මේ කතාව අහන්න ම ඕනි

Categories

Share

ළමා නිවාසයක හැදෙන දරුවන් ගොඩකට මවක් වෙන්නට පියෙක් වෙන්නට හැම කෙනෙක්ටම බැහැ. ඒ වගේම තමන්ගේ දරුවා ලමා නිවසක දරුවන් අතර ගැවසෙන්න ඉඩදීලා සමානාත්මතාවය, අහිමි වීම, හිමි වීම, දරා ගැනීම, තනිව වැඩපල කට ගැනිම, පිලිවෙල ආදී සියල්ලම තම දරුවන්ටද ලමා නිවාසෙ දරුවන් තුලින් ඉගෙන ගන්නට ඉඩ හරින්න කීයක් නම් අම්මලා හිතලා තියේද ?

පාසලේ ලමා නිවාසයක සිට එන දරුවන් අතරින් කෙනෙක් ඔබෙ දරුවාගේ හොදම යාලුවානම් ඔබ මවක් පියෙක් විදියට කෙසේ එය භාරගන්නවාද ? ඔබ දන්නවාද සමහර අවස්තාවන් වලදී “ඔය නිවාස වල උන් ඇසුරු කරන්න එපා.” කියලා කියන මව්පියවරුන් ඉන්නවා.එයද ඇත්තක්. ඒ අතලොස්සක් අතර තම දරුවාගේ කෑම එකට නිවාසේ දරුවාටත් එක්ක වැඩිපුර කෑම යවන අම්මලා ඉන්නවා.

මටත් එහෙම කෑම ගෙනාව යාලුවෝ හිටියා හැම පන්තියකදීම හිටියා. (වෙනසකට තිබ්බේ අපෙන් ඉල්ලුවේ යාලුවෝ ත්‍රීපෝෂ විතරයි😁) .අදටත් අපි ආසයි ඒ යාලුවෙකුගේ අම්මා කෙනෙක් උයපු කෑම එකක රස බලන්න.ඒ තරම් සෙනෙහසක් ඒ කෑම එකක පවා තිබුනා. අද ඉන්නෙ ටිකක් වෙනස් වැඩිහිටියන්ද කියලා හිතෙනවා. නිවාසෙන් එන ලමයි ඇසුරු කරන්න එපා .චාරයක් නැහැ, හරියට හැදිලා නැහැ, කොහෙ කාගේ කවුද දන්නෙ නැහැ. ඒ නිසා වැඩිය නිවාසේ අය එක්ක හාදකම් එපා කියන අයගේ ප්‍රමාණය වැඩි බවක් අසන්නට ලැබුණා. එබැවින් මේ සටහන තබන්නෙමි.

ඔබගේ දරුවා දස මසක් ඔබේ කුසේ උන් සේම මේ දරුවාද පියෙකුට දාව ලොවට බිහි වී ඇත.දරුවාගේ වරදින් නොව සමාජයේ , වැඩිහිටියන්ගේ, මේ සමාජ ක්‍රමයේ අතපසු වීම් මත ආයතනයකට යොමු වී ඇත.ඔබෙ දරුවාට මෙන්ම සිතක් ඇත.හැගීම් දැනීම් ඇත.සතුටට ආස කරනු ඇත.ඔබට ලංව අම්මේ තාත්තේ කියන්නට සිතනවා ඇත. ඔබගේ දරුවා ඔබට තුරුලු හඩද්දි ,නිදාගනිද්දි මේ දරුවන් තනිව එය විදගනී.

උතුම් මව්පිය පදවියට උරුමකම් කියන අම්මේ තාත්තේ , කිසිම දවසක ළමා නිවාසයක දරුවෙක් කොන් කිරීමට ඔබෙ දරුවන් හට උගන්වන්නට එපා.

හැකිනම් කියා දෙන්න ඔබේ දරුවාටත්, මව්පිය සෙනෙහස අහිමි උනත් ජීවිතේ සියලු අහිමි වීම් දරාගැනීමට පුන්චි කාලෙ ඉදන් පුරුදු වෙන,ඇති දෙයින් සතුටු වෙන ළමා නිවාසේ අහිංසක දරුවන්ගෙන් ජීව්තය අත් නොහැර ජීවිතය විදින අයුරු.මේ රටේ සියලුම දරුවන් හට අවැසි වන්නේ ආදරය මිසම සමානාත්මතාවයම මිසම කොන් කිරීම හෝ අනුකම්පාව නොවන බව තරයේ සිහි තබා ගන්න.

පසුවට ලියමි.
එලැඹෙන අවුරුදු සමයේ ඔබේ දරුවා සමග ඉගෙනුම ලබන ළමා නිවාසේ දරුවගේ ළමා නිවහනට යන්න.ඒ මිතුදම සවිමත් කරමින් පවුලක් සිටින බව ඒ දරුවන්ට හැගෙන්නට ඉඩ හරින්න.එයයි අවුරුදු දා නියම සතුට.

Nimmu

Author

Share