Friday, March 29, 2024

Top 5 This Week

Related Posts

ගැහැනිය කෙළිබඩුවක් ද

මුදල් ඇමැතිවරයා පසුගිය දා ගෙනා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම සහ මත්පැන් අලෙවි සැල්වල සේවය කිරීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමේ ගැසට් නිවේදනයත් සමඟ ම රටේ යළිත් තඩි ගින්නක් ඇවිලී ගිය බව අමුතුවෙන් කිව යුතු නැත.තරුණ ඔබ සමඟ මේ පිළිබඳව පුළුල් සංවාදයක් ඇති කිරීම කාලීන අවශ්‍යතාවකි.

පුරුෂාධිපත්‍ය අතිශය දරුණු ලෙස පවතින ලංකා ජන සමාජයේ මංගල සමරවීර ඇමැතිවරයා ගෙනා මේ යෝජනාව රට වනසන එකක් බව බොහෝ පිරිස්වල මතය බව පෙනී ගිය කරුණකි. එසේම ඇමැතිවරයාට තදබල ප්‍රහාර එල්ල කරමින් දේශපාලනඥයෝ ද කල දුටු කල වළ ඉහගැනීමේ ක්‍රමවේදය අනුගමනය කළහ.

ඒ සමඟ ම කාන්තාවන් අතරින් ද මේ පිළිබඳව පක්ෂව සේ ම විපක්ෂව ද තැන් තැන්වල පුළුල් සංවාද ඇති වූ අයුරු මේ දින කිහිපයේ දී ම අපට දැකගත හැකි විය. බොහෝ දෙනා තර්ක කළේ ගෑනු බොන්න ගත්තම දරුවන්ගේ වැඩ කරන්නේ කව්ද? වෙරි වෙච්ච ගෑනු පිස්සු කෙළින රටක් බවට ලංකාවත් පත් කරන්න මුන්ට ඕන වෙලා. මංගලයාට ඇත්තට ම ඔල්මාදෙ. එකපාරක් ගණිකා වෘත්තිය නීතිගත කරන්න හැදුවා. ඊට පස්සේ සමලිංගික අයිතිවාසිකම් තහවුරු කරන්න හැදුවා. දැන් ගෑනුන්ටත් අරක්කු පොවන්න හදනවා. නොදකිං කියාය. ලංකාවේ සංස්කෘතියට, සදාචාරයට එල්ල කළ මරු පහරක් ලෙස බොහෝ දෙනා මෙය දුටු අතර ජනාධිපතිවරයා එම පත්‍රිකාව අහෝසි කිරීමට පියවර ගැනීමත් සමඟ ඒ ගිනි පුපුරු යම්තාක් දුරට අඩු විය.

සැබවින් ම මංගල ඇමැතිවරයා ගෙනා මේ නව නීතිය පුරුෂාධිපත්‍යය දොහොත්මුදුනෙන් වන්දනාමාන කරන ලංකාවේ උදවියට ගැසූ කනේ පාරක් බව ඇත්ත ය. එහෙත් ඔහු ගෙනා මෙම යෝජනාව වරදක් නොවන්නේ කාන්තාව ගෙයි මුල්ලේ හිරකරන තිරිසන් සංස්කෘතිය සහ සදාචාරය ඉවත් වී රට ඉදිරියට ගෙන යෑමේ දීර්ඝ වැඩපිළිවෙළේ එක් පෙරටුගාමී පියවරක් බැවිනි. රට ගොස් මෙරටට පැමිණෙන කාන්තාවකට ඩියුටි ෆ්‍රී හරහා මත්පැන් මිල දී ගැනීමත්, ලොකු ලොකු නෝනලාට වාහනවලින් බැස සුපර් මාර්කට්වලින් මත්පැන් මිල දී ගැනීමත් තහනම් නොවන්නේ පොත්තේ සුදට දැයි කෙනෙකුට ප්‍රශ්න කළ හැකි ය. ඩියුටි ෆ්‍රී හරහා පිරිමි සනුහරේට පොවන්නට අරක්කු බෝතල් ගන්නා ගැහැනු ඕනෑතරම් දැකගත හැකි ය. එහෙත් ඒ තහනම එතැන දී නම් ක්‍රියාත්මක වනවා අප දකින්නේ ද නැත.

මංගල සමරවීර ඇමැතිවරයා මීට පෙර ගෙනා සමලිංගික අයිතිය තහවුරු කිරීමේ යෝජනාව ද රටේ මහත් ආන්දෝලනයක් ඇති කළ අයුරු අපට මතක ය. සමලිංගික අයිතිය රටක ස්ථාපිත කළ යුත්තේ ඔවුන්ට වන කෙනෙහිළි තුරන් කිරීමට ය. අදටත් ලිංගික විපර්යාසවලට මුහුණ දුන් පුද්ගලයන් අප රටේ නිතර ම විහිළුවට, ගැරහුමට භාජනය වීම මහා ඛේදවාචකයක් නොවේද? ඔවුනට ඇරෙන එක ම දොර සැලුන් දොර වන විට එවැනි අයට සමාජයේ උසස් නිලතල දැරීමට ඇති අයිතිය මේ මුග්ධ සමාජය අහුරා තිබීම මොන තරම් ධීන ක්‍රියාවක්ද? මේ අවි අමෝරන එකකුටවත් ඒ පිළිබඳව හඬ නැඟීමට අවැසි වන්නේ නැත. රටක සදාචාරය රකින ආගමික මරමස්ථාන ඇතුළේ සේ ම දෙවියන් වැඩ සිටින දේවාල පල්ලේ ද සාමණේරවරු, දරුවන් මෙන් ම කාන්තාවන් ද අමු අමුවේ කෙළසන සමාජ වටපිටාවක රටේ සදාචාරය ගැන පාරම්බෑම කොයිතරම් විහිළු සහගතද? සීයාගේ අතින් මිණිපිරිය අමුඅමුවේ දූෂණය වන රටක සමලිංගික අයිතිය තහවුරු කිරීමේ දී සදාචාරයට වන හානිය ගැන පාරම්බෑම හුදු විකට නාඩගමක් නොවන්නේද?

යළිත් මුල මාතෘකාවට පිවිසුණ හොත් අපට සාකච්ඡාවට බඳුන් කළ යුතු අංශ රාශියක් තිබේ. මෙහිදී අප සැලකිය යුත්තේ ගැහැනියට මත්පැන් බොන්න පාර කපනවා කියන පටු ආකල්පයෙන් නොවේ. පිරිමියාට හොඳයි එහෙත් ගැහැනියට හොඳ නෑ කියන වැඩවසම් ආකල්පය මේ රටින් තුරන් කළ යුතු නොවේද?.

ලංකාවේ පිරිමියා මුග්ධයෙකි. කුහකයෙකි. ලිංගික ඊර්ෂ්‍යාකාරයෙකි. එහි කතා දෙකක් නැත. ලංකාවේ හතරකොනේ ගැහැනුන් හා යහන් ගතවී එන පිරිමියා ගෙදර ගෑනිගේ පතිවත ගැන උනන්දු වන විගඩම් සමාජයක ගැහැනිය ගෙයි මුල්ලේ හිරකිරීම නිරන්තරයෙන් ම සිදුවන්නකි. එය කිසිසේත් ම අනුමත කළ නොහැකි සාපරාධී අපරාධයකි.

වෙනත් රටවල කාන්තාව රටේ ආර්ථික වර්ධනයට සක්‍රීයව දායක වෙද්දී ලංකාවේ ගැහැනිය දරුවන් වදන ලිංගික මැෂිමක් ලෙස සිතා කටයුතු කරන මේ ධීන සමාජ ආකල්පය අප සුන්නද්දූලි කළ යුතු ය. පිරිමියාට හොඳයි ගැහැනියට නරකයි කියා දෙයක් රටක තිබිය යුතු නැත. ගැහැනියට නරක දේ පිරිමියාට ද නරක විය යුතු ය. පිිරිමියාට හත් අවලමේ යෑම වරදක් නැත. එහෙත් ගැහැනියට වෙනත් පිරිමියෙකු දෙස බැලීම පවා සහගහන අපරාධයකි. අද බොහෝ දක්ෂ කාන්තාවන් ගෙයි මුල්ලේ හිර වී ඇත්තේ මේ ඊනියා සදාචාරවත් සුචරිතවාදී පුරුෂාධිපත්‍ය රජයන සමාජ ක්‍රමයට පිංසිද්ධ වන්නට ය. උසස්පෙළ විශිෂ්ට ලෙස සමත් වී සරසවි වරම් ලබන්නේ ලංකාවේ පිරිමි පාර්ශ්වයට වඩා ගැහැනු පාර්ශ්වය ය.විද්‍යාපීඨයට තේරෙන්නේ ද එලෙස ම ය. ලංකාවේ පිරිමින්ට වඩා බහුතරය සිටින්නේ ද කාන්තාවන් ය. එහෙත් ගැහැනියට කිසිදා මේ සමාජය සමතැන තියා නිසි තැනවත් ලැබී ඇත්දැයි යන්න ප්‍රශ්න සහගත ය.

ගුරුවරියන්ට වඩා සිටින්නේ ගුරුවරුන් ය. හෝටල්වල සූපවේදිනියන්ට වඩා සිටින්නේ සූපවේදීන් ය. ලංකාවේ ප්‍රධාන සූපවේදී තනතුර හොබවන කාන්තාවක සිටින කිසිඳු හෝටලයක් තිබේදැයි ඔබ අසා ඇත්ද? එසේ ම අඩුම තරමේ නම් දැරූ නර්තන ශිල්පිනියන් මේ රටේ ඉන්නේ කී දෙනාද? එතැනත් අරක් ගෙන ඇත්තේ නර්තන ශිල්පීන් විනා ශිල්පිනියන් නොවේ. සැලුන්වල තත්ත්වය ද මෙයයි. රටේ සියලු දේ අයිතිකරගෙන ඇත්තේ කුහක පිරිමි සනුහරේ ම පමණි.ඉන් ඇබින්දක් ගැහැනියට හිත සැනසීමට දී ඇත.එය පිරිමියා මස් වැදැල්ල කා ගැහැනියට ලෙවකෑමට මස් කටුව විසිකිරීමක් හා සමානය.

මේ අයුරින් බලද්දී ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑර ම ගැහැනිය මස්තබාල්දු කෙළි භාණ්ඩයක් බවට පිරිමියි විසින් පත්කොට හමාර ය. කාන්තාවගේ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමටවත් අපට අද හැකි වී නැත. හැකියාවක් තිබුණ ද එය කිරීමට පිරිමියා අධික බියකින් පසු වන බව නම් නිසැක ය. නිදි යහනේ සුරාන්තය ලබන ලිංගික භාණ්ඩයක් ලෙස ගැහැනිය සලකන තිරිසන් සමාජ ක්‍රමය මේ රටින් අතුගා දැමිය යුතු ය. බස්රියේ දී, දුම්රියේ දී අංග ජාතකය තෙරපවන්නට යොදා ගන්නා කෙළි බඩුවක් ලෙස ගැහැනිය පත්කරගෙන සිටින සියලු පිරිමින් ඇමැති මංගලගේ යෝජනාව හේතුවෙන් විළිරුදාව සෑදී දඟලන්නට හදන්නේ උන්ගේ අමනකම නිසා මිස වෙන කෙන්ගෙඩියකට නොවන බව මාගේ පෞද්ගලික මතයයි.

මේ මුග්ධ මිනිසුන් හමුවේ කාන්තාවට සැබෑ නිදහසක් බුක්ති විඳිය හැකි සමාජයක් ගොඩනැගේවි දැයි සිතීම පවා උගහට ය. එය කන කැස්බෑවා විය සිදුරෙන් එළිය බලනවාට වඩා අභව්‍ය ක්‍රියාවකි. ඉතිං කාන්තාවනි, සටන් කරන්න. නැඟී සිටින්න. අරක්කු බොන්න නොව, පිරිමින්ට හොඳ ගෑනුන්ට නරක නීති පනවන මේ නිහීන, බෙලහීන සමාජ ක්‍රමය පෙරළන්න. සාම්ප්‍රදායික ඔලමොට්ටල පුරුෂාධිපත්‍ය පෙරළා දමන්න. ලංකාව ජයග්‍රාහී මාවතක ගමන් කරවන්නට. ඔබේ නිහඬ බව, ඔබේ පසුගාමී බව හමුවේ වීරයන් වෙන පිරිමි බහුතරය ඔබ නැගී සිටි විට නගුට පශ්චාත් භාගයේ හිරකරගත් සුනඛයන් ලෙස හිස් ලූලූ අත දුවන බව ඒකාන්ත ය. ඔබේ ඒ ජවය පෙන්විය යුත්තේ ඔබව තලා පෙලන පිරිමියාගේ ධීන බව පෙරළන්නට මිස රටේ සුජාත යැයි පාරම්බාන සංස්කෘතියවත් සදාචාරයවත් වනසන්නට නොවන බව එවිට උන්ට ඒත්තු යනවා නිසැක ය.

අදහස
ප්‍රබුද්ධි රණසිංහ

Popular Articles