චාරිකා – 08 කොටස

Categories

Share

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.
හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.
කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.
මම මෙහෙම කියන්නම්,
“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”
මම ධරණි චාරිකා

 

මං ඉස්කෝලේදි තේජට ඔය සීන් එක කිව්වා.

උඹ නම් මහ ගෝත කඳක් බන්. ඒ පොඩි එකී දැන් මැරෙන්න හදයි ඕක වුණාම…”

එතකොට ඔය බඩ්ඩ ඕවා මට කියලා දෙන ගානට ඇවිත් ඉඳී. බලපන් තාම ඇඟේ හැටි. රට ඉඳි ඇටයක් වගේ…” ඇත්තටම අපේ නංඟි හෙණ චූටියි. කන එකත් කනවා මදි නොකියන්න. ඒ වුණාට පුළුන් ගොඩක් වගේ. එක හැටියක ඉන්න බැරි දහංගලේ හින්දා වෙන්න ඇති මස් කළඳක් ලියලන්නේ නැත්තේ ඇඟේ.

උඹ මොකට ඒකිට අක්කා වෙලා ඉපදුනාද මංදා. පව් පොඩි එකී….” තේජා කියද්දි මට හිනාගියා.

 

නිවී සැනසිල්ලේ Library එකට වෙලා පොතක් දිග ඇරගත්තා. Library period එකේ ඉන්න ඕනේ එතනනේ. මං තේජා දිහා බැලුවා. ඒකි novel එකක් උස්සන් ඇවිත් කියනවනවා.

උඹ ඔය හොල්මන් පොතක් නේද කියවන්නේ…?” තේජා මං කියව කියව හිටිය පොතට එබුණා.

ඔව් ඇයි….?” මං ඇහුවා.

බලපන්.. අද රෑට ඕකේ ඉන්න පොඩි කෙල්ල උඹව හොයන් එයි…” තේජා හෙණ serious mood එකකින් කිව්වම මට බය හිතුනා. මම එවෙලෙම පොත වහලා දැම්මා.

උඹ ඔය සිරාද කියන්නේ…?” මට මේකිව sure නෑ.

උඹ ඕක කියවලා රෑට නිදාගත්තම ඔය කෙල්ල ඇවිත් නම කියලා අඬගහන්නේ….” තේජා කිව්ව විදියට ඇඟේ හිරි ගඬුත් පිපුණා.

අනේ පලයන් බන් යන්න. උඹේ පච….”

ආ… බලහන්කෝ අද රෑට. ඇවිත්… ධරණි අක්කේ… යන් මාත් එක්ක කිව්වම…” 

පල පල… මං නංඟි එක්ක නිදාගන්නේ….”

ඒක තමා…. රෑට නංඟි චූ දාන්න යන්න උඹට කතා කරන එක ගැන මම කිව්වේ….” කියලා තේජා කියද්දි මම දුන්නා ඌට පුටුවෙන් වැටෙන්න.

මොකද ඔය ළමයි දෙන්නට වෙලා තියෙන්නේ…?” Library එකේ අයිතිකාරි බෙරිහන් දුන්නා.

මම තේජව නැඟිට්ටවන්න විදියක් නෑ ඒකි හිනාවෙවී ඉන්නවා.

නැඟිටපන් බන්. පිස්සෙක් වගේ හිනාවෙන්නේ….” මම බොහොම අමාරුවෙන් ඒකිව ඉස්සුවා. ඇට කටු ගොඩ වුණාට හොන්ඩරයක් විතර බරයි.

Library එකේ අයිතිකාරි අපි දෙන්නා යනකල්ම ඔරවන් හිටියා. එයා නම් මැරුනම හොල්මනක් වෙලා මේකට එනවා sure.

මොකක්ද බන්… පිස්සෙක් වගේ වැටුණම හිනාවෙන්නේ…? උඹ නම් උපන්ගෙයි මැන්ටලයක් බන්….” මම තේජට බැන්නා.

උඹ අරක සිරා ගත්තා නේ… ඒ වෙලාවේ උඹේ මූණේ photo එකක් අරන් පෙන්නන්න තිබ්බේ… කෝච්චියට අහුවුණ සත පහ වගේ. ඒක පට්ට බන්. මට තාම මතකයි…” තේජා හිනාවෙනවා.

අම්මපා මේකි කුඩු ගහලද..? මේ හැටි හිනාවෙන්නේ…” මං කල්පනා කළා.

උඹට පිස්සු හැදීගෙන එනවද…?” මම ඇහුවම ඒකි ආයේ හිනාවෙනවා.

නවත්තහන් බන් ඔය මළ ඉලව් හිනාව. උඹ ගුලි කාලා වගේනේ හිනාවෙන්නේ. ගස් උලමි….” මම තේජගේ කොණ්ඩෙන් අඳින ගමන් කිව්වා.

උඹලා දෙන්නා කොහේ මකබෑවුණාද…? අන්න Bio මැඩම් උඹලා දෙන්නව හොයනවා…” ගිම්හානි අපිව දැකලා බෙරිහන් දුන්නා.

කොහෙද ඒ උත්තමාවි වැඩ සිටින්නේ…?” මම ඇහුවා.

“12B එකේ සිංහාසනාරූඪ වෙලා ඉන්නවා. පල…..” 

ඒ උත්තමාවි හොයන්නේ නම් හොඳකට නෙමේ. මොකක් හරි බාල්දියක් තමයි. මම යද්දි මැඩම් ඉගැනිල්ල පැත්තක තියලා 12B එකේ ලොක්කටම අමතනවා. උනුත් අපිට දෙවෙනි නෑ. මැඩම් මාව දැක්ක ගමන්,

ආ… මේ ආවේ අනික් අණ්ඩපාල කෙල්ල…” කියපි.

ඕන් ඉතිං මැඩම්ලා අපි ගැන හිතන් ඉන්න විදිය. කොච්චර හොඳ අහිංසක ළමයිද අපි. ඒ වුණාට මැඩම්ලා හිතන්නේ අපි නරක සොරු කියලමනේ.

මැඩම් මට එන්න කිව්වේ….?” එයාගේ පිස්සු කතාව අතෑරලා මම ඇහුවා.

පොඩ්ඩක් ඉන්න ධරණි…” කියලා එයා ආයෙත් ලොක්කිට අමතනවා. පන්තියේ එවුන් ටික හිනාවෙවී අහන් ඉන්නවා.

හැදිච්ච අම්මලාගේ නැහැදිච්ච ළමයි….” මැඩම් අන්තිමේට කිව්වා.

ඕනම බැනිල්ලක් අවසානේ මැඩම්ගේ උදාර වාක්‍ය ඒක තමා. එයා මොකක් කිව්වත් අපේ එවුන් සෛලෙකට ගණන් ගන්නේ නෑ. ඒ අපේ හැටි.

නායක හාමුදුරුවෝ පස්සේ සාමණේර හාමුදුරුවෝ දුවනවා වගේ මමයි තේජයි මැඩම් පස්සෙන් දිව්වා. මැඩම් ඇවිදිනවා නෙමෙයි දුවනවා. ඇවිදින්නේ මෙහෙම නම් මෙයා දිව්වොත් කොහොම තියෙයිද කියලා හිත හිත මම ගියේ.

නෝනලා දෙන්නා මොකද මේ දවස් වල කරන්නේ…?” මැඩම් Bio Lab එක ඉස්සරහ මේසේ ළඟ පුටුවක වාඩිවෙන ගමන් ඇහුවා.

මහත්තුරු දෙන්නෙක් හොයනවා…” කියලා කිව්වා නම් මැඩම් හක්කේ ආපු නැති දත් ටික ගලවයි විදුරුමහ පළලා.

විශේෂ දෙයක් නෑ මැඩම්….” තේජා හෙණ වැදගත් විදියට කිව්වා. අනේ අම්මේ මේකි කොහොම මෙහෙම හැසිරෙනවද මංදා. මැඩම්ට යන්න ඇරලා ඒ විදියටම ඇවිදන් ඇවිත්, දැන් ඉන්නවා දෙකට ගණින්න බෑ වගේ. ගල් කිඹුලි.

මේක ලබන වාරේ වැඩක්. ඔක්තෝබර් වගේ. Science Day එක කරමුද දෙන්නා…?”  Bio මැඩම් ඇහුවේ නිකන් රටේ අය වැය වාර්තාව හදමුද වගේ voice එකකින්.

අපි දෙන්නා…?” මම ටිකක් සැකයි මෙයාව.

හරි…හරි මම team එක දෙන්නම්. දෙන්නා මූලික වෙලා වැඩේ කරන්න ඕනේ. පුළුවන්ද…?”

මැඩම් මොනවද දන්නේ නෑ කෑවේ…? තේජා කෙසේ වෙතත් මාව මේකට ගාව ගන්නේ…? එයාට වැඩේ ගොඩ දාගන්න නෙමෙයි අනාගැනීමේ ආසාවක්වත් ඇවිත්ද…? මොකද යහපත් සිහිකල්පනාවෙන් ඉන්න එකෙක්වත් මට නම් ඔය වගේ වැඩක් බාර දෙන්නේ නෑ දෙන්නම එකෙක් නැතිවුණත්…

අපි කරන්නම්….” තේජා පැනලා භාර ගත්තා.

අපි කොරඳ්ඳං තමයි. මේකිට ඔක්කොටෝම වඩා පිස්සුනේ….” මම මටම කියාගත්තා.

මම වැඩේ ප්ලෑන් කරලා දෙන්නම්. දෙන්නා එක්ක මට උදව් කරන්න. ධරණි, invitation එකක් design කරනවද…? ඔයාට චිත්‍ර අඳින්න පුළුවන්නේ….” මැඩම් ඇහුවා.

අහ්හ්… ඒකයි මෙයා මේක මට පටලන්නේ…” මං හිතුවා.

හා….” මම ගොනා සේ ඔළුව වැනුවා.

හොඳ කෙල්ලෝ දෙන්නා….” මැඩම් කියද්දි මට හිතුනෙම මැඩම් කාපුවා දිරවලා නෑ කියලා.

අපේ අන්තිම Science Day එක බන්… ලෙසටම දෙන්න ඕන අනික් එවුන්ට ඇඬෙන්න…” තේජා ඉතිං හීන මවන්න පටන් ගත්තා.

ඕ….ඕ….අනික් එවුන්ට කෙසේ වෙතත් උඹටයි මටයි ඇඬිලා මැඩම්ට එල්ලෙන්න වුණේ නැත්තන් හොඳයි….” මම කිව්වා.

මොකක්ද බන්…උඹ මහ අසුබවාදි කෙල්ලෙක් නේ… Be positive යකෝ…” තේජා මාව තල්ලු කරන ගමන් කිව්වා.

නෑ බන්… O positive  blood group එක. උඹ B positive ද…?” මං අහද්දි තේජා රවලා බැලුවා.

උඹේ blood group එකවත් positive වෙන්න බෑ. කියන්නෙම negative කතානේ…” තේජා රවන ගමන්ම කිව්වා.

ඕන් බලහන්… නිවාඩු කාලේත් ඉවරවෙනවා ඕක හින්දා….සැක්….” මම තේජගේ රැවිල්ල සත පහකට ගණන් ගත්තේ නෑ. ඒ රැවිල්ලට දැන් ඉපදෙන පොඩි එකෙක්වත් බය වෙන්නේ නෑ.

 

මතු සම්බන්ධයි.

©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

[su_button url=”https://thewoman.lk/charika-07″ target=”blank” background=”#dbd6da” color=”#090808″ icon=”icon: reply”]චාරිකා 07[/su_button]

 

Author

Share