චාරිකා – 09 කොටස

Categories

Share

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.
හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.
කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.
මම මෙහෙම කියන්නම්,
“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”
මම ධරණි චාරිකා

 

ඉස්කෝලේ ඇරිලා බස් හෝල්ට් එකට එද්දිම දැක්කේ කුකුළා කූඩුවෙන් පැනලා ඇවිත් ඉන්නවා.

අන්න අරූ කරමලේ දික් කරන් ඉන්නවා…” තේජා කිව්වා.

අම්මපා මට ඕකගේ කරමලේ ගැලවිලා යන්න දෙන්න හිතයි….” මමත් තේජා වගේ දත්මිටි කන්න පුරුදු වෙලා.

මමයි තේජයි සුපුරුදු තැනටම ගිහින් හිටගත්තා. මම වටේ කැරකිලා බැලුවේ මගේ මල්සරා ඉන්නවද කියලා. ඌව මොකෙක්වත් උස්සලද මංදා උදේ බස් එකේ හිටියෙත් නෑ.

අපූර්ව නෑනේ බන්. උදේ ආවෙත් නෑ…” මම තේජා එක්ක කිව්වේ බෙල්ල දික් කරගෙන අපූර්වගේ පංචස්කන්ධය ඇස් වලට අල්ලගන්න try කරන ගමන්.

උඹයි අරුයි ගැලපෙනවා බන්. ඌත් කොරවක්කා වගේ බෙල්ල දික්කරන් නටනවා උඹ එනකල්. උඹ බෙල්ල දික් කරන් නටනවා අපූර්ව එනකල්…අනේ උඹලගේ නල්ලමලේ ලව්… ලව් නෙමෙයි මේවා මළ ඉලව්…” තේජා නාකි ආච්චියෙක් වගේ දොඩවනවා. මූ හීනෙනුත් මට බනිනවද මංදා.

තේජා මොකක් කිව්වත් මම ඇන්ටනාව කරකවන එක නතර කළේ නෑ. කොයි වෙලාවක හරි චැනල් එක අහුවෙයි කියලා මට හිතුනා.

මූ frequency mode එක වෙනස් කරලද බන් චැනල් එක අහුවෙන්නේ නෑනේ….” මට හෙණම අප්සට්.

ඌ වෙන වෑර්ලස් එහෙකට අහුවෙලා ඇති. මොකද frequency mode දෙකක් එකතැන තියෙන්න බෑනේ…” තේජා කියද්දිම අපූර්ව යාළුවෙක් එක්ක ආවා.

ආවා සොයා ආදරේ…” මම තේජගේ කණට කරලා කිව්වා.

පණුවා වගේ නටන්න එපා බන්…” තේජා සැරවුණා. අම්මට හපන් මෙයා.

අපූර්ව මාව දැක්කද නැද්ද කියලා මට ගාණක් නෑ. පොර නතර වුණේ අපේ ඉස්කෝලෙම කෙල්ලෙක් ළඟ. හැබැයි අපේ school bus එකේ නෙමෙයි. 

මේ මොකක්ද මේ සීන් එක..?” මම ටිකක් බලන් හිටියා.

ගයනි එක්ක නේද අපූර්ව කියවන්නේ….?” තේජා ඇහුවා.

හ්ම්ම්ම්…”

අපූර්ව කියව කියව ඉඳලා මං හිටපු පැත්තට එන්නේ නැතුව ආපහු හැරිලා ගියා.

ඒ පාර මේ මොකක්ද මේ වෙන්නේ…? අනේ මංදා බන්…හිටිය විදියට හිටියා නම් එකක්….” අපූර්ව කරපු වැඩෙන් මං හොඳටම අප්සට් වුණා.

හරි…හරි…උඹ මොකක්වත් කරගත්තේ නෑනේ…”

උඹට තේරෙන්නෙ නෑ….” මට ඇඬෙන්න වගේ.

