මේ මගේ කතාවයි – 01 කොටස

Categories

Share

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ මන්දිරේක සිරගත වුණා කියන්න නම් පුළුවන්. වතික ස්වාමිපුරුෂයා නොවුණු ස්වාමිපුරුෂයා කසාද සහතිකේට අනුව. මට වතික ගැන හැඟීමක් නෑ. එයාටත් එහෙමයි. හැබැයි මාව බැන්ඳේ ඇයි කියලා මටත් වඩා මගේ ගෙදර අය තේරුම් ගන්න කොට වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි.
ඉතිං… දුවත් එක්ක ජීවිතය දිනන “මේ මගේ කතාවයි “.
 
දෝණිව ගන්න යන්න අදත් පරක්කුයි. අදත් මූණ එල්ලගෙන ඇති දණිස් දෙකට යනකල්. ඔෆිස් එකේ දාහක් ප්‍රශ්ණ විසඳලා
එන්න එපැයි. කිව්වත් වගේ කෙල්ල ඉන්නවා ඉස්කෝලේ බංකුව උඩ වාඩිවෙලා මූණ දෙක කරන්. මම කාර් එක ඉස්කෝලේ
Gate එක ළඟටම අරන් හෝන් කළා. කෙල්ල දන්නවා කාර් එකේ සද්දේ. ඔළුව හිමින් උස්සලා බලලා ඇවිත් නැග්ගා නෙමේ
පැන්නා කාර් එකට.”ඔය දැන් අම්මා එක්ක තරහා වෙලාද…?” මම දෝණිගේ ඔළුව ඉඹින ගමන් ඇහුවා.ම්හු… කතා නෑ. නටලා නටලා ඔළුවෙන් දාඩිය බේරෙනවා. එක අතකට කෙල්ලට තරහා එන එක සාධාරණයි. පුළුවන් ඉක්මණට
ගෙදර යන්න බලන් ඉන්න හැමදාම වගේ මම පරක්කු වෙනවා. උදේ පාන්දර නැඟිටන් ඉස්කෝලේ ඇවිත් හවස් වෙනකල් ඉන්න වුණාම එපාවෙන එකත් හරි ඉතිං.”තරහා වුණාට කමක් නෑ. ගෙදර යනකල් මේක කන්න…” කියලා මම දෝණි ආසම චීස් කේක් කෑල්ලක් දුන්නා. එතකොට නම් මල්
හිනාවක් ගියා කෙල්ලට.”අද රෑට මොනාද කන්නේ අපි දෙන්නා…??” මම ඇහුවේ කෙල්ලගේ මූඩ් එක වෙනස් වෙලා කියලා දැනුන නිසා.”රොටී කමු. සීනී සම්බෝලයි පරිප්පුයි එක්ක…” ඒ තමා කෙල්ලගේ ආසම කෑම වට්ටෝරුව.”ම්ම්ම්…සීනි සම්බෝල නම් ඇති ගෙදර හදපුවා. ගිය ගමන් ඔයා Wash එකක් දාගන්න. මම ටක් ගාලා කෑම හදන්නම්…””මම පරිප්පු එක හදන්නම්. හෙට ඉස්කෝලේ ගෙනියන්නත් එක්කම…”

“හා… හා… ඒකත් ඉතිං අමුතුම පරිප්පුවක්නේ ඔයා උයන්නේ…” මම හිනාවෙවී කිව්වා.

“ආ… ඒක රස නැද්ද…?” දෝණි එකපාරම ඇහුවා. “රසයි…රසයි…කවුද නෑ කිව්වේ…?”

ඇත්තටම දෝණිට රසට උයන්න පුළුවන්. මම උයන වෙලාවට ඇවිත් එයාට හිතෙන දේවල් හදනවා. නම් දාගෙන අපි ඒවා
කනවා. කොහොමවුණත් හරි රසට එයා උයනවා.

දෝණිගේ menu එකට රෑ කෑම කාලා කෝපි කෝප්ප දෙකකුත් හදන් බිව්වා දෙන්නා. දෝණි රෑ එකොළහ විතර වෙනකල් පාඩම්
කරනවා. ආයේ පාන්දර නැඟිටිනවා. A/L කරන්න තව අවුරුද්දක් තිබුණත් එයාම කාලසටහනක් හදන් පාඩම් කරනවා.

ගෙදර වැඩ ටික ඉවර කරලා කුස්සිය අස් කරලා Wash එකක් දාගෙන ඇඳට එද්දි හොඳ පණ ගිහින්. ඒත් දුව පාඩම් කරනකල් කොහොම හරි නැඟිටලා ඉන්නවා.

