21.8 C
New York
Friday, October 7, 2022

Buy now

මේ මගේ කතාවයි -09 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ මන්දිරේක සිරගත වුණා කියන්න නම් පුළුවන්. වතික ස්වාමිපුරුෂයා නොවුණු ස්වාමිපුරුෂයා කසාද සහතිකේට අනුව. මට වතික ගැන හැඟීමක් නෑ. එයාටත් එහෙමයි. හැබැයි මාව බැන්ඳේ ඇයි කියලා මටත් වඩා මගේ ගෙදර අය තේරුම් ගන්න කොට වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි. ඉතිං… දුවත් එක්ක ජීවිතය දිනන “මේ මගේ කතාවයි”
කෙල්ල ගේ අතු ගානකල් මම උයන්න ගත්තා. දහම් කවදත් ආස අල තෙල් දාලා සම්බෝල එක්ක කන්න. ඒත් මම මාළුත් ඉව්වා. කෙල්ලගේ ආසම කෑමක් තමයි සම්බෝලයි මාළුයි බතුයි. ඒ වැඩ අස්සේ phone එක ring වුණා. කෝල් එකක් සේයගෙන්.
“මොකෝ වෙන්නේ..?” සේයා ඇහුවා.
“ඉව්ව මචං….”
“උඹ උයන එකක් නෙමේ බන්…ඊයේ කෙල්ල මොකෝ කිව්වේ…රෑ මං කෝල් කරන්න හිටියේ. අම්මා එක්ක බණ ගෙදරක ගියා බන්. එද්දි රෑ වුණා. ආයේ මං උඹට ගත්තේ නෑ….”
“මං කෙල්ලට කතාව කිව්වා. හිතාගන්න බෑ බන්. ඒකි දහම්ව accept කළා. අද උදෙන්ම නැඟිටලා ගේ සුද්ද කරනවා…පව් බන්….”
“මං උඹට ආයෙත් කියන්නේ නෙතූ උඹ මොනවා කළත් කෙල්ල බලන් ඉන්නේ. ඒක නිසා මොකක් කළත් පරිස්සමින්….”
“මං දන්නවා. මට ඕන කෙල්ල හොඳ තැනක ඉන්නවා දකින්න. මට වුණ දේවල් එයාට වෙන්න දෙන්න බෑ සේයා. පව් අහිංසක කෙල්ල මගේ….”
“උඹට තව වැඩ ඇතිනේ. මම රෑ වෙලා ගන්නම්. අයියාලා එනවා කියලා අම්මා උයනවා. මං තියනවා මචං. බුදු සරණයි….”
“හරි කෙල්ලේ. බුදු සරණයි….”
මම නිකමට සාලේ පැත්තට එබුණා. දුව හරි ලස්සනට මල් වාස් ටික හදලා. එයා නම් ඒවගේ වැඩ වලට හරි දක්ෂයි.
“ෂා…ඔයාගේ වැඩ නම් නියමයි සුදු පුතා…” මං දුවගේ කම්මුල ඉඹින ගමන් කිව්වා.
“මේවා ඉතිං පුරුදු වුණේ ඔයාගෙන්නේ…” කෙල්ල මගේ කර වටේ අතක් දාගෙන කිව්වා.
“යන්න ගිහින් මූණ සෝදන් එන්න…” කියලා මම ආයෙත් කුස්සියට ගියා.
“අම්මා…..” කියාගෙන් දුව කුස්සියට ආවා.
දෙයියනේ කෙල්ලගේ ලස්සන. දුවට කාලෙකට කලින් මහලා දීපු ගවුමක් ඇඳලා කොණ්ඩේ ඔළුව මුදුනට වෙන්න බැඳගෙන. හරිම ලස්සනයි.
“ෂා…කොහෙද ඔය ගවුම තිබුණේ…? මං හිතුවේ ඔයා කාට හරි දීලා කියලා…”
“නෑ… මම ඒ ගවුමට මාර ආසයි… ඔයා wash දාන්නේ නැද්ද…? යන්න යන්න. ලස්සන ඇඳුමක් දාන් එන්න….”
“මාව බලන්න කොල්ලෙක් එන්නෙ නෑ…” කියලා මම හිනාවුණා.
“අහ්…. නැත්තේ මොකෝ… අම්මගේ පරණ පෙම්වතානේ….”
දහම් ආස පාටවල් හරි අමුතුයි. මම මොකක් හරි ඇඳුමක් design කරලා දුන්නම ඒකට පාට දුන්නේ දහම්. එයා තෝරන පාටවල් හරි uncommon. හැබැයි හරිම ලස්සනයි.
