චාරිකා – 03 කොටස

Categories

Share

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.
හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.
කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.
මම මෙහෙම කියන්නම්,
“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”
මම ධරණි චාරිකා

 

“බඹර පහස අබන මලක්දෝ…
අඹර සුවය සොයන මලක්දෝ…”
උදේ පාන්දරම දිල්කා ඇතුළු පිරිස නොනවතින වේග රිද්ම ගී දැහැනට සෙට් වෙලා. ඔරිජිනල් සිංදුවම නෙමේ. උන්ට ඇහෙන උන්ට ඕනේ සිංදුව තමා කියන්නේ. රූකාන්තට ඇහුණා නම් සිංදුව ඒ මනුස්සයා ආයේ ජීවිතේට සිංදුවක් දිහා හැරිලා බලන්නේ නෑ.
“ධරණී වරෙන් කැරකිලා නටන්න…” තේජත් ඒකටම සෙට් වුණා ආපු ගමන්.
“කැරකිලා නැටුවම හරිද…?” මම desk එකක් උඩ වාඩිවෙන ගමන් ඇහුවා.
“මෙතන දිග්ගේ නැටුම නටන්න බෑනේ බන්…” පෙට්ටි කිකිළි ඉණ අඹරන  ගමන් කිව්වා.
ඒකිගේ හරි නම යුගානි. කොණ්ඩේ කපලා තියෙන system එකේ හැටියට තමයි නමත් දාලා තියෙන්නේ.
“උඹලා පුළුවන් නම් ඒකත් නටයි…” මම කිව්වා.
උදේ පාන්දරම තිබුණේ Chemistry. මං හරී ආසයි lab එකට ගිහින් මගේම කියලා පරීක්ෂණයක් කරලා මගේම කියලා Acid එකක් එහෙම නැත්තන් “ධරණි පරීක්ෂණය” කියලා පරීක්ෂණයක් ලෝකෙට දෙන්න. අපේ ටෙඩීගෙන් ඒකට අත හිත ලැබෙනවා හරි අඩුයි.
“අත මිට කාසි පනම් හොඳ හැටි තියෙනවා නම්….” ඉස්කෝලේ පටන් ගත්ත ගමන් දිල්කා ආයෙත් සිංදුව පටන් ගත්තා…
“ඉඳගෙන අපේ ලැබ් එක මවන්නම්….” පෙට්ටි කිකිළි ඉතුරු පදේ කිව්වා.
“කැරකිලා…. ඩාලිං මට ආදරේ නම් මල වගේ කරේ තියන්…. හෙලිකොට්ටරේ වගේ දුවන්නම්….”
සන්තානං මෑණියනේ…. මේ සිංදු ලියපු කියපු මිනිස්සු මැරිලා නම් වලවල් වලින් නැඟිටන් එයි.
“වරෙන් කෙල්ලේ කැන්ටින් යන්න… සල්ලි ගනින් වඩයක් කන්න…. අපේ ටෙඩී අද ඇබ්සන්ට්… උදේ වරුව අද ෆ්‍රීඩම්…. යමන් කෙල්ලේ  කැන්ටින් යන්න… ” පන්තියේ monitor ඊට හපන් පිස්සු හෝන්තුවක්.
මං දුන්නා සුපිරි විසිල් එකක්. ටෙඩී නෑ. Periods දෙකක් free. කාලය කළමණාකරණය කරලා කරන දෙයක් කරන්න ඕනේ. හෙටත් එයා නාවොත් හොඳයි. හෙට අන්තිම periods දෙක.
පන්තියේ එවුන් දස අතේ විසිරුණා. ගාල කඩා ගත්ත අස්ස පැටවු ටික වගේ.
“අහ්හ්… මේ උඹට ආරංචිද…. අර සචිනි… අර උදුම්බරා දේවිලා යන ඉස්කෝලේ….” මාධවී උදේ පාන්දරම ඕපා දූපයක් හොයන් ඇවිත්. වෙන වැඩකුත් නැති එකේ ඒකවත් අහන්න ඕනේ.
“අපෝ… අර කොණ්ඩේ දිග කට හැකර අම්මණ්ඩිනේ. අර කොල්ලෝ සූරියකාන්තා කියන එකනේ….” ගිම්හානි චරිත සහතිකේ දිග ඇරියා.