“අම්මා නිදාගන්න. මට තනියක් නෑ අනේ…” මම නිදි කිරද්දිදෝණි කියනවා.

“හරි කමක් නෑ.. මම ළඟ ඉන්නම්කෝ….” කොහොමත් කෙල්ල තනියම දාලා ගිහින් නිදාගන්න හිතක් නෑ.

“ඔන්න අද හවස නම් පරක්කු වෙන්න එපා. මට බෑ අර අටමඟල් ක්ලාස් එකට වෙලා ඉන්න…” උදේ ඉස්කෝලේ ළඟින් දෝණිව
බස්සද්දි කිව්වා.

“මට එන්න පරක්කු වෙයි නම් මම කාර් එක එවන්නම්. ඔයා එන්න office එකට…” කොහොම වුණත් හවස් වරුව ෂුවර් නැති නිසා මම කිව්වා.

“අනේ අම්මේ…”

“අපෝ…මූණ නම් බෙරි කරගන්න එපා උදේ පාන්දර. මම එන්නම් කොහොමහරි…”

දෝණි ගේට් එකෙන් ඇතුළට යනකල් බලන් ඉඳලා මම Office එකට ආවා. මම Fashion Designer කෙනෙක් විදියට
වැඩ කරන්නේ. මමයි මගේ පොඩි කාලේ ඉඳන් හොඳම යාළුවා සේයා එක්ක අපේම Fashion Designing House එකක්
පටන් ගත්තා. හැම විදියෙම ඇඳුම් අපි Design කරනවා. මහනවා. ගොඩක් වෙලාවට Customer  ළඟ ඉද්දිම අපි ඒ වැඩේ කරලා දෙනවා. ඒ වැඩේ ටිකක් අමාරු වුණත් අපි දෙන්නට හොඳ Team එකක් ඉන්නවා. ඒක නිසා මොන අමාරු වැඩේ වුණත් අපි කරනවා.

මම Office එකට යද්දි සේයා ඇවිත්.

“Good Morning නෙත්මි….මොකෝ ඊයේ කෙල්ල…??” මම යද්දිම සේයට කියලා ගියේ දෝස්මුරයක් තියෙයි කියලා.

“ෂේප්…ෂේප්… චීස් කේක් කෑල්ල හින්දා…රෑත් රොටී ඕනේ කිව්වා. හදලා දුන්නා…අද නම් හැබැයි පරක්කු වෙන්න එපා කියලා උදෙන්ම කිව්වා…”

“අද ක්ලාස් නේද..? කොහොමත්  ක්ලාස් ඉවර වෙද්දිම ගන්න යන්න. රෑ වෙද්දි කෙල්ලට බය හිතෙනවත් ඇති…” සේයා කිව්වා.

“ඔව්… අද නම් යන්න ඕනේ. නැත්තන් කෙල්ලත් මාව දාලා යයි…” මම හිනාවෙවී කිව්වා.

“උඹ කොහොම කිව්වත් උඹට වතිකව අමතක කරන්න බෑ නේද නෙත්මි…?”

“මම තනියම හිටියා නම් එහෙම වෙන්න තිබුණා සේයා. ඒ වුණාට කෙල්ල වතිකගේ කපාපු පළුව. ඇස් දෙක වතිකගෙමයි. ඉතිං
කොහොමද බන් මම අමතක කරන්නේ…??”

“මට තේරෙනවා නෙතූ…උඹ විඳවන තරම්…”

වතික….අම්මා තාත්තා අක්කා මල්ලි ජීවිත හතර එකතුවෙලා මගේ ජීවිතේට උරුම කරපු කරුමේ තමයි ඒ. එක අතකට ඒ
මිනිස්සුන්ට කරන්න දෙයක් නෑ. ඒක මගේම කරුමේ.

“මිස්… අද Appointments තුනක් තියෙනවා. එකක් Bridal  එකක්. ඒක Going Away. Homecoming ඔක්කොමත් එක්ක…” අපේ
Secretary  සකුනි ඇවිත් කිව්වා.

“හරි සකුනි. එයාලට කෝල් කරලා රිමයින්ඩ් එකක් දෙන්න වෙලාව ගැන. ආවම මට කියන්න. බලන්න ඊයේ හවස Saree Jacket එකක් දීලා ගියා අද හවස දෙක වෙද්දි ඕනේ කියලා. ඒක කොහොමද කියලා බලන්න. මේ මිනිස්සු අපි කරනවටම අන්තිම
තත්පරේට ගෙනත් දෙන්නේ.මොකක් හරි Time Limit එකක් දෙන්න ඕනේ….” මම කියද්දි,

“මම ඕක උඹට කලින්ම කිව්වනේ. හදිස්සි වැඩ භාරගන්න එපා. Fit-On නැතුව අරන් ගිහින් මොකක්
හරි අවුලක් වුණොත් එහෙම ඔක්කොම ඉවරයි….” සේයා කිව්වා.