දහම් එනවා කිව්වේ එකොළහට විතර. පැය බාගයක්ම තියෙනවා ලෑස්තිවෙන්න. මම washroom එකට ගිහින් හිතේ සතුටටත් එක්ක නෑවා. මට හිතුනෙම මම දකින්නේ හීනයක් කියලා. නාලා කොණ්ඩේ කඩලා දුව වගේම ගවුමක් දාගත්තා.
“Woow මෙයාගේ ලස්සන. උස්සන් යයි අදම….” දුව කියද්දි මම ඇස් පුංචි කරලා එයා දිහා බැලුවා.
“විකාර….”
මමයි දුවයි වාද කර කර ඉද්දි දහම්ගේ වාහනේ Gate එක ළඟ හෝන් කළා.
“අන්න අම්මගේ කුමාරයා වැඩලා… කියාගෙන කෙල්ල දිව්වා Gate එක අරින්න.
දහම් එනකොට මම ගේ ඉස්සරහට ගියා. කෙල්ල දුවගෙන ඇවිත් මං ළඟ හිටගත්තා.
“අක්කයි නංඟියි වගේ…” කියලා දහම් කෙල්ලගේ නළල ඉම්බා. ඒක දැකපු ගමන් මගේ ඇස් වලට කඳුළු ආවා.
දහම් දුවව තුරුල්න් කරන්ම ගෙට ආවා.
“ගේත් අම්මයි දුවයි වගේම ලස්සනයිනේ….”
“අහ්හ්… ඔන්න අද නම් ගේ ලස්සන කළේ මං…”
“ඔව්… ඔව්… අද ඉතිං ඔයා එන නිසා….නැත්තන් තාම නිදි….”
“අම්මගෙම දුවනේ….” කියලා දහම් කියද්දි දුව මට දිව දික් කළා.
“නැතුවත් බෑනේ….යන් මොනා හරි බොන්න….” මං දහම්ට ආරාධනා කළා.
“අම්මා ඔයාටම කේක් හැදුවා…” දුව දහම් එක්ක මේසෙන් වාඩි වෙන ගමන් කිව්වා.
“මෙයා රස බලලා තියෙන්නේ….” මම කිව්වා.
දහම් එක්ක දුව කතා කරන විදිය දැක්කම මට හරි ආස හිතුනා. අවුරුදු ගාණක් තිස්සේ දන්නවා වගේ දෙන්නා කියවනවා.
“මං ටක් ගාලා අරන් එන්නම්…” කියලා දුව එකපාරටම දිව්වා.
“කොහෙද අර දුවන්නේ..?”
“Album ටික අරන් එන්න ගියේ… හරි හුරතල් කෙල්ල….” දහම් තාම කෙල්ල ගිය දිහා බලන් ඉන්නවා.
“ඔන්න මං අරන් ආවා. මේ ඔක්කොම බලන්න නම් අද රෑ වෙනකල් ඉන්න වෙයි….” කියලා දුව එයාගේ පළෙවෙනිම Album එක දිග ඇරන් කියවන්න පටන් ගත්තා.
දහම් මගේ ලෝකේ හිටියා නම් මේ ජීවිතේ කොයි තරම් සැහැල්ලුවෙන් මමයි දුවයි ඉඳියිද කියලා මට හිතුනා. දුව ඇස් දෙක නටව නටව කට රවුම් කර කර පොඩි කාලේ වගේම කියවනවා. දහම් photo බලනවට වඩා කෙල්ල දිහා බලන් හිටියේ.
“අම්මා… බත් එකක් බෙදන් ඇවිත් කවන්න අපිට. Photo බලන්නයි කන්නයි දෙකක් බෑ….” දුව කියද්දි මම ඇස් දෙක ලොකු කරන් එයා දිහා බැලුවා.
දහම් හිනාවෙවී අහක බලාගත්තා.
“හරි…හරි… කාලා ඉවර වෙලා ඉතුරු ටික බලමු….” කියලා මම කෑම කන්න ලෑස්ති කළා.
“අම්මා ඔයා ආස දේවල් ඉව්වේ….” දුව දහම්ට බත් බෙදන ගමන් කිව්වා.
“අම්මට රසට උයන්න නම් පුළුවන් නේද…?” දහම් ඇහුවා.
“ඕ… ඉඳලා හිටලා පරිප්පුවට ලුණු වැඩි වුණොත් මිසක්….” අනේ මේ කෙල්ලගේ කට නම්.
“කවද්ද මං ලුණු වැඩි කළේ…?”
“අහ්හ්… එහෙම වුණාම මම අල පෙත්තක් කපලා දාලා කනවා මිසක් ඔයාට කියන්නේ නෑනේ….”
කන ගමන් දහම් ඉතාලිය ගැන විස්තර කිව්වා.
“ඉතිං අම්මගෙන් පස්සේ ගෑණු ළමයෙක් හම්බුණේම නැද්ද….?” කෙල්ල දහම්ගෙන් අහද්දි මට හිනාගියා.
