Thursday, March 28, 2024

Top 5 This Week

Related Posts

මේ මගේ කතාවයි – 03 කොටස

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ මන්දිරේක සිරගත වුණා කියන්න නම් පුළුවන්. වතික ස්වාමිපුරුෂයා නොවුණු ස්වාමිපුරුෂයා කසාද සහතිකේට අනුව. මට වතික ගැන හැඟීමක් නෑ. එයාටත් එහෙමයි. හැබැයි මාව බැන්ඳේ ඇයි කියලා මටත් වඩා මගේ ගෙදර අය තේරුම් ගන්න කොට වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි.
ඉතිං… දුවත් එක්ක ජීවිතය දිනන “මේ මගේ කතාවයි “.
අළුත් අවුරුද්ද ළඟ නිසා හොඳටම වැඩ වැඩි වුණා. ඇඳුම් මහලා ඉවරයක් තිබුණේ නෑ. වැඩ කරන මිනිස්සු ගැන මට දැනුනේ පුදුම දුකක්. ඒත් එයාලා වැඩ කරන්නේ ආසාවෙන්. අවුරුද්දට කට්ටියට හොඳ බෝනස් එකක් දෙන්න පුළුවන් තත්වයක් මට තිබුණා. මම කිව්වා අප්‍රේල් 10 ඉඳන් 17 වෙනකල් නිවාඩු දෙන්නම් කියලා. සේයත් කිව්වේ ඒක හොඳයි කියලා. සල්ලි පස්සෙම දුවලා බෑ. මිනිස්සුන්ට ගෙවල් දොරවල් තියෙනවා. නෑදෑයෝ ඉන්නවා.
“අපිට සතියක් නිවාඩු දෙන එක මැඩම්ට පාඩු නැද්ද…?” අපේ පරණම සේවකයා නිහාල් ඇහුවා. ගෑණු පිරිමි ඇඳුම් දෙවර්ගෙම නියමෙටම මහන්න පුළුවන්. වැඩ හරිම නීට්.
“මට පාඩු වෙන්නේ ඔයාලා මෙතන දාලා ගියොත්. නිවාඩු අරන් ඔයාලා එනවනේ. ඒක නිසා ඒ ගැන හිතන්න එපා නිහාල්. හොඳට කාලා බීලා ඉන්න. ඔය මදැයි අවුරුද්දක් නැහුනා….”
 “බෝනස් එක‍යි පඩියයි දුන්නම මැඩම්ට ලාබයක් තියෙනවද…?” නිහාල් අහද්දි මට හිනාගියා. වෙන එවුන් නම් දෙන ගාණ අරන් යනවා මිසක් ලාබ අලාබ ගැන අහන්නේ නැහැනේ.
 “ඒ හැමදේම හොඳින් නිහාල්. ඒ ඔයාලගේ මහන්සිය නිසා. මම කියලනේ  තියෙන්නේ. මේකේ ලාබය අපි හැමෝම බෙදාගන්න ඕන කියලා…”
 “මැඩම්ට හරියන්නේ ඒක නිසා. වෙන කිසිම තැනක නැති සැපක් අපිට මෙතන තියෙනවා. තේ එකේ ඉඳන් හැමදේම මැඩම් අපිට දෙනවා. මැඩම්ට වරදින්නේ නෑ….” නිහාල් කියද්දි මගේ ඇස් වලට කඳුළු ආවා.
 “මගේ ළඟ වැඩ කරන්නේ මිනිස්සු. සතෙක් වැඩ කළත් මම සළකන්නේ එහෙම තමයි. මට දැනෙන දේවල්මයි ඔයාලට දැනෙන්නේ. අපි හැමෝම මිනිස්සු නිහාල්….” මම ඇස් වල කඳුළු පිහින ගමන් කිව්වා.
 “මැඩම්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ…”
 “ඒක හොඳයි. එතකොට ඒ ටිකත් ඔයාලා එක්කම බෙදාගන්න පුළුවන් මට….” මම කියද්දි නිහාල් හිනාවුණා.
