චාරිකා – 07 කොටස

Categories

Share

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.
හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.
කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.
මම මෙහෙම කියන්නම්,
“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”
මම ධරණි චාරිකා

Cool Spot එකට ඇවිත් ice cream දාලා දිවුල් බිව්වා රත් වෙච්ච කන් දෙක cool කරගන්න.

“මොන මඟුලක්ද බන් මේ….? මට නම් එපා වෙනවා. බෑ කිව්වම බණ talking. Exam ඉවරවෙනකල් ඉන්නම්ලු. බම්බුව. උගෙ තියෙන මදන කුලප්පුවට මම පලිද…?” මම කියවගෙන ගියා.

“Be cool මචං…. උඹ නිකන් නැට්ට ගිනි ගත්ත හනුමගේ නංඟි වගේනේ….”

“හනුමගේ නංඟි කවුද බන්…?” මම ඇත්තටම දැනන් හිටියේ නෑ තේජා කියනකල් හනුමට නංඟි කෙනෙක් හිටියා කියලා.

“හනුමගේ නංඟි හනුමි…..” අම්මපා දෙන්න හිතයි මේකිට හනුමා දිව්වා වගේ දුවන්න.

මම මේ රැවුල…නෑ… කොණ්ඩේ ගිනි අරන් ඉන්නවා. මූ එනවා ඒකෙන් බීඩි පත්තු කරන්න.

“පලයන් හිකනලී… උඹට නම් මේ ලෝකේ මළදානයක් කියලා වැඩක් නෑ….”

“හරි දැන් ඔය යකා ආයෙත් ආවොත්….”

තේජා ඇහුවට මට දෙන්න උත්තරයක් තිබුණේ නෑ. මේක මෙතනින් කොහොමත් නතර වෙන්නේ නෑ. කොල්ලෙක් ඉතිං ලේසියකට වැඩක් අතාරින්නේ නෑනේ. Specially විදුරංග වගේ කුකුළෙක් පරාජය භාරගන්න ලෑස්ති නෑනේ.

“ඌට try කරන කෙල්ලෝ දෙතුන් දෙනෙක් මට හොයලා දීපන්. මම උන්ව කුලප්පු කරලා තියන්නම්….” මම කියද්දි තේජට කැස්සක් හැදුනා. කක්කල් කැස්සද මංදා.

“අමුතුවෙන් කුලප්පු කරන්න දෙයක් නෑ. ඌ class එක ළඟට ආපු එකයි. උඹව කැන්දන් ගිය එකයි හැම එකාම දකින්න ඇතිනේ….” තේජා කියද්දි මට විදුරංගයා එක්ක යකා නැඟ්ගා. මෙච්චර කාලෙකට මං කොල්ලෙක් නිසා නම් චාටර් වෙලා නෑ.

“මේක නම් මළ මඟුලක් තේජා….”

“මළ මඟුලක් තමා. ඒක තමා මමත් කියන්නේ. අන්න උඹේ භෘංග රාජයා වඩිනවා මේ පැත්තට….” තේජා කියද්දි මං හැරිලා බැලුවා.

භෘංගරාජයා තව අත වැසියෝ දෙන්නෙක් එක්කම ආවා.

“අව්වට දිවුල් හොඳද බන්….” අපූර්ව එකෙක්ගෙන් ඇහුවා.

“හොඳ ඇති නේ බන්…කට්ටිය ඒකනේ බොන්නේ….” උන්දැ මං දිහා බලලා කිව්වා.

අපූර්වයි යාළුවෝ දෙන්නයි දිවුල් juice අරන් අපි ළඟින්ම වාඩිවුණා.

“කමක් නැද්ද දන්නේ නෑ අපි වාඩි වුණාට…” අපූර්වගේ යාළුවෙක් ඇහුවා.

“වාඩිවෙලා අහන්න එපා වාඩි වුණාට කමක් නැද්ද කියලා….” මම කියද්දිම තුන්දෙනාම නැඟිටලා,

“මිස්…අපි මෙතනින් වාඩි වුණාට කමක් නැද්ද…?” කියලා මහ හයියෙන් ඇහුවා.

“හයියෝ…” තේජා ඔළුවේ අත ගහගත්‍තා.

“පිස්සුද අපූර්ව…?මිනිස්සු ඔක්කොම අපි දිහා බලනවා…කරන්නෙම මොකක් හරි මැටි වැඩක්….” වාඩි වුණ අපූර්වට මම දෙහි කැපුවා. දිවුල් එක රස වෙන්න.

“මොකෝ වුණේ….?” අපූර්ව ඇහුවා. ඒ වෙද්දි තේජා අනික් ඩබලට සෙට් වෙලා මනස්ගාත කියවන්න පටන් අරන්. ඌටත් දෙමළෙක් එක්ක හරි කමක් නෑ කියවන්න සෙට් වෙනවා නම්.