School Bus එක ආවම තේජා මාවත් ඇඳන් නැග්ගා. බස් එකේ පිටිපස්සේ සීට් එක හා ඒ අශ්‍රිත ප්‍රදේශය වෙන් වෙන්නේ බස් එකේ ඉන්න අණ්ඩපාලම කොල්ලෝ කෙල්ලෝ සෙට් එකට. ඒක නියම mix fruit salad එකක්. හැම ඉස්කෝලෙම එවුන් එතන ඉන්නවා. කොන්දොස්තර අන්කල් උන්ගේ සීසන් ඉල්ලන්න යන්නේ නෑ. ඉල්ලුවට වැඩකුත් නෑ. මැද හරියේ ඉන්නේ ඉගෙන ගන්න ඇප කැප වුණ සෙට් එක. දෙගොල්ලොම සෙට් වෙලා papers බලනවා. පාඩම් කරනවා. මෙලෝම රහක් නෑ ඒ area එක නම්. කෙල්ලෝ විතරක් නම් මදෑ. කොල්ලොත් ඉන්නවනේ අම්මපා.

බස් එකේ ඉස්සරහම…ඒක නිකන් පැරීසිය වගේ. Driver අයියගේ සීට් එක ළඟ අනික් පැත්තේ සීට් එකේ ඉන්නේ මාරදූතිකාවෝ තුන් දෙනා. මොකා බස් එකට නැග්ගත් උන් තුන්දෙනාගේ සීට් එකට එකෙක් යන්නේ නෑ. උන් නැති වුණත් යන්නේ නෑ. ඉස්කෝල තුනකින් සෙට් වෙලා ඉන්න ඒ ට්‍රිබල driving උගන්නන්නවා මං හිතන්නේ. Driver අයියත් CTB Driving School එකෙන් ලබා ගත්තට වඩා හොඳ දැනුමක් ලබා ගන්නවා උන් තුන්දෙනාගෙන්.

මමයි තේජයි නිකන් ඕපපාතිකයෝ දෙන්නෙක් වගේ. කොට්ඨාස තුනෙන් එහෙකටවත් අදාළ නෑ. පිටිපස්සේ සෙට් එකට සෙට් වුණත් වැරදිලාවත් මැද හෝ ඉදිරිපෙළට නම් යන්නේ නෑමයි. ඒවා දිරවන්නේ නෑ.

ඈ බන් ආපෝ තේජෝ වායෝ….සිරාවටම මල්සරා කරපු වැඩේ මොකක්ද බන්…?” මම බස් එකේ කණුවකට හේත්තු වෙන ගමන් ඇහුවා.

ඒකි නම් අඟහරු ලෝකෙන් පාත් වුණ එකෙක් වගේ ඔහේ කල්පනා කරනවා. මම තේජගේ කොණ්ඩෙන් ඇද්දා.

මොකක්ද බන් උඹට වෙලා තියෙන්නේ…? මද කිපිලා වගේ…” තේජට නහුතෙට ටිකාක් ළං වෙන්න තද වෙලා.

අපූර්ව ඇයි බන් එරෙහෙම වැඩක් කළේ…?”

ඒක අහගනින් උගෙන්. මං දන්නවද…?” 

පලයං යන්න. ගල් කිඹුලි….”

ඒ අස්සේ සූරියකාන්තා හෙවත් සචිනි මං ළඟට ආවා.

ධරණි… මං මේ හොඳින් කියන්නේ. ඔයා විදුරංගගෙන් ඈත් වෙලා ඉන්න…එයාට exam….” 

මේ මොකක්ද යකෝ මේ කඩන්පාත් වුණ මරාලේ….? මම වටපිට බැලුවා.

දැන් කෝ විදුරංග….?” මම ඇහුවේ පේන තෙක් මානෙක උන්දැ හිටියේ නැති නිසා.