 අවුරුද්දට නිවාඩු දෙන දවසේ හවස මමයි සේයයි tea party එකක් ලෑස්ති කළා. වැඩ කරන හැම කෙනාටම hamper pack එක ගාණේ දුන්නා. හැමෝගෙම ඇස් වල සතුටු කඳුළු. සේවකයෝ සතුටින් තියන එක තමයි හාම්පුතෙකුගේ වගකීම. එයාලා සතුටින් කියන්නේ ඕනම ආයතනයක් දියුණු වෙනවා. සල්ලි හම්බුකරන්න නම් වියදම් කරන්නම වෙනවා. ලැබෙන සතුට ලැබෙන සල්ලි වලට මිල කරන්න බෑ කොහොමත්.
 “කීයක් වියදම් වුණත් නෙත්මි ඒ මිනිස්සු පුදුම වුණ විදිය දැක්කම මට නම් මාරම් fun…” සේයා කිව්වා.
 “සකුනි කියනවා අපි දෙන්නා හොර වැඩ කරන්න නම් කියාපු දෙන්නෙක්ලු….”
 “අපේ income එක හොඳ තත්වෙක තියෙනවා බන් දැන්. අපිව බලාගන්න මිනිස්සුන්ව අපි බලාගත්තා කියලා අඩුවක් වෙන්නේ නෑ…” සේයා කියද්දි මම සේයා වෙනුවෙන් ගත්ත තෑග්ග එයාට දුන්නා.
 සේයා ඇස් දෙක ලොකු කරන් මං දිහා බැලුවා.
 “උඹට පිස්සුද බන්…?” සේයා අහද්දි මට හිනා ගියා.
 දවසක් සයා එක්ක window shopping යද්දි gold watch එකක් දැකලා සේයා හරි ආසාවෙන් ඒක දිහා බලන් හිටියා. ඒත් ගාණ දැක්කම,
 “පිස්සුවක් තියේද බන් ඔච්චර ගාණක් දීලා වෙලාව බලන්න. එක්කෝ phone එකෙන් බලනවා. නැත්තන් පන්සීයට එකක් ගන්නවා…” කියලා හිනාවුණා.
 ඉතින් මම හිතාගත්තා ඒක සේයට අරන් දෙන්න අවුරුද්දට.
 “දෙයියනේ නෙත්මි…ඔයා නම්…” කියලා සේයා මාව බදාගත්තා.
 “උඹ ඕකට ආසයි කියලා මට මතක තිබුණා. ඒකයි අරන් ආවේ….”
 “ඇයි බන් එච්චර ගාණක් වියදම් කළේ? මේ අවුරුදු කට උඩ. මං දන්නවා දැන් මහ ලොකු ගාණක් උඹ අතේ නෑ කියලා…”
 “පිස්සුද බන්…? මං හැම කෙනාටම මොනා හරි දෙනකොට උඹට නොදී පුළුවන්ද…?”
 “හරි ගල් ඉබ්බියේ. එහෙමයි කියලා ආයේ එහෙම මේ ගොන්කම් කරනවා නෙමේ. උඹ කරන්නෙම ගොන් වැඩ. කවදා හැදෙයිද මංදා….” සේයා බැන්නට එයා කොච්චරක් සතුටු වුණාද කියලා මම ඇස් වලින් දැක්කා.
 ඊළඟට තිබුණ ලොකුම යුද්දේ කැවුම් හදන එක. අම්මත් එක්ක එකතුවෙලා ගෙවල් තුනටම කැවුම් හදා ගත්තා. ඒක සෑහෙන කාලෙක ඉඳන් මමයි ලොකු අක්කයි කරන වැඩේ. අම්මටත් ලේසියි.
 හැබැයි ඉතිං හදන්න ගත්ත වෙලේ ඉඳන් quality controllers ලගෙන් තමා බේරගන්න බැරි.
“මේ…හතරදෙනා එක්ක කරුණාකරලා යනවද කුස්සියෙන්. එක එක කකා දුවන්නේ. වැලි පාගගෙන ඇවිත්. කෑම වලටත් වැටෙනවා…” අක්කා සද්දේ දැම්මම කට්ටිය හිමින් මාරු වුණා.