ගමේ ග්‍රාමසේවකට වඩා හොඳට අපේ එවුන් මිනිස්සුන්ට චරිත සහතික දෙනවා.
“ඉතිං දැන් මොකක්ද වෙලා තියෙන්නේ….?”
“ඒකි විදුරංගයා පස්සේ යනවලූ….” ගිම්හානි කියද්දි අපි ඔක්කොටෝම හිනා ගියා.
“එහෙනම් ඒකයි මූ ඔක්කොම වැඩ අතෑරලා ඉස්කෝලේ ඇරුන ගමන් halt එකට වාර්තා කරන්නේ….” තේජා කිව්වා.
“ඒ වුණාට විදුරංගයා ඒකිව ගණන් ගන්නේ නෑ බන්… ඌ මහ මොකෙක්ද එකෙක් වගේනේ….”
“පොර exam නේ අගෝස්තු වල….”
“ඌ කැම්පස් ගියොත් නම් ඔය වැඩි සෛල ටික රැග් එකේදි ගැලවෙයි බන්….”
විදුරංගයා රඟන එකත් හරි එක අතකට. ඒ තරම් ඌ ජනප්‍රිය චරිතෙනේ.
හවස Physics class. මේ ලෝකේ එපාම කරපු subject එක මට.
“අද class යන්න බෑ බන්….” මම gate එකෙන් එළියට ඇවිත් තේජට කිව්වා.
“ඒ මොකෝ…?”
“වස කම්මැලියි බන්….”
“මඟුලක්… මෙන්න මෙහේ වර යන්න… අමාරුයි කිය කිය නේද ඉන්නේ… මං උඹට කිව්වා.. පළවෙනි පාරම S තුනක් හරි දාන් මේකෙන් ගොඩ යනවා මිසක් කොටි වල්ගේ වගේ අල්ලන් ඉන්න නම් ලෑස්තිවෙන්න එපා කියලා….” තේජා තමා මගේ motivation character එක.
මාළු පාන් එකක් කාලා කිරි පැකට් එක්ක් බීලා දෙන්නා දිව්වා class එකට. යද්දි අනික් එවුන් අපි දෙන්නටත් ඉඩ තියන් හිටියා.
අඩි බාගේ බංකුවක රිය සක වන් පුළුලුකුල තියන් වාඩිවෙන හැටි සහ පැය දෙක තුනක් එය බංකුවටම අලවාගෙන සිටීමේ හැකියාවට අපිට වෙනම ලකුණු දෙන්න ඕනේ හරි නම්. ඒත් ඉතිං සර්ලා බලෙන් ඇවිත් එක්ක යන්නේ නෑනේ class වලට. අපිම ඇවිත් අලවගන්නවා මිසක්.
“ධරණි… උඹ අද class ආවේ නැත්තන් වෙන විනාසේ බලහන්…” කියලා තේජා වැලමිටෙන් ඇන්නා මට.
මම ඇත්තටම ඒ වෙලාවේ දීපු ටියුට් එක තියෙන්නේ මොන භාෂාවෙන්ද කියලා තේරුම් ගැනීමේ මහා උත්සාහයක නිරත වෙලා හිටියේ. ඉස්සරම කාලේ ගණන් හැදුවට ඉලක්කම් වලින් දැන් කෝ යකෝ මේවගේ ඉලක්කම්. අකුරු ගොඩක්නේ තියෙන්නේ. මේවා ඉලක්කම් වෙන හැටි නම් මට හිතාගන්නවත් බෑ.
“මොන එකක්ද බන්…?” කියලා මම තේජා බලන් හිටිය පැත්ත බැලුවා.
“ආවා සොයා ආදරේ….” වගේ සිංදුවක් මට ඇහෙන්න ගත්තා. බස් එකේ දැක්ක කොළු පැංචා අපේ class එකට ඇවිත්. උඩ ඉදන් පහළටම full profile picture එකක්ම කොල්ලගේ දැක්කා. කිසි අවුලක් නෑ. ලස්සන කොල්ලා.
“ඇඬෙනවා… මෙයා අපේ class එන්නේ… අදනේ දැක්කේ….” මට කියවුණා.
“මල්සරා” මම සුටුස් ගාලා දැම්මා නමක් කොල්ලට. මිනිහා ටියුට් එකත් අරන් ගියා class එහා කෙළවරට. මං ඉතිං බෙල්ල කැඩෙන කල් බලන් හිටියා මිනිහා කොහෙද වාඩිවෙන්නේ කියලා.
