සැරයක් බැලුවා. කඩුවක් අතින් ගත්ත සිංහයෙක්! අපි කතා කරන තරමක් කතා කරන්න සිංහයෝ ගැන. ඒත් ඒ සිංහයෝ පොඩි කාලේ ඉඳං කවලා පොවලා උස්මහත් කරන්නේ සිංහ ධේනුව. තමන්ගෙ දරුවො වෙනුවෙන් මැරෙන්න හරි ඉස්සරහට යන්නේ සිංහ ධේනුව. හරියට අපේ අම්මලා ආත්තම්මලා වගේ. මම ඒක ඇස් දෙකටම දැකලා තියනවා. ඒ කරන පරිත්‍යාගයේ ජීවමාන සාක්ෂි කාරයා වෙන්න අද මට පුළුවන් වෙලා තියෙන්නේ ඒක නිසා. මේ කතාව ඔයාලා මෙච්චර කල් අහපු කතා වලට වඩා ගොඩක් වෙනස් එකක් වේවි. මට ඒක විශ්වාසයි!

ඊළඟ සතියට.

අනුජ පූජිත ගුණවර්ධන.
හමුදා සාමාජික
ඇමෙරිකා එක්සත් ජනපද පාබලහමුදාව.

Author

Share