මේ මගේ කතාවයි – 02 කොටස

Categories

Share

මම නෙත්මි. අවුරුදු 18ක දුවෙක් ඉන්න අවුරුදු 40ක අම්මා කෙනෙක්. බිරිඳක් නෙමෙයි. බිරිඳක් වෙලා හිටියද කියන්න නම් මමත් දන්නේ නෑ. අවුරුද්දක් වගේ කාලයක් මහ මන්දිරේක සිරගත වුණා කියන්න නම් පුළුවන්. වතික ස්වාමිපුරුෂයා නොවුණු ස්වාමිපුරුෂයා කසාද සහතිකේට අනුව. මට වතික ගැන හැඟීමක් නෑ. එයාටත් එහෙමයි. හැබැයි මාව බැන්ඳේ ඇයි කියලා මටත් වඩා මගේ ගෙදර අය තේරුම් ගන්න කොට වෙන්න තියෙන හැමදේම වෙලා ඉවරයි.
ඉතිං… දුවත් එක්ක ජීවිතය දිනන “මේ මගේ කතාවයි “.

ඉරිදා දවස තමයි මටයි දුවටයි නිදහසේ ඉන්න තියෙන එකම දවස. එදාට නම් දහය එකොළහ වෙනකල් කෙල්ලව ඇඳෙන් බස්සවගන්නවා බොරු. කරන්න තියෙන වැඩ ටික මතක් වෙද්දි මට නම් ඉබේම ඇස් දෙක ඇරෙනවා. හිත හිත නිදාගන්න හැදුවත් කාන්දම වගේ ඇදිලා යනවා කුස්සියට. සෙනසුරාදා රෑට කෙල්ල එනවා මං ළඟට නිදාගන්නා. කෙල්ලගෙම වචන වලින් කිව්වොත් ගුලි වෙලා පැක් වෙලා නිදාගන්න. ඒ ඇවිල්ලත් කියව කියව ඉන්නවා මිසක් නිදාගන්නේ නෑ. ඕපා දූප ඔක්කොම කියවන්නේ සෙනසුරාදා රෑ තිස්සේ තමයි.

දුවට නිදාගන්න දීලා කොට්ටෙකුත් ළං කරලා මම ඇඳෙන් බැස්සා. ලෝබ හිතුනත් එයාට තුරුල් වෙලා ඉන්න වැඩ ගොඩක් තියෙනවා ඉවර කරන්න.

තේ එක හදලා flask එකට දාලා පාන් toast හැදුවා උදේට කන්න. ඒකත් දුවගේ ආසම කෑමක්.

අම්මා කෝල් කළා ඒ අස්සේ.

“නිදිද දෙන්නා තාම…?” අම්මා දන්නවා මේ අම්මයි දුවයි ගැන. මොකද මමයි එයයි හිටියෙත් එහෙම නිසා.

“නෑ…නෑ…අම්මේ…දුව නම් නිදි. මං නැඟිට්ටා. වැඩ තියෙනවනේ කරන්න…”

“අද දවල්ට අක්කලා එනවා. දුව එක්ක එන්න කාලා යන්න…උයන්න එපා….” මට අම්මව පැනලා බදාගෙන ඉඹින්න හිතුනා. ඉබ්බා දියට දැම්මම ඇන්නෑවේ කිව්වා වගේ මම,

“උදේට කාලා එන්නම් අපි එහෙනම්. මොනවා හරි ගේන්න ඕනෙද අම්මා…?” කියලා ඇහුවා.

“එපා. තාත්තා උදේ මාළු ටිකක් අරන් ආවා. මම ඇඹුල් තියල් ටිකක් හදන්න යන්නේ. ඔයාලට මොනවද ඕනේ…?” අපේ අම්මා එහෙම තමා තාමත්.

“සම්බෝලයක්…”මම කියද්දි අම්මා හිනාවුණා.

“දෙකම එකයි…හරි. හරි. පරිස්සමින් එන්න දෙන්නා…” කියලා අම්මා phone එක තිබ්බා.

ගෙදර යන්නත් ඕන නිසා මම කෙල්ලව ඇහැරවන්න යද්දි එයා නැඟිටලා ආවා.

“Good morning අම්මා…” කෙල්ල මගේ බෙල්ල බදාගෙන මූණට kiss එකක් දුන්නා.

“Good morning පුතේ…අන්න අත්තම්මා කෝල් කළා. ලොකු අම්මලා එනවා කියලා lunch එකට එන්න කියලා….” මම දෝණිගේ ඔළුව අතගාන ගමන් කිව්වා.

“ෂා මරුනේ…ඔන්න එන්නේ හවස….”