“බෙල්ලේ පොට යයි යකෝ ඔය හැටි කරකවලා. තුන්සිය හැටක් කරකවන්න බෑ බෙල්ල….” තේජා මගේ බෙල්ලා ආයේ කැරකුවා.
“ඕකනේ උඹ එක්ක බැරි. මම බැලුවේ මල්සරා වාඩිවෙන්නේ කොහෙද කියලා…”
“මොකක්…? මල්සරා… උඹ ඒ ඩිංගට ඌට නමකුත් දැම්මද…?”
“ලේසිනේ බන්… නැත්තන් මම උඹට ඌ ගැන කියන්න ගියාම අරූ මූ කියනවට වඩා මල්සරා කිව්ව ගමන් උඹ දන්නවනේ මම කතා කරන චැනල් එක ගැන….”
“අන්න සර් ආවා. මල්සරා ඉන්න තැනක ඉඳලා විදියි. උඹ සිහියෙන් පාඩම් අහන් හිටපන් උගේ දුන්න ගැන හිතන්නේ නැතුව….”
සර් පාඩම් පටන් ගත්තා. පරක්කුවෙලා එන එවුන්ගේ පරම්පරාවටම බැන්නා. ඊට පස්සේ අනික් class කරන අයට බැන්නා. එයා සල්ලි බලන් class කරන්නේ නෑ කිව්වා. චරක එතකොටම ඇහුවා,
“සර් එහෙනම් ඔක්කොටෝම free card දෙන්න බැරිද කියලා….?”
ඌ ඉල්ලන් කෑවා. සර් ඒකට වෙනම දේශනාවක් දුන්නා. සර්ගේ බයිලා ටික ඉවරවෙලා පාඩම් පටන් ගද්දි මට සුපිරි නිදිමතක් සෙට් වෙලා.
සර් ටියුට් එකේ ප්‍රශ්ණයක් කියවනවා.
“ශිෂ්‍යයෙක් ධ්වනිමානය යොදාගෙන සරසුලක සංඛ්‍යාතය සෙවීම සඳහා පරීක්ෂණයක් කිරීමට සැළසුම් කරයි…”
ඇත්තටම ඌට වෙන වැඩක් නැද්ද…? ධ්වනිමානයි සරසුලයි එක්ක නටන්නේ…? බෝලයක් බැට් එකක් අරන් ගහපන්කෝ ක්‍රිකට්. ෂුවර් මිනිහා පන්තියේ පොරක් වෙන්න දඟලනවා ඇති.
එතනින් එහාට සර් මොනවා කියෙව්වද මංදා. මම තේජා ලියන එකම කොපි කළා.
“මචං අනුනාදේ ලබා ගන්න අරූගේ ඔළුවට ගැහුවොත් බැරිවෙයිද…?” මම තේජගෙන් ඇහුවා.
“මොකාගෙද…?”
“ඔය පරීක්ෂණේ අටෝපු එකාගේ… ඌ හින්දනේ අපිට ඕවට උත්තර හොයන්න වුණේ…?” තේජා හිමින් සීරුවේ මගේ කකුළ කෙනිත්තුවා.
ඒක නම් රිදුනා. කෑගහන්න බැරි නිසා ඉවසන් හිටියා. නැත්තන් මං දනී මේකිට චූ යන්න කොනිතන්න.
“බහුබූත නැතුව ඉගෙන ගනින් බූරුවෝ…” තේජා දත් මිටි කන විදියට ඌට පාන් පෙත්තක් හපන්නවත් දත් ඉතුරු වෙන එකක් නෑ.
Class ඉවර වුණ ගමන් තේජා දිව්වා toilet එකට. ඉගෙන ගත්ත ඒවා දාලා එන්න වෙන්න ඇති. මම බෑග් එකත් තියන් class එක ඉස්සරහ කැරකි කැරකි හිටියා. කුකුළා කරමලේ නැතුවම ඇවිත් රඟනවා දැක්කා. ඌ මොකටද අපේ class එන්නේ. හරි නම් revision class යන්න ඕනේ කාලෙනේ.
“ඇයි බන් අරූ අපේ class අස්සේ රිංගන්නේ…?” තේජා එක්ක බස් හෝල්ට් එකට යන ගමන් මම ඇහුවා.
“ඌ කොහේ මොනවා කළාම අපිට මොකෝ බන්….?”
ඒකත් ඇත්ත. මගේ මොනවත් වියදම් වෙන්නේ නෑනේ. මටත් ඕන්නැති කෙහෙල් මලක් නෑනේ.
මතු සම්බන්ධයි.
©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

Author

Share