 “දැන් පොඩි එවුන්ට බැන්නට ඔය තුන්දෙනත් එහෙම නේ ඒ කාලේ…අත්තම්මා කොච්චර මට බනිනවද ඔයාලට බනින්න එපා කියලා….” අම්මා කියද්දි මට අත්තම්මව මතක් වුණා. දැන් නම් එයා දිව්‍යලෝකේ ඇති. අපේ අත්තම්මා ඒ තරම් අහිංසකයි. ඒ වගේම පවුලේ අනික් හැමෝටම වඩා මට තමයි ආදරේ. ඒක මම දැනන් හිටියා.
 “පුළුවන්නම් දහම් එක්ක පැනලා යන්න. නැත්තන් ඔයාට අම්මලා කියන කෙනා බඳින්න වෙයි මයේ පුතේ…” මැරෙන්න දවස දෙක තුනකට කලින් මම අත්තම්මගේ කකුළ් අත ගාද්දි කිව්වා.
 “බෑ…සුදු අත්තම්මේ. දහම් එහෙම මාව එක්ක යන්න ආස නෑනේ….”
 “මට ඒ කොල්ලට කතා කරන්න ඕනේ..” අත්තම්මා එහෙම කිව්වට එයාට කවදාවත් දහම්ට කතා කරන්න වුණේ නෑ. ඊට දවස් දෙකකට පස්සේ නින්දෙන්ම මගේ සුදු අත්තම්මා යන්න ගිහින් තිබුණා. කිසිම ලෙඩක් දුකක් නැතුව එයා හරි සතුටින් ඉඳලා මැරුනේ.
 “උදේට චාරිත්‍ර කරලා දවල් කෑමට එහේ එන්න. මහේෂ්ලගේ අම්මලත් එනවා…” අක්කා කිව්වා.
 “රෑට කෑම…?” මම අහද්ද් ඉන්දි හිනා වුණා.
“උදේටයි දවල්ටයි කාලා හිටින්කෝ රෑට කන්න…” අක්කා මුං කැවුම් දවටනෙන් ටිකක් මගේ කම්මුලේ ගෑවා. මාත් ඒකම කළා.
 “ඔන්න පටන් ගත්තා දෙන්නා. පොඩි එවුන් ටික එළවලා මේ දෙන්නා නටනවා මෙතන…” අම්මා සැර වුණා. එයාට කිසි ගාණක් නෑ අපි අම්මලා කියලා. ඕන තැනක අක්කටයි මටයි බනියි එයා නම්.
 “ඉතින් මමද…? මේ අක්කනේ…” මම කිව්වා.
 “කවුරු වුණත් මට කමක් නෑ. පිටි නාස්ති කරන්න එපා…” අම්මා කියද්දි ඉන්දි කට තද කරගත්තා.
 අවුරුදු මේසෙට මේ සැරේටත් මමයි දෝණියි විතරයි. දුව මට බුලත් දීලා වැඳලා පොඩි gift එකක් අතට දුන්නා.
 “මේ මොකක්ද පුතේ…?” කෙල්ලගේ මූණේ දඟ පාට උතුරනවා.
 “දිග ඇරලා බලන්නකෝ ඉතින්….” කෙල්ලට ඉවසිල්ලක් නෑ.
 මම දිග ඇරලා බැලුවා. “Nethmi” කියලා නම ගහපු gold pendant එකක්.
 “කොහෙන්ද ඔයාට සල්ලි…?”
 “ඇයි අම්මා දුන්නු pocket money…ඒවගෙන්…” කෙල්ල ලොකු වැඩක් කළා වගේ කිව්වා.
 “මම සල්ලි දුන්නේ කන්න බොන්නනේ ඔයාට…” මට ඇත්තටම ඒ gift එක ගොඩක් වටිනවා.
 “අම්මා ඉතිං මට කන්න බොන්න දෙන්නේ. කෝ…කෝ…ඕක දාමු අපි මාලෙට…” කියලා කෙල්ල pendant එක මාලෙට දැම්මා.
 “Woow… අම්මිගේ ලස්සන…” කෙල්ලගේ ඇස් දැක්කම මට පව් කියලා හිතුනා.
 “මම මේකට ගොඩක් ආසයි. ඒක හරිම ලස්සනයි….” ඇත්තටම ඒ pendant එක හරි ලස්සනයි.
 දුවටත් මම ලස්සන leather slippers දෙකක් දුන්නා. කෙල්ලගේ මූණේ මලක් පිපුණා වගේ වුණා.
 අපි අක්කලාගේ ගෙදර යද්දි මහේෂ් අයියගේ අම්මලත් ඇවිල්ලා හිටියා. මහේෂ් අයියගේ අම්මා නම් ටිකක් එක විදියක්. මම කිව්වේ අනුන්ගේ කුණු ගොඩවල් හොයන ජාතියේ අම්මණ්ඩි කෙනෙක්. එයාට අහුනොවී කොහොමහරි කට්ටිය එක්කම ඉන්න ඕන. නැත්තන් පරණ කුණු කඳු පිටින් අදින්නේ.
 කරුමේ කියන එක කොහොමත් පස්සෙන් එනව වගේ මේ වයසක උන්දැට මාව මාට්ටු වුණා. සංසාරේ කසාදෙන් ගැලවුණාට වඩා අමාරුයිනේ මේ මඟුලෙන් ගැලවෙන්න.
 “කොහොමද දුව ඉතිං…?” හම්මේ පැණි බේරෙන voice එකකින් පටන්ගත්තා.
 “හොඳින් ඉන්නවා නැන්දේ…වරදක් නෑ…” මම වට පිට බැලුවේ කෙල්ලවත් ඉන්නවද කියලා ගැලවිලා යන්න.
 “අර ළමයා කතා කරනවද..?” වටින් ගොඩින් නැතුව තම්බි කෙලින්ම ගෙට ගොඩ වුණා.
 “මොන ළමයෙක්ද නැන්දේ…?” උන්දැ හරි ළමයෙක් තමයි. පුත්තලම් බූරුවෝ හත් අට දෙනෙකුගේ වයස දැන්.
 “ඔය ළමයා බැඳලා හිටියේ…වතික…වතික…”
 “ගිය මිනිස්සු එක්ක මොන සම්බන්ධකම්ද නැන්දේ….?” මම අහක බලන් කිව්වා.
 “ඒ වුණාට දරුවගේ තාත්තනේ….” කෙහෙල්මල… ඒ ළමයා රෝස කැළෙන් ඇහිදගත්තේ මං.
 “එයාගේ තාත්තා මැරුනේ එයා ඉපදෙන්න කලින් නැන්දේ. ඒක නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ…” කියලා මම කුස්සිය පැත්තට ගියේ ඊළඟට මගේ වචන සෙට් එක එළියට එන්නේ ඔයිට වඩා දරුණු විදියට බව දන්න නිසා. අවුරුද්ද දවසේ කා එක්කවත් රණ්ඩු වෙන්න මට ඕන නෑ.
 බැඳපු පළවෙනි අවුරුද්දෙවත් වතික එක්ක සිංහල අවුරුද්ද සැමරුවේ නෑ. ඒ දවස් වලත් එයා අර ගෑණි එක්ක කොහේ හරි ගියා. ගෙදර වැඩට හිටිය මිනිස්සු එක්ක කිරිබත් උයන් කෑවා. ආව ගිය තැනක මේ මිනිහා මැරිලා කියලා පණිවිඩේ එයි කියලා මම ඒ දවස් වල බලන් හිටියේ. මොන ගෑණිද එහෙම තමන්ගේ මිනිහට වෙනකල් බලන් ඉන්නේ. ඒත් මට එහෙම අනන්ත හිතුනා.
 ඒ කාලේ මාස ගණන් මම ගෙදර ආවේ නෑ. වතිකට හිතුනම ගෙනත් දාලා එයා කොහේ හරි යනවා. අපේ ගෙදර එක රැයක් වතික ඉඳලා නෑ. අම්මලා තාත්තලා එක්ක හරියට කතා කරලා නෑ. මට මැරෙන්න ඕනේ කියලා හිතුන කාලේ තමා අනුකි මාව හොයන් ඇවිත් තිබුණේ. ඊට පස්සේ මට ජීවත් වෙන්න ඕන වුණේ, මට දැනුනා අනුකි මගේ ගැලවුම්කාරි කියලා. තාත්තා වතික වුණාට එයා හැදෙන්නේ මගේ ඇඟ ඇතුළේ. වතික දරුවට ආදරේ නෑ කියලා මම දන්නවා. ඒක නිසා කවදාවත් දරුවා මගෙන් ඉල්ලන්නේ නෑ. ඒක නිසාම මම සතුටින් හිටියා.
 ©නදීශානි බණ්ඩාර

2 COMMENTS

Comments are closed.

Popular Articles