චාරිකා – 10 කොටස

Categories

Share

මේ කතාව අතීත කතාවක්. මම ඉස්කෝලේ යන කාලේ. ඒ කාලේ MOBILE PHONE, WHATSAPP, FACEBOOK ඔය මුකුත්ම තිබුණේ නැති කාලයක්.
හැබැයි හරිම සුන්දරයි. ඒ කාලේ CALL එකක් ගන්නවා කියන එකත් හරි ලොකු දෙයක්. ලියුම් ලියලා පොත් අස්සේ දාලා එහා මෙහා වුණ ආදර කතා එමටයි.
කොච්චර බස් ආවත් SCHOOL BUS එකේම එල්ලිලා යන්න තිබුණ ඕනෙකම, තාම එහෙම්මයි. මගේ මුළු ජීවිතේම වෙනස් වුණේ A/L කරන කාලේ. මම ගෙව්වේ සැහැල්ලු ජීවිතයක්.තාමත් එහෙම තමයි. හැබැයි ඒ හැමදෙයක් එක්කම මාත් එක්කම මගේ අම්මා හිටියා. එක එක හැල හැප්පීම් එක්ක ජීවිතේ ගලාගෙන යනවා. ඒත් මම තාම හිතින් ජීවත් වෙන්නේ ඒ සුන්දර පාසල් කාලේ. ජීවිතේ ගොඩක් දේවල් සිද්ධවෙන්නේ එකපාරයි. ඉස්කෝලේ කාලෙත් එහෙමයි. ඒ මතකය අනික් හැමදේටම වඩා සුන්දරයි. ඇත්තමයි.
මම මෙහෙම කියන්නම්,
“සංසාර චාරිකා නිමවෙනා දින තෙක්ම…එනවාද මා එක්ක පදවන්න නෞකාව…”
මම ධරණි චාරිකා

මැඩම් දේශනාව ඉවර වෙලා past paper එකක් ගත්තා. 

ඒ තේජා මං පාඩම් කරලා නෑ බන්…මේ පාර කෙමා ඇනෙනවා මට….” මං මොන කෙහෙල්මලකට Bio කරන්න ගත්තද කියලා හිතුනා.

හරි ෂෝක් මයේ අම්මා…කරගනින්කෝ එහෙම විනාසයක් බලන්න…එල්ලනවා තෝව කකුළ් කෙටි දෙකෙන්…” යකෝ අම්මට හපන්නේ මූ.

මෙහෙම ඉඳලා බෑ අදම මේ දැන්ම ආයේ බහින්න ඕන ගේමට. අපූර්ව යකාට ගියදෙන්. විදුරංග නම් කොහොමත් යක්ස විමානෙකට අහුවෙන්නනේ යන්නේ. ඒක නිසා කමක් නෑ.

තේජා මගේ වගකීම භාරගත්තා. Free period එකක් ආපු ගමන්,

කෝ ගන්නවා බලන්න Chemistry පොත….” තේජා අණ කළා.

ෆූ…මැක්කියෙක් ගිය උඩ.

ආ….” මම පොත තේජට දුන්නා.

මොනවද අමාරු…?” තේජා මගේ Chemistry පොත දිහා බැලුවේ කුණු මාළු කෑල්ලක් දිහා බලනවා වගේ. අනික් පොත් වලට සාපේක්ෂව මම Chemistry පොතට දීලා තියෙන්නේ පහළ තැනක්. පොත පුරාම තියෙන්නේ චිත්‍ර. එහෙන් මෙහෙන් Chemistry තියෙනවා.

මොකක්ද බන් උඹේ මේ පොත..උඹට Chemistry වල ඉලෙක්ට්‍රෝනයක්වත් සළකන එකක් නෑ මේ කරලා තියෙන අපරාධෙට. ඉස්සෙල්ලා පොත පිළිවෙලකට තියාගනිම්. උඹේ බලි කුරුටු ඔක්කොම ඒකේ අඳින්නේ නැතුව….” තේජා දෙහි නෙමෙයි හොඳ අමු ජම්බෝල ගෙඩියක්ම කපනවා.

උඹ බලපන් මගේ  Bio පොත. ඒක සුපිරි නේ…???” මං Bio පොතට නිසි තැන දුන්නා. ඒක එහෙම වෙන්න එපායැ.