“අපෝ මොකද නැත්තේ…? ඒ වුණාට එයාලා අම්මා වගේ නෑ. ඒක නිසා හරි ගියේ නෑ….”
“ඔයා අම්මව බැන්ඳානම් මාව හම්බුවෙන එකක් නෑ….” දුව කියද්දි මමයි දහමුයි මූණෙන් මූණ බලාගත්‍තා.
“නෑ ඉතිං මගේ තාත්තා වෙන එක්කෙනෙක්නේ. ඔයාලට වෙන දුවෙක් හම්බුවෙයි….” දුව කියද්දි මට හරි පව් කියලා හිතුනා.
“ඒක එහෙම වුණත් ඒ ඔයාම තමා පුතේ. මොකද එකම අම්මනේ…” දහම් කියද්දි දුව හරි ලස්සනට හිනාවුණා.
“වතික කතා කරන්නෙ නැද්ද…?” දහම් ඇහුවා.
“කොහොමත් මම එහෙන් ආවට පස්සේ කිසිම connection එකක් නෑ. එහෙම තියාගන්න ඕනෙත් නෑනේ….”
“දෙන්නා divorce නෑ…?” දහම් අහද්දි තමා මට ඒක මතක් වුණේ.
“ඔව්…එයා එයාගේ ලෝකේ හොයන් ගියා. මං මගේ ලෝකේ අරන් ආවා….”
“වතික අර ladyව marry කළාද…?”
“මම දන්නේ නෑ දහම්… මං හොයන්න ගියේ නෑ. මට වැඩකුත් නෑ….” මගේ කට හඬ ටිකක් උස් වුණා.
“තරහාගන්න දෙයක් ඇහුවා නම් sorry….”
“නෑ…ඒත් මම වළ දැම්ම මිනී ගොඩ අදින්න ආස නෑ….”
“ඔයා හොඳින් ඉන්නවා නම් ඒ ඇතිනේ….” දහම් කතාව ඉවර කරන්න වගේ කිව්වා.
“මට තාත්තෙක් නැති වුණාට අම්මා මට කවදාවත් අඩු පාඩුවක් කළේ නෑ. හැමදේම මට දෙනවා. ඉස්කෝලේ යාළුවෝ අහද්දි මම කෙලින්ම කියන්නේ මං ඉපදෙන්න ඉන්නකොට මැරිලා කියලා. ආයේ අහන්නේ නෑනේ එතකොට…..” මට දුවව බදාගෙන අඬන්න තරම් දුක හිතුනා. මොන තරම් අසාධාරණයක්ද එයාට වෙලා තියෙන්නේ? මගේ කෙල්ල…මට වතිකව හොයන් ගිහින් මරන්න තරම් තරහක් හිතට ආවා.
“මට ඔයාලා දෙන්නා ගැන සතුටුයි. නෙතූ…මම ඔයාට ඉස්සරත් කිව්වා. වැටෙන්න ලේසියි. නැඟිටින්න අමාරුයි. ඒත් නැඟිට්ටම හිත හයියයි කියලා. ඔයා අමාරුම තැනක ඉඳන් ජීවිතේ අරන් ඇවිත්. සතුටු වෙන්න ඔයා ගැන. ඔයා යකඩ කෙල්ලෙක්. ඔයා, ඔයා වගේම දුවවත් හදලා….ඔයා ආයේ වැටෙන්නේ නෑ. ඔයාව වට්ටන්නත් බෑ….” දහම්ගේ වචන ආයෙත් මාව හැදුවා. ඉස්සර වගේම.
“යන්ද හවස්වෙලා රවුමක් දාලා එන්න….” දහම් ඇහුවා.
“ෂා…නියමයි. කොහෙද යන්නේ…?” කෙල්ල උඩ පැනලා ඇහුවා. ඕන දීපංකරේක රස්තියාදුවේ යන්න තියෙනවා නම් එයාට.
“කොහෙද පුතාට යන්න ඕනේ…?” දහම් අහද්දි කෙල්ල මං දිහා බැලුවා.
“අපි හුන්නස්ගිරි ගිහින් එමු…”
“අම්මා වගේම තමා ආසාවල්. මතකද දවසක් රන්දෙණිගල යන්න ඕන කියලා…” දහම් අපේ සොඳුරු අතීතේ මතක් කළා.
කාලා ඉවරවෙලා දහම් එක්ක හුන්නස්ගිරි යන්න පිටත් වුණා. කෙල්ලගේ කටට නිවනක් නෑ. කියවනවා radio එක වගේ. වතික හිටියා නම් මෙහෙම වෙන එකක් නෑ කියලා මට හිතුනා.
“තේ එකක් බොමුද….?” දහම් පොඩි කඩයක් ළඟ වාහනේ නතර කළා.
“උණු උණු ආප්ප සීනි එක්ක….” කෙල්ල වාහනෙන් බැස්සා නෙමේ පැන්නා.
“අම්මගේ ආසාවල් ඔක්කොම දුවට දීලා වගේ….” දහම් මගේ කණට ළං වෙලා කිව්වා.
හුන්නස්ගිරියට ගිහින් හුළං කපොල්ල ළඟට වෙලා අපි සෑහෙන වෙලාවක් හිටියා. හිතේ තිබුණු දුකත් මේ හුළඟත් එක්කම පාවෙලා යනවා වගේ මට දැනුනා.
“අපි යන් පුතේ. අන්කල්ට ගෙදර යන්න රෑ වෙනවා…” මම කියද්දි දුව එකපාරටම හැරිලා,
“අන්කල්….?” කියලා මං දිහා බැලුවා.
“අන්කල් කියන්න කියලද කියන්නේ…?” දුව ආයෙත් ඇහුවා.
ඇත්‍තටම මොකක්ද කියන්න ඕනේ දහම්ට කියලා මටත් හිතාගන්න බැරිවුණා.
“දුව කැමති දෙයක් කියන්න….” දහම් කියද්දි කෙල්ලට ඇට්ටර හිනාවක් මතුවුණා.
“හා…හා….” හිනාව එක්කම කෙල්ල කිව්වා.
ගෙදර එන ගමන් කොත්තු අරන් ඇවිත් කාලා කෝපි බීලා දහම් යන්න පිටත් වුණා.
“පරිස්සමින් ඉන්න දෙන්නම….” කියලා දහම් අපි දෙන්නගෙම නළලවල් ඉම්බා.
දුව දණගහලා දහම්ට වැඳලා නැඟිටින ගමන්,
“මට තාත්තෙක් ඉඳලා නෑ මෙච්චර කාලෙකට. මං තාත්තා කියලා කාටවත් කතා කරලත් නෑ මෙච්චර කාලෙකට. ඒත් මං කැමතියි ඔයාට තාත්තා කියන්න….” කියලා දුව කියද්දි මාව ගල් ගැහුනා.
“පුතා ඒකට කැමති නම්… ඔයා එහෙම කතා කරන්න. මං ඒකට ඔයාට වඩා කැමතියි….” කියලා දහම් දුවව තුරුල් කරගත්තා.
මට අඬනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න තිබුණේ නෑ. මට දැනුනේ මහා අසරණකමක්.
“ඇයි නෙතූ අඬන්නේ….?” දහම් ඇහුවා.
“මට සමාවෙන්න දහම්. මාවයි දුවවයි ඔයාට වදයක් කරගන්න එපා….”
“මෝඩ කෙල්ල. අඬන්න දෙයක් වෙලා නෑනේ. මට ඔයාව බලාගන්න බැරිවුණා. ඔයාව බලෙන්ම හරි උස්සන් ගියා නම් කියලා හිතුනුවාර අනන්තයි නෙතූ. මං ඔයාව හොයන් කලින් එනවා. ඒත් මට බය හිතුනා ඔයා මාව පිළිගන්න එකක් නෑ කියලා. ඕන දෙයක් වෙන්න කියලා මං ආවේ. මට සමාවෙන්න. ඔයාව අමාරුවේ දාලා මමයි ගියේ. ඔයා හැම දුකක්ම ඉවසන් හිටියා…” දහම් කියන් යද්දි මගේ කඳුළු අළුත් වුණා.
ඇත්ත… මම දහම්ටත් බැනපුවාර අනන්තයි.
“ඔහොම අඬන්න එපා අම්මා. අපිට මොකක්වත් වෙලා නෑනේ….ඇයි මේ…?” දුව මගේ අතේ එල්ලුනා.
“මං යනවා. පරිස්සමින් ඉන්න දෙන්නා….” කියලා දහම් ගියා.
වතිකගෙන් පස්සේ පිරිමි කීදෙනෙක් මං පස්සෙන් ආවද..? ඒත් ඒ කිසිම පිරිමියෙකුට මං ළඟට එන්න මම පොඩිම ඉඩක්වත් තිබ්බේ නෑ. මට පිරිමියෙකුගේ අවශ්‍යතාවයක් දැනුනෙත් නෑ. මම දුව වෙනුවෙන් මගේ ජීවිතේම කැප කළා. ආයේ පිරිමියෙක් මගේ ජීවිතේට ඕනම නෑ කියලා හිතන් ඉද්දි දහම් ඇවිත් ආයෙත් හැමදේම වෙනස් කළා. මොකක් වෙයිද අම්මලා මේවා දැනගත්තොත්…? වතික මොනවා කියයිද..? මගේ ඔළුව ගිණිගත්තා.
©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

Related Articles

Stay Connected

0FansLike
3,518FollowersFollow
0SubscribersSubscribe
- Advertisement -

Latest Articles