අක්කා බැන්ඳේ මට කලින් වුණාට බබාලා හම්බුනේ මට පස්සේ. එකපාරම කොල්ලෝ දෙන්නෙක්ම ආවා. ඊට පස්සේ දුවෙක්. මගේ කෙල්ලට ඉන්නේ එයාලා තමා.

“හරි…හරි…කාලා ලෑස්තිවෙන්න. රෙදි ටික සෝදලා දාලා යන්න ඕනේ. යන්න ඒ හැටි වෙලාවක් යන්නේ නෑනේ…” මට රෙදි කන්ද මතක් වෙද්දි බඩ රිදුනා. Washing machine එකෙන් සේදුවත් නවන්නයි මදින්නයි ගියාම හොඳ පණ යනවා. ඇඳුම් මහන්නයි, අඳින්නයි ආස වුණාට අනික් වැඩ නම් බෑ මගේ දෙයියනේ.

අම්මලාගේ ගෙදර යද්දි අක්කලා ඇවිත්. දුව ඔක්කොම වැඩ පැත්තක දාලා කට්ටිය එක්ක නටන්න සෙට් වුණා. ඔක්කොම ගෙදරින් එළියට පැන්නා. මරු සෙට් එක. මොන අංචියක් ඇදන් එයිද මංදා.

මල්ලිත් ගෙදර නිසා කාලෙකින් හැමෝම ගෙදර. ඒ වුණාට මගේ හිත මහා හිස්කමකින් පිරුණා. මල්ලිගේ wife pregnant. දැන් මාස හයක්. මට නංඟිව දැක්කම මම pregnant වෙලා හිටිය කාලේ මතක් වුණා.

වතිකගේ වෙනස් වීම් තවත් වැඩි වුණේ ඒ කාලේ. මං හීන මැව්වේ හැමදාම වතික බඩට අත තියලා පැටියට කතා කරයි කියලා. එහෙම නැත්තන් කණ තියන් ඉඳී කියලා. ඒත් ඒ කිසිමදෙයක් වුණේ නෑ. අඩුම තරමින් වතික එකම එක පාරක්වත් පැටියට බඩේ ඉන්න කාලේ කතා කළාද කියලා මට මතකයක් නෑ.

මම නංඟිගේ බඩට අත තිබ්බා. චුට්ටා නිදි වෙන්න ඇති. සද්දයක් නෑ.

“අමාරුද….?” වේදනාව කොහොමද කියලා මම දන්නවා.

“කකුළ් ඉදිමෙන එක තමයි අක්කේ. ඒ වුණාට අම්මා හරි චනූ හරි තවනවා. ඒක නිසා ගාණක් නෑ….” ඉන්දි කියද්දි මට නිකම්ම හුස්මක් වැටුණා.

අනුකි හම්බුවෙන්න ඉන්නකොට මම අර මාළිගාවේ ගෙව්වේ මොන ජීවිතයක්ද කියලා හිතෙනවා. මුළු දවස පුරාම එහෙම නැත්තන් දවස් ගණන් ඒ හිර ගුහාවට වෙලා මම ඉඳලා ඇති. Doctor ළඟට ගියාම කිව්වේ husband රට කියලා. වතික එක දවසක් ආවේ නෑ Doctor ළඟට යන්න.

ඒ මිනිහා මතක් වෙද්දිත් ඇඟේ ලේ ටික පිච්චෙනවා.

“දුව ආවෙම පුංචිට දෙන්න ගවුම් මෝස්තරයක් උස්සගෙන. එයාගේ යාළුවෙක්ගේ අක්කා කෙනෙක් බඳිනවා කියලා ඒකට ඇඳන් යන්න….” මම කල්පනා කරද්දි අක්කා කිව්වා.

“කෝ ඉතිං වචනයක් කතා කරන්න හම්බුණායැ. ආව ගමන් කැළේ පැන්නනේ…” කට්ටිය ගියා ගියාමයි තාම නෑ.

“එයි දැන් දාඩිය පෙරාගෙන, දූවිලි නාගෙන….” අම්මා කියද්දිම කට්ටිය එන සද්දේ ඇහුණා. අම්මට නම් ඉව තියෙනවද මංදා.

“අපි ආවා….” අක්කගේ දුව මහීමා කෑගැහුවා.

“පේනවා…පේනවා…කොහෙද නටාගැහිල්ලේ ගියේ…?” අක්කා ඇහුවා.

“ගඟට ගියා ඩලෝ…..” මහීමා කිව්වා. ඔන්න දැන් හැදෙන එවුන්.

“ගිහිල්ලා නාලා එන්න. ගස් ගඳේ බෑ. ගස් කීයක බඩ ගෑවද…?” අපේ එක්කෙනාට ගහක් උඩ නැඟගෙන නටන්න තිබුණොