මේ ලෝකේ හැම ගැහැනියක්ම වාසනාවන්තයි

Categories

Share

මේ ලෝකේ හැම ගැහැනියක්ම වාසනාවන්තයි, ගැහැනියක් වෙලා ඉපදීමම වාසනාවක්, ඒ අතරින් මම විශේෂයි, නම ලකී නිසා නම් නෙමෙයි. මම විශේෂයි කියන හේතුව කියන්නයි මේ හදන්නේ.

මම විවාහ උනේ නාවික ඉංජිනේරුවරයෙක් සමඟ, විවාහයට දැන් වසර හතකට ආසන්නයි. ඒ කාලයෙන් අවුරුදු හයක්ම මම හිතාගෙන හිටියේ මේ ලෝකේ අවාසනාවන්තම ගැහැනිය මමයි කියලා. පිට පිටම තුන්වතාවක් මගේ මවක් වීමේ සිහිනය බොඳ වෙද්දි පුද්ගලික රෝහලක ඇඳක් උඩ සැමියාගේ උරහිසට ඔලුව තියාගෙන මම මහ හඬින් අඩමින් ඇහුවේ එකම එක දෙයයි,..
ඇයි මම මෙච්චර අවාසනාවන්ත?

මගේ සැමියාට ඒකට දෙන්න උත්තරයක් තිබූනේ නෑ. එයත් හිතුවා මේ ලොකේ අවාසනාවන්තම යුවල අපි කියලා. වෛද්‍යවරුනුත් නිරුත්තර කරමින් කිසිඳු හේතුවක් නැතිවම මගේ මවක් වීමේ සිහිනය ඒ විදියට බොඳ වෙමින් තිබුනා.

2019 වසරේ අවසාන කාලයේදි අපි දෙන්නා තීරණය කරා ස්වභාවධර්මයාට අභියෝග කරමින් දරුවෙක් හදාගන්න තාක්ෂනයේ පිහිට පතන්න. මහා විශාල බලාපොරොත්තු ගොන්නක් හිතේ පුරවාගෙන අපි දෙන්නා අත්වැල් බැඳගෙන ඉන්දියාවට ගියේ මේ සම්බන්ධව ලංකාවට වඩා තාක්ෂනික අතින් ඉන්දියාව ඉදිරියෙන් ඉන්න බව ආරංචි උන නිසයි.

වේදනාකාරී කායික සහ මානසික පීඩාවන් රාශියකට පස්සේ 2020 ජනවාරි 6 වෙනිදා මම මේ ලෝකේ ලස්සනම වචනය අහනවා, Positive.

ඊට හරියටම සති දෙකකට පස්සේ ස්කෑන් පරීෂනයට රෝහලේ ඇදක් මත දිගා වෙලා ඉන්න අතරේ තමයි මම විශ්වාස කරන්නේ මේ ලෝකේ අනිත් හැම කාන්තාවකටම වඩා මම වාසනාවන්තයි, ඒ වගේම මම විශේෂයි කියලා.

බලාපොරොත්තුව උනේ මගේ හදවතට අමතරව තවත් හදවතක ගැස්ම අහන්න උනත් මගේ වෛද්‍යවරිය මගේ අතක් තදින් අල්ලගෙන මට හදවත් දෙකක් ගැහෙන ශබ්දය අහන්න දුන්නා, ඔව් මම නිවුන් දරුවන් කුස දරා සිටි මවක්.

එදා ඉදන් මගේ ජීවිතේ හැම තප්පරයක්ම වෙන් උනේ මේ නොදුටු ජීවීන් දෙන්නා වෙනුවෙන්.

සති 13ක් වෙද්දි කොරෝනා වසංගත අවදානමත් එක්ක මම ලංකාවට එනවා එයාලා දෙන්නාවත් කුස දරාගෙන. ඉනුත් සති හයකට පස්සේ ලංකාවේ මගේ වෛද්‍යවරයාගෙන් මම දැනගන්නවා ඒ පුංචි ජීවීන් දෙන්නා පුතුන් දෙන්නෙක් කියලා.

ඇතෙක් වගේ තනිමන්සල බයක් නැතුව යන්නයි
කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි
සිරිමා බෝ සාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි…

පුතෙක් සමාන වෙන්නේ ඇතෙක්ට කියලා මං අහලා තිබුනා, මගේ කුසේ ඇත් පැටව් දෙන්නෙක්, මට දැනුනේ ඇතින්නකගේ තේජසක්, එදා ඉදන් මම ඇවිද්දේ මහ පොළවට දැනෙන්න බරට අඩි තියලා ඇතින්නක් වගේ. මට මං ගැන ලොකු ආඩම්බරයක් දැනුනා, මම ඇයි මෙච්චර අවාසනාවන්ත කියලා සැමියාගෙන් අහපු මම එයාට කෝල් කරලා කිව්වා මේ ලෝකේ ඉන්න වාසනාවන්තම ගැහැනිය මම කියලා.

2020 අගෝස්තු 21 වෙනිදා මගේ අඳුරු ජීවිතය එලිය කරමින් ඒ ඇත් පැටව් දෙන්නා මේ ලෝකයේ එළිය දැක්කා, දැන් මාස අටකට කිට්ටුයි, අලින්ටයි ලමයින්ටයි නලියන්ටමයි හිත කියනවානේ. මේ ඉන්නේ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම ඇත් පැටව් දෙන්නෙක් තමයි. තප්පරයක් එහා මෙහා බලනකල් ඉදලා නලියන චූටිම චූටි ඇත් පැටව් දෙන්නෙක්.

එයාලාත් එක්ක තනියම ගත කරන ජීවිතය හරි අමාරු උනත් මම හරිම සතුටින් දවස් ගෙවනවා දැන්. ගෙවනවා කිව්වට හරිම වචනේ නම් නොදැනීම ගෙවෙනවා කියන එකයි. ඒ තරම් සුන්දර කාලයක් මම ගත කරන්නේ.

මේ ලොකේ හැම ගැහැනියක්ම විශේෂයි, මවක් වීම සුවිශේෂයි, ඒ අතරින් නිවුන් දරුවන්ගේ මවක් වීම අති විශේෂයි.

ඉතිං අද ඉදන් හැම සතියේම TheWomen.lk වෙනුවෙන් “The Lucky Woman” සෙග්මන්ට් එකත් අරගෙන හැම සතියේම මම ඔයාලා හමුවට එනවා.

මම ලකී වික්‍රමසිංහ, ආදරෙන්. ❤️

Author

Share