ඇයි විදුරංග හොයන්නේ???” චමත්කා ඇස් දෙක පුංචි කරන් ඇහුවා.

නෑ දැන් ටෝක් එක දුන්නේ ඈත් වෙලා ඉන්න කියලා. මං මේ බැලුවේ මට නොපෙනී ළඟ පාතක ඉන්නවද කියලා. මට එයාට ළං වෙන්නවත් ඈත් වෙන්නවත් ඕන නෑ…එයාට කියන්න මගෙන් ඈත් වෙලා ඉන්න කියලා. නැත්තන් ණයට සීනි කිරන එවුන්ට බත් කන්න වෙන්නේ දත් නැතුව එයාගෙන් දත් ඉල්ලගෙන…ගිහින් කියන්න….” මම සචිනිගේ මෙලෝ රහක් නැති ඇස් දෙක දිහා බලන් කිව්වා.

සචිනිගේ ඇස් වලින් ගිණි පිටවුණා.

පරිස්සම් වෙලා ඉන්නවා….” වගේ එකක් ඒ ඇස් වලින් කියවුණා. මට පාන් ඉතිං.

ධරණී….ඔයා දරුණු වෙලා….” මෙච්චර සීන් එකක් වුණාට පස්සේ තේජා කිව්ව විදියට මට හිනාගියා.

මං තාම දරුණු වුණේ නෑ…” මං හිනාව එක්කම කිව්වා.

අපූර්ව කරපු වැඩේ හින්දත් මට තරහා ගිහින් හිටියේ. ඒක කොහොමත් චමත්කගේ පිටින් ගියා.

චික්…හිතට නම් කිසිම සැනසීමක් නෑ. කෙහෙල්මල් කොළු කේස්. ඔක්කොම පාවෙලා යන්න ඇරලා මං ආයේ මගේ සුපුරුදු track එකට වැටෙන්න හිතුවා. 

ලොකු පුතා… ඔයා මේ දවස් වල පාඩම් කරන්නේ නෑ….” හුටා…අම්මගේ මීටරේට අහුවුණාද ඒක.

මං පාඩම් කරනවා….” මං නංඟිගේ කොණ්ඩේ ගොතන ගමන් කිව්වා.

පොත දිහා බලන් ඉන්නවා කියන්නේ පාඩම් කරන එක නෙමෙයි කෙල්ල….”ගැලවීමක් නෑ වගේ.

ලබන සතියේ Term Test අම්මා….” මළ මඟුලයි…ෂේප් වෙන්න කිව්වට ලබන සතියේ test එක නේද…????

හරි…හරි…පාඩම් කළොත් ඔයාට ලොකූ…” අම්මා පොඩි warning එකක්ද මංදා දුන්නේ.

නංඟිව ඉස්කෝලෙට දාලා බස් හෝල්ට් එකට යද්දිම තේජා ආවා.

ආ…සුදු චූටි…good morning මචං…” කාලේකට පස්සේ දැක්කා වගේ තේජා කෑගැහුවා. රෑ හීනෙන් මේකි මොනවා දැක්කද මංදා.

උඹට තරම් නම් මට morning එක good නෑ…” මම කිව්වා.

සිරා…මොකෝ වුණේ….?” තේජා වෙලාවකට හැසිරෙන්නේ මොංගල් බබෙක් වගේ. ගොඩක්ම එහෙම තමා. මට හිතාගන්න බැරි ඒකි කොහොමද පන්තියේ පළවෙනියා වෙන්නේ කියලා.

මම උදේ අම්මගේ warning seen එක කිව්වා.

ටංටනා…ඒක නම් සුබ නෑ මගේ පුතේ…”

ඔළුවත් එක්ක විකාර වෙලා බන්…සිරාවටම හිතුවොත් මට කොල්ලෙක් නෑ…ඒ වුණාට නැත්තෙත් නෑ වගේ නේ….”

උඹේ මළ සමයං….” තේජා මාවත් ඇදන් school bus එකට නඟින ගමන් කිව්වා.

උදේ පාන්දරම Chemistry. Lab එකට එන්න කියලා මැඩම් පණිවිඩේ එවලා තිබුණා. අන්න ඒක නම් මරු place එක. අනාගත රසායනික විද්‍යාඥයින් බිහිවෙන තැන.

මම තේජා ඇතුළු සෙට් එක කලින්ම ගිහින් මැද table එකට සෙට් වෙනවා. ඒක මරු පොට් එක. මම ඉඳගන්නේ මේසේ side එකෙන්. හතර අතර කැරකෙන්න පුළුවන් එකම තැන.

ලබන සතියේ term test….” මැඩම් ඉතිං උදේ පාන්දර ඕන්නැති එකක් කියනවනවා.

මොනවද මැඩම් paper එකට එන්නේ…?” පෙට්ටි කිකිළි කොණ්ඩේ වන වන ඇහුවා.

මං දන්නේ කොහොමද? මම නෙමෙයි paper එක හැදුවේ…?” මැඩම් දන්නෙම නෑ.

ඔය කිව්වට මැඩම් දන්නවනේ…ඒවම එපා…. ඒවගේ ඒවා අපිට කියන්න..අපි කාටවත්ම කියන්නේ නෑ….” දිල්කා කියද්දි මැඩම්ට හිනාගියා.

හනේ…හරි හොඳ ළමයි ටිකක්නේ…කෝ බලන්න අහිංසක කම…??” මැඩමුත් හිටපු ගමන් පිස්සු කියෝනවා.

මගේ පුරුද්ද තමයි lab එකේ table එකේ තියලා තියෙන chemical බෝතල් වලින් බිංදුව බිංදුව මේසේ උඩට දාලා බලන එක මොකද වෙන්නේ කියලා. එහෙම mix කරද්දි එක පාරම පොඩි දුමක් ආවා. ලොකූ case එකක් නෙමේ.

ධරණි…lab එක ගිනි තියන්නද ළමයෝ යන්නේ…මොනවද ඔය කරන්නේ….?” අහන් මැඩම් ආවා. හරියට මම න්‍යෂ්ටික පිපිරීමක් කරන්න ලෑස්ති වුණා වගේ.

මම ඒක පිහදාන්න යද්දි,
අල්ලන්න එපා ළමයෝ…ඔය කවුරු හරි ලාල්ට එන්න කියන්න…මේ ළමයා නම්…නැඟිටිනවා ඔතනින්….” මැඩම් ලාල්ව බිල්ලට දෙන්න යන්නේ.

ලාල්… ඔය table එක පිහලා දාන්න…” ලාල්ගේ පංචස්කන්ධය දැකපු මැඩම් බෙරිහන් දුන්නා.

ලාල් ඇවිත් කිසි ගේමක් නැතුව ඒක පිහලා දැම්මා. මම ලාල් දිහා බලන් හිටියේ ඒ මිනිහා ඊළඟට දියවෙලා යයිද කියලා බලන්න. අවුලක් නෑ. කොහොමත් මිනිහගේ හැටියට හොඳම acid එකක් වැටුණත් ගාණක් නෑ. මිනිහා කෙලින් ඉන්නවා.

එනවා ඉස්සරහ පේළියට…හැමදාම මොකක් හරි විනාසයක් කරනවා ලැබ් එකට ආවම…” මැඩම් අතීතය වමාරගෙන මට බනින්න ගත්තා. මං කල්පනා කළේ හැදුනු සංයෝගේ මොකක් වෙන්න ඇද්ද දුම් දාන්න තරම් කියලා.

 

මතු සම්බන්ධයි.

 

©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

[su_button url=”https://thewoman.lk/charika-episode-08/” target=”blank” background=”#dbd6da” color=”#090808″ icon=”icon: reply”]චාරිකා 08[/su_button]

Author

Share