“විදුරංග ඇහුවා affair එකක් පටන් ගන්න. මං බෑ කිව්වා. බලන් ඉන්නම් කිව්වා. මං එපා කිව්වා….” මම කෙටියෙන්ම කිව්වා.

“පොර ආයෙත් අහයි….” අපූර්ව කිව්වා.

“මං ආස නෑ අපූර්ව චාටර් වෙන්න. පිස්සු නැටුවට ඕවා පටලවා ගත්තම මළ කරදරේ. Exam ලබන අවුරුද්දේ….”

“දැන් ඔයා මොකද කරන්නේ….?”

“ආයෙත් නෙමේ, එයා සිය පාරක් ඇහුවත් එකම උත්තරේ ඒක…..”

“එකසිය එක්වෙනි සැරේ….?” අපූර්ව අහද්දි මට හිනාගියා.

“දෙනවා හොඳ පොල්ලකින් ඔළුවටම….” මම එහෙම කියන ගමන් දිවුල් එක ඉවර කළා.

“ආ…..” අපූර්ව එයා බිබී හිටිය දිවුල් එක මට දුන්නා.

“ඔයා බොන්න. මට ඇති….” මම ආපහු අපූර්වගේ පැත්තට තල්ලු කළා.

“උගුරක් බොන්න….” අපූර්ව කිව්ව විදියට බෑ කියන්න හිතුනේ නෑ.

“මට Exam ගොඩ දාගන්න ඕන අපූර්ව. මට fail වෙන්න බෑ…” එහෙම කියලා මම තේජා එක්ක ගෙදර ආවා.

නංඟිට අම්මගෙන් ගැලවීමක් නෑ. මං ගෙදර යද්දි අම්මා නංඟිව අල්ලගෙන පාඩම් කරවනවා. කෙල්ල මාව දැක්ක ගමන්,

“අක්කා ආවා….” කියාගෙන ඇවිත් ඇඟේ එල්ලුනා.

“ඔය… ඒ ළමය ගෙට එන්න නෑනේ… මෙහේ… මෙහේ… අක්කා wash දාලා එනකල් පාඩම් කරන්න…..” අම්මා සද්දේ දැම්මා නංඟිට.

“මහන්සිද ලොකු පුතා….?” අම්මා අහද්දි නම් හිතේ අවුල් ඔක්කොම නැතිවෙනවා.

“ගාණක් නෑ අම්මා….”

“Wash එකක් දාගෙන කන්න. අන්න මං පීකුදු හැදුවා. ඔයා ආස නිසා….” අම්මා කියද්දි මං පැනලා අම්මව බදාගත්තා.

“ඔන්න අක්කා කද්දි මං ආයේ කනවා….” චුට්ටි පැන්සල කටේ ගහන් කිව්වා.

“පැන්සල ගන්න කටින්….ඒ පාර ඒක කටේ ගහගන්නවා….” අම්මා ආයේ සැර වුණා.

හිතට කිසිම නිදහසක් නෑ වගේ දැනුනා. නංඟිව අල්ලගෙන නටන්නත් බෑ ඒකි අම්මගේ අත් අඩංගුවේ. බැරිම තැන මම ඇඳට පැනලා කොට්ටේ බදාගත්තා. හම්මේ… දැනෙන සැප. දිව්‍ය ලෝකේ පරාදයි.

“ලොකු පුතා…. call එකක්….” තාත්තගෙ සුමධුර voice එක ඇහුනා.

සැප නින්දට බාධා කරන එකා මොකාද යකූ…??? මොකා වුණත් call කරපු එකාට බැණ බැණ ඇවිත් මම phone එක ගත්තා.

“අඩෝ…. ධාරා… මම තේජා….” අතිජාත මිත්‍රයා වුණත් නිදාගෙන ඉන්න මාව ඇහැරෙව්ව එක හෙළා දකිනවා.

“මං නිදාගෙන බන් හිටියේ. මොන මඟුලක්ද….?”

“ඒ හවස සිරා සීන් එකක් වෙලා බන් town එකේ….” මේකිත් ඕපා දූප factory එකක් වෙලා.

” ඇයි කවුරු හරි ඇඳුම් නැතුව දුවලද….?” ඒ වගේ දෙයක් වුණොත් නම් සිරා සීන් තමා. කොල්ලොන්ගේ වලියක් නම් අතිශය සාමාන්‍යයි. උන් කඩල ඇටේටත් වලි වලට බහින එවුන්නේ.

“කෙහෙල්මලක් නෙමේ බන්. විදුරංගට සූරියකාන්තා බැනලා බන්. Town එක මැද්දෙම දෙසලා හොඳට….”

“ඒ අහවල් දේකටද….?”

“ඒක තමා හිනා යන සිද්ධිය… ඒකි පස්සෙන් එද්දි ඌ උඹෙන් ඇහුවා කියලා. විදුරංගට බැනලා තියෙන්නේ ගෑණු පෙරේතයා කියලා බන්. පව් ඕයි….” තේජා කියද්දි මට හිනාගියා.

“අඩේ… සිරාවටම… අපෝ චාටර් වෙන්න ඇති මහ කුකුළා….” මම කිව්වා.

තේජයි මමයි රටේම තියෙන වල් පල් දොඩවලා phone එක තියද්දි පැය බාගයක් විතර ගිහින්. විදුරංගයගේ මූණ කොහොම තියෙන්න ඇද්ද අරකි බනින කොට. ෂික්.. ෆිල්ම් එකක හොඳම සීන් එක මිස් වුණා වගේ මට ඒක මිස් වුණානේ. කොහෙද අරකිට වලිප්පුව හැදුනනේ ගෙදර එන්න. මම ඕවා හිත හිත කුස්සියට ගියා. නංඟි තාත්තගේ සරමේ ඔංචිල්ලාවක් වගේ හදාගෙන ඒකේ වාඩිවෙලා ඉස්කෝලේ ඕපා දූප කියවනවා.

“තාත්තේ… මොකක්ද ලොකු ළමයෙක් වෙනවා කියන්නේ…?” නංඟි අහද්දි මට හිනාගියා.

අම්මා ගැස්සිලා තාත්තා දිහා බැලුවා. තාත්තා මොකක් කියයිද කියලා මමත් බලන් හිටියා.

“ඇයි චූටි පුතා එහෙම ඇහුවේ…?” තාත්තගේ කට හඬේ නම් කිසිම කලබලයක් තිබුණේ නෑ.

“ඊයේ ඉස්කෝලේ යාළුවෙක් සුදු රෙද්දකින් වහලා අරන් ගියා ලොකු ළමයෙක් වෙලා කියලා…”

මං මතක් කළේ මම ඔය අමාරුවේ වැටුණු දවස. වෙනකල් පුදුම ඇම්මක් තිබුණේ මොකක්ද ඒ සීන් එක කියලා දැනගන්න. වුණාට පස්සේ නම් හිතුනේ ඇදගෙන නෑමක් කියලා.

“ලොකු ළමයෙක් වෙනවා කියන්නේ පුතේ ඔයත් අක්කයි, අම්මයි වගේ වෙනවා කියන එක..” තාත්තා හිමින් සීරුවට කිව්වා.

“ලොකු වුණා කියලා දැනගන්නේ කොහොමද….?” මං හිතුවා වගේම නංඟි ඇහුවා.

“එන්න… මම කියලා දෙන්න….” මං නංඟිට කතා කළා.

ගෑණු ඇස් හයක් අස්සේ තාත්තා අසරණ වුණා වගේ දැනුනා මට.

“තේරෙන විදියට කියලා දෙන්න. ඔයාගේ Bio වලින් නැතුව…” අම්මා හිනාවෙවී කිව්වා.

“ඒක Bio පාඩමක් තමයි අම්මා….” මම නංඟිව ඇදන් කාමරේට යන ගමන් කිව්වා.

“හ්ම්ම්ම්… දැන් මොනාද ඔයාට දැනගන්න ඕනේ…” මං නංඟිව ඇඳෙන් වාඩි කරව ගත්තා.

“ලොකු වුණා කියලා දැනගන්නේ කොහොමද අක්කේ….” පොඩි එකා ඇස් දෙක ලොකු කරන් ඇහුවා.

පොඩි එකාට බොරුවක් කියලත් බෑ. කියන්න විදියක් ඔළුවට එන්නෙත් නෑ. ඒකි මං දිහා බලන් ඉන්න විදිය දැක්කම හිතුනා වැඩේ බරපතලයි කියලා. මම මගේ Bio Text Book එකක් පෙරළලා රූප සටහනක් හොයාගත්තා. ඊට පස්සේ සිංහල භාෂාවේ සරළම වචන ටික එහෙන් මෙහෙන් එකතු කරන් නංඟිට ගෑණු ළමයෙකුගේ ජීවන සංසිද්ධිය කියලා දුන්නා. ඒකි ඉස්කෝලේ පාඩමක් අහන් ඉන්නවට වඩා හොඳට අහන් හිටියා.

“ඉතිං එතකොට රිදෙනවද…බෙහෙත් දාන්නේ නැද්ද…?” කෙල්ල Full serious mood එහෙකින් අහද්දි මට හිනා ගියා.

“ඔව්… ඔව්… දාන්න වෙනවා surgical sprit….” මම කියද්දි කෙල්ලගේ මූණ බෙරිවුණා.

“එහෙනම් මට බෑ ලොකු වෙන්න….” කියන් අඬන් දිව්වේ නැතෑ ආපහු.

“විනාසයි….” මං ඔළුවේ අත ගහගත්තා.

මතු සම්බන්ධයි.

©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

 

[su_button url=”https://thewoman.lk/charika-06/” target=”blank” background=”#dbd6da” color=”#090808″ icon=”icon: reply”]චාරිකා 06[/su_button]

Author

Share