“මම කියලා තියෙන්නෙ Fit-On නැතුව ගෙනියන්න දෙන්නෙ නෑ කියලා. අවුලක් තිබුණොත් එවෙලෙම හදලා දෙන්න පුළුවන්නේ…”

“ඒ වුණාට එපා බන් එහෙම Risk එකක් ගන්න…”

සේයා හොඳ Business Partner කෙනෙක්. හැමදේම ගැන හොඳට හොයලා බලන කෙනෙක්. මිනිස්සුන්ගේ ප්‍රශ්ණ විසඳන්න කියාපු
ගෑණි. මගේ ජීවිතේ ප්‍රශ්ණ කන්දරාවටම උත්තර දුන්නේ සේයා. මම මගේ එකම අක්කට වඩා සේයව විශ්වාස කරනවා.

“මේ…ජූලි වල අර Fashion Designing  Exhibition එක තියෙන්නේ. උඹට මොකක් හරි idea එකක් තියෙනවද…?” සේයා මතක්
කළා.

“අපි fancy dress එකක් කරමු. Peacock colors use කරලා…” මම හරි ආසයි මොණරගේ තියෙන color combination එකට. ඒක හරි අමුතු ලස්සනක් තියෙන්නෙ.

“ඒක නම් මරු. අපි කෙල්ලට එකක් කරමු….” සේයා කිව්වේ මගේ දෝණි ගැන.

“අෆ්ෆා. උඩ පැනලා එයි. ඒකටත් මොකක් හරි සුකුරුත්තමක් ඇඳගෙන නටන්න තියෙනවා නම් ඊට එහා දෙයක් නෑ…”

මං හින්දම වෙන්න ඇති, කෙල්ල හරි ආසයි ලස්සන ලස්සන ඇඳුම් අඳින්න. කඩෙන් ගන්නවට වඩා එයා ආස මම මහලා දෙන ඒවා
අඳින්න. මම, දුව, සේයා අපි තුන්දෙනාම වෙලාවකට එකම වගේ ඇඳුම් ඇඳන් එහේ මෙහේ යනවා. දකින මිනිස්සු හිතන්නේ
අක්කලා නංඟිලා කියලා. කඩෙන් ගන්න වෙන ඇඳුම් ප්‍රමාණය අපිට හරි සීමිතයි. අළුතෙන් එන fashion ගැන දුව හරි උනන්දුයි.
එයාගේ hobby එක තමයි ඒවා මට හොයලා දෙන එක. රෙදි ගේන්න කොළඹ යද්දි දුවට නම් එන්නම ඕනේ.

“කෙල්ලගෙන් අහන්න. එයා දෙයි එකට දාහක් දේවල්…” සේයා දෝණිට හරි ආදරෙයි.

“පව් බන් කෙල්ල. ඔහේ මාත් එක්ක ජීවත් වෙනවා…”

“උඹ කිසි අඩුවක් කරන්නෙ නෑනේ. හැමදේම එයාට ඕන විදියට එයා ආස විදියට උඹ දෙනවා නම් වෙන මොනාද…?”

“කෙල්ලට තාත්තෙක්…?” මම කියද්දි සේයා රවලා බැලුවා මං දිහා.

“කෙල්ලට නෙමේ. මට පේන්නේ උඹටයි ඕන වෙලා තියෙන්නේ…” සේයා කියද්දි මට හිනාගියා.

“එහෙම කෙහෙල්මලක් නෙමේ බන් මම කියන්නේ. ඒකි කිව්වේ නැති වුණාට තාත්තා නැති අඩුව දැනෙනවා ඇති. මට දුකයි ඒක
ගැන…”

“නෙත්මී… මේ අහපං බන් ගෑණියේ….” සේයා බනිනකොට හරි ෂෝක්.

“මේ රටේ දාහක් ළමයි ඉන්නවා ජීවිතේට තාත්තා දැකලා නැති. තව එවුන්ගේ තාත්තා කවුද කියලා කොහොමත් දන්නේ නැති…උඹේ කෙල්ලට ඒ මුකුත් නැති වුණාට තාත්තා මැරිලා කියලා ඒකි හිත හදාගනී. උඹ ඒ කෙල්ලගේ ඔළුව අවුල් නොකර ඉන්නවද…?”

“මම මුකුත් කියන්නේ නෑ බන් යෝදියේ. මම කිව්වේ මට හිතුන දේ. උඹට මොකක්වත් කියන්න බෑනේ. මැද්දෙන් පනිනවනේ…”

“මැද්දෙන් තියා කොහෙන්වත් මට පනින්න ඕන නෑ. මෝඩයෙක් වගේ හූල්ලනවා බලන් ඉන්න මට ඕන නෑ. ඒකයි කිව්වේ. වසු පැටික්කි…” සේයා මට හරී ආදරෙයි.

After school මොනවත් නැති දවසට තාත්තා හරි අම්මා හරි ඇවිත් දුවව එක්ක යනවා. මම office ඇරිලා ගෙදර යනවා දුවව ගන්න. මම යන ගොඩක් දවසට දුව නිදි.

“අනුකි නිදිද අම්මේ…?” කියලා මම ගෙට ගියා.

“අද නම් කාපු ගමන් ඇඳට වැටුණා. ඔහොම හිටපුදෙන්. ඔයා උදේට ඇඳුම් ටික අරන් එන්න. ඇහැරවන්න එපා…” අම්මා දෝණිට
හරි ආදරෙයි.

“එක්ක යන්නම් අම්මේ. නැත්තන් එයාම මට කෑගැහයි එක්කන් ගියේ නෑ කියලා. එයා පාඩම් කරනවනේ රෑ තිස්සේ..” මම
කාමරේට යද්දි කෙල්ල පස්ස උඩදාගෙන නිදි.

දෝණි හරි ලස්සනට හුස්ම ගන්නවා. මොකක් හරි හොඳ හීනයක් දකිනවා ඇති. ලස්සන හිනාවකුත් මූණේ ඇඳිලා. කොල්ලෙක්වත් දකිනවද මංදා. වයසත් හරි නෑනේ.

“චූටි මැණික…නැඟිටිමු පැට්ටෝ. අම්මා ආවා. අපි යන් ගෙදර…” මම දෝණිගේ මූණ ඉඹින ගමන් කිව්වා.

කෙල්ල ඇස් ඇරලා ආයෙත් වහගත්තා.

“හොර කෙල්ල…යන්… යන්….” මම දෝණිව උස්සගන්න හැදුවා.

“දෙන්නම කාලා යන්න. අන්න මම තෝසේ හැදුවා…” අම්මා කියද්දි කෙල්ල ඉද්ද ගැහුවා වගේ කෙලින් වුණා.

කාලා බීලා අම්මලාගේ ගෙදරින් එද්දි රෑ අට විතර වුණා.

“අද නම් පාඩම් බෑ අප්පා. නිදාගන්න ඕනේ…” දුව කාරෙකට නැග්ග ගමන් කිව්වා.

“ඒ මොකෝ ඒ…?”

“අද නිදිමත දවසක්. උදේ ඉස්කෝලෙදිත් නිදිමත හැදුණා. හරි අමාරුවෙන් Econ period එකේදි ඇස් දෙක ඇරන් හිටියේ…”

“ගිහින් නිදාගන්න එහෙනම්. වොෂ් දාලනේ ඉන්නේ. උදේට නැඟිටලා පාඩම් කරන්න එහෙනම්…”

දෝණි එයාගේ ඉස්කෝලේ වැඩ හරියට කරන නිසා මම ඒවට ඇඟිලි ගහන්නේ නෑ. Term Test ඉවර වෙද්දි report එක අතට ආවම පේනවා එයා කරන දේවල්. මම කවදාවත් දුවට කියලා නෑ පන්තියේ පළවෙනියා වෙන්න කියලා. මම කියන්නේ ඔයාට පුළුවන් උපරිමෙන් කරන්න කියලා. එයා ඒක කරනවා. එදා දවසේ ඉගෙන ගත්තේ මොනවද කියන එක නම් මම දුවගෙන් අහනවා. එයා ඒ හැමදේම හරි ලස්සනට මට කියලා දෙනවා. මම ප්‍රශ්ණ අහනවා. එයා උත්තර දෙනවා. දුවට teaching නම් නියමෙට
පුළුවන්. එයා එයාගේ පාර කපන් යනවා. මම යන්න උදව් කරනවා. මට ඕන දේවල් මම ආස දේවල් දුවගෙන් මම බලාපොරොත්තු
වෙන්නේ නෑ කවදාවත්ම. ඒක එයාගේ ජිවිතේ. ඒක වෙනම ජීවිතයක්. මගේ දෝණි වුණත්.

©නදීශානි බණ්ඩාර

Author

Share