ඔව්…ඉතිං…ඒකෙත් රූප සටහන් ටික විතරනේ පිළිවෙලකට තියෙන්නේ. Note එකක් බල්ලෙකුට කියවන්න බෑ….”

බල්ලෝ මොකටද බන් Bio notes කියවන්නේ?? මං අහද්දි තේජා මාව දියවෙලා යන්න බැලුවා බැල්මක්. කියන්න වචන නෑ මට.

මං තොට කිව්වා කියලා හිතාගනින්….” තේජගේ සද්දෙට පන්තියේ සද්දෙත් නතරවුණා. මට හයියෙන් හිනාගියා.

ජෝඩුව වලිද….?” පෙට්ටි කිකිළි ඩෙස් උඩ වාඩිවෙලා කකුළ් දෙක වන වන ඇහුවා.

මේකිව මරලා හංගන්න යන්නේ මං….” තේජා කිව්වා.

ඔන්න මං නම් සාක්කි නෑ….” දිල්හාරා පැන්නා පන්තියෙන් එළියට. පැන්න පාර Bio මැඩම්ගේ ඇඟේ හැප්පුනේ.

මදන විසේ…මදන විසේ….මෙන්න මෙහෙ එනවා පන්තියට. අස්ස කුලප්පුව හැදිලා වගේ දුවන්නේ….” හත් වලාමයි. හරි එක්කෙනාගේ ඇඟේ හැප්පුනේ.

අදාළ පීරියඩ් එකේ නැතුව මෙයා මොකද සම්ප්‍රාප්ත වුණේ කියලා මම බැලුවා.

“Free නේද කට්ටියට….” අහ්… දෙන්න වගේ යන්නේ පෝරියල් එකක්.

නෑ මැඩම්….” කට්ටියට එක හඬින් කිව්වා. Free වුණත් නෑ.

මේ…මේ…. මෙන්න මේ ප්‍රශ්ණ ටික ලියාගන්නවලා….නැටවිල්ල පැත්තක තියලා…” මෙයා නිකන් හදිසි කඩා පැනීමේ හමුදාව වගේනේ.

“Home work ද මැඩම්….?” කොට ජීවිතේ ආශා ඇහුවා.

ඔව්… home work කරලනේ ආවේ…මේ ටිකට උත්තර දැන් ලියන්න….” 

සදා සොත්ති භවංතුතේ… මෙයා විකාර වැඩනේ කරන්නේ…

“Test එකක්ද මැඩම්….?” පෙට්ටි කිකිළි මූණත් සත පහක් කරන් ඇහුවා.

ඔව්…ලියාගන්න…ඉක්මණට….” මැඩම් කියද්දි මට කොණ්ඩේ කපන් මැරෙන්න හිතුනා. අහ්…ඒක කැපුවට මැරෙන්නේ නෑ නේද…? කරුමේ… කරුමේ….

Bio මැඩම් මුළු සිලබස් එකම cover වෙන්න තරමේ ප්‍රශ්ණ දුන්නා. මට නම් ලියනවා තියා පැත්ත බලන්න හිතුන්නෑ.

ධරණී…සක බඹරේ වගේ කැරකෙන්නේ…??? ලියනවා ඉක්මණට….”

කොපි කරන්නවත් නෑ. අනික් එවුනුත් ඇඹරි ඇඹරි ඉන්නවා මිසක් ලියන පාටක් නම් නෑ. අන්න ඒකට තේජා. ඌ කට පාඩම් කරන් ඉන්න ඒව වමාරනවා. 

ලියපං බන්…මොනාද කරන්නේ…??” තේජා ඇහුවා.

ලියන්නේ අහවල් එකක්ද…? මං දන්නේ නෑ….”

උඹ නම් මහ ගොන් බඳින කණුවක්….” කියලා තේජා මට උත්තර ටික කිව්වා.

හොඳ වෙලාවට ඌ මං ළඟ හිටියේ.

මේ හිකනලී… තෝ ඕන දහ අට වන්නමක් නටපන්. හැබැයි exam එහෙම ඇනගෙන එන්න එපා අඬාගෙන…..” මැඩම් papers ටික එකතු කරන් ගියාම තේජා කිව්වා.

මම “හා…” කියලා ඔළුව වැනුවම ආයෙත් රැව්වා. මං අහන්නේ ගෑණු ළමයි ඔහොම රවන්න හොඳද….???

 

දිරියෙන් ඉදිරියට යන්න හිතන් මං බැස්සා පාඩම් කරන්න. මල්සරාගේ දුන්නත් හරියට වැඩ කළේ නැති නිසා මං හිත හදාගත්තා. මං පාඩම් කරන නිසා නංඟිත් මං ළඟින් ඉඳන් පාඩම් කරනවා. හැබැයි ටිකක් වෙලා යද්දි කෙල්ල මේසෙට ඔළුව තියන් නිදි. පව් කියලා හිතෙනවා දැක්කම.
අම්මා ඇවිත් නංඟිව අරන් ගියා කාමරේට.

තව පාඩම් කරනවද ලොකූ…මම කෝපි එකක් හදන්නද…?” අම්මා ආපහු ඇවිත් මගේ ඔළුව ඉඹලා ඇහුවා. මට මගේ ඇත්ත අම්මා මතක් වුණා. එයා වෙන්න ඇති මේ කියලා මට හිතුනා.

එපා අම්මා නිදාගන්න….” මම කට්ට කන එකට එයත් ඇහැරගෙන ඉන්න ඕන නෑනේ.

කොහොම හරි මේක ගොඩ දාගන්න ඕන. නැත්තන් නම් අමාරුවේ කියලා මම හැමවෙලේම හිතුවා.

Term Test තිබුණ සතියෙම ඉස්කෝලේ යනවා එනවා විතරයි. හවස class ගියෙත් නෑ. ඒ සතියෙම අපූර්ව දැක්කෙත් නෑ. මහ කුකුළව දැක්කෙත් නෑ. ඒක නිසා හිතේ සැනසීමෙන් exam ලිව්වා. උන් දෙන්නම මහ කුණාටු දෙකක්.

සෙනසුරාදා උදේ class යද්දි තේජව set වුණේ නෑ. එක්කෝ කලින් යන්න ඇති කියලා හිතලා මම class එකට ගියා. ඒත් මම යද්දි ඒකි නෑ. අනික් එවුන් ටික පිස්සු නට නට හිටියා.

කෝ උඹේ අනික් බාගේ…” මාව දැක්කම මදීනා ඇහුවා. ඒකි මුස්ලිම් වුණාට එහෙම පේන්නේ නෑ. හැබැයි මාර ලස්සන කෙල්ලෙක්.

අනේ මංදා බන්.. මට උදේ set වුණේ නෑ…”

කොහොමද උඹලගේ term test එක…? අපේ නම් පට්ට අමාරුයි බන්. මට එපා වුණා. උඹලගේ paper එක නම් ලේසියි වගේ. මට Bio paper එක හම්බුණා…”

ඇති ලේසියක් නෑ බන්. මට නම් ඔක්කොම ග්‍රීක් වගේ…”

අහ්හ්හ්…මේ විදුරංග අයියා උඹෙන් ඇහුවා නේද…?” මදීනා අහද්දි මම ගැස්සිලා ගියා.

හෑහ්…මූ ඒක පත්තරේටත් දාලද…?” කියලා මට හිතුනා. හැම එකාම ඒක දන්නවනේ.

ඒක විකාරයක් මදී. ඌට පිස්සු…” මම කිව්වා. ඒත් දැන් නවතම තත්වේ ගැන නම් මම මෙලෝ දෙයක් දන්නේ නෑ.

ඒ වුණාට ධරෝ… සචිනි එයාව යාළු කරන් කියලා ඔයා දන්නවද…?” මදීනා මාව update කළා.

හම්මට…එදා මට සද්දේ දාලා ගියේ ඒකයි එහෙනම්. අහ්හ්…මං බය වෙයි ඔය නෑම්බිට.

ලොකු දෙයක් එහෙනම්…දැන් සචිනිට නින්ද යනවා ඇති එහෙනම්…” මම කිව්වා.

ඒ වුණාට විදුරංග අයියා ඉන්නවට ඉන්නවා වගේ. එයා කැමතිම නෑ සචිනිට….” මදීනා කියද්දි මම බැලුවේ මේකි කොහොමද ඔච්චර දේවල් දන්නේ කියලා.

උඹ කොහොමද ඕවා දන්නේ…?” මම අහද්දි මදීනා අමුතු විදියට හිනාවුණා.

ඒක උඹට වැඩක් නෑනේ. මම දන්නවනේ කොහොම හරි…” කියලා ඒකි මාරුවුණේ තව කටින් මොනා හරි පනින්න කලින්.

විදුරංගට ආප්ප තොප්පි යාළුවෙක් නම් නෑ. මදීනා කොහොමද උන්දැ ගැන මෙච්චර update වෙන්නේ…??? කියලා මම හිත හිත ඉද්දි තේජා මතුවුණා අත පය හතර උස්සගෙන.
හැබැයි ඒකිගේ මූණ නම් නිකන් ප්‍රයිවට් බස් එහෙක කොන්දොස්තර අයියා ඉතුරු රුපියල මාටියා ගහපු ලෙවල් එකට ඇවිත්.

උඹ උදේ කොහේ මකබෑවුණාද ගෙම්බියේ…?” මම අහද්දි තේජා අමුතු විදියට බැලුවා.

මකබෑවෙන්න නෙමේ…වැළලෙන්න වෙන්නේ උඹ එක්ක හිටියොත්..”

අන්න…අන්න…wrong talk එපා සුදූ…කෙලින් කියපන් මොකක්ද සීන් එක…?” තේජට මළ පැන්නම හරි දරුණුයි. මං හිතන්නේ සයනයිඩ් එක බෙල්ලේ තියෙන මරාගෙන මැරෙන කොටි හපුයියෙක් ඊට වඩා අහිංසකයි.

අද උදේ උඹේ මල්සරාව හම්බුණා…” තේජා කිව්වා.

හම්මට… ඌ ජීවතුන් අතරෙද…? මං හිතුවේ මැරිලා කියලා…”

උඹ දන්නවද විදුරංග ඌ එක්ක වලියක් දාගෙන කියලා…?” තේජා කියද්දි,

නැහ්… news වලට ගියාද….?” උන් මරාගන්න එක ඉතිං… මට පාන්ද…?

විකාර නෙමෙයි බූරුදෙන….”

ඒ වුණාට මට නම් ආරංචි විදුරංග දැන් සචිනි එක්ක යාළුයි කියලා. මේ තේජා…මං එකක් කියන්නම්… මං ඔය එකෙක්ටවත් කිව්වේ නෑ මං පස්සේ එන්න කියලා. මං එකෙක් එක්කවත් ලව් කරන්න ගියෙත් නෑ. උන්ම අහලා උන්ම මරාගන්නවා නම් මට කරන්න දේකුත් නෑ. කොහේවත් යන හිවල් පාටුවෝ හින්දා ගොන් වැස්සියෙක් වගේ උඹ තප්පුලන්න එපා…” මං කිව්ව එක සැර වැඩි කියලා හිතුනේ තේජා නහය රතු කරන් අඬන්න යද්දි.

අපෝ මේ අඬන්න නම් එපා මීහරකෙක් වගේ. උඹ නෙමෙයි. මමනේ අඬන්න ඕනේ….”

පලයන් යන්න. උඹට මොකක්වත් වෙන්න කලින් බේරගන්න යන මට ගහන්න ඕනේ….”

ඉතිං හත්වලාමේ මං මොකක්ද කරගන්න යන්නේ…?”

උඹ කරගන්නේ නෑ…උඹට කරන්න යන්නේ…ඒක නිසා පරිස්සම් වෙයන්…” තේජා කියද්දි මට හිතාගන්න බැරි වුණා මොකක්ද කඩන් පාත් වෙන්න යන මරාලේ කියලා.

 

 

 

 

මතු සම්බන්ධයි.

 

©නදීශානි බණ්ඩාර දොඩංගොල්ල

 

[su_button url=”https://thewoman.lk/chaarika-09/” target=”blank” background=”#dbd6da” color=”#090808″ icon=”icon: reply”]චාරිකා 09[/su_button]

Author

Share