අම්මා එහෙමයි උඹව හැදුවේ…

Categories

Share

අන්න මගෙ රං පුතා කියමින්, අම්මා එහෙමයි උඹව හැදුවේ…
සින්න වෙන ගේ උගස නොහිතා, ඒ කාසි නිති ලෙඩට පිදුවේ…
පින්නකට වත් අනේ හසුවෙයි, හිල් වහලෙ යට වියන් සැදුවේ…
යන්න යන ලෝකෙකටවත් උඹෙ, පවින් කෙළ කෝටියක් සිදුවේ…

පෙන්නා යහමග උඹව යැවුමට, දිවා රෑ ඈ පෙරුම් පිරුවේ…
අව්ව නොබලා ගල් කොරියෙ දා, බිඳිති අතරින් හීන මැව්වේ…
පෙව්ව කිරි උඹෙ විස වෙලාදැයි, නිතර කුහුලින් මායි හෙව්වේ…
අයියෙ උඹ ඇගෙ කුසින් ආවද, සැකයි ඒකයි නිතර රැව්වේ…

මැන්නා නම් ඈ හෙලපු කඳුලැල්, සාගරය වුව එයට නතුවේ…
පැන්න පිමි ඈ හදන්නට උඹ, උඹෙ සතුටමයි නිතර පැතුවේ…
ගින්න දැවුනත් කහට උගුරින්, උඹේ කුස පුරවන්න හිතුවේ…
දුන්න කිරි වල ණය ගෙවන්නද, නිතර ගුටි බැට වලින් පිදුවේ…

පැන්න උරහිස අතින් තදකොට, බැරිගාතෙ ඈ මෙහෙය කෙරුවේ…
පෙන්න පෙන්නා ඈට උඹ රෑ හැලියෙ රා ටික නිතර ඉරුවේ…
දන්න දේ මං වැඩිය සෙනෙහේ, ඈ උඹේ පැත්තටයි කිරුවේ…
මන්න පාරින් එහෙව් අම්මව කියාපං කොහොමදැයි මැරුවේ…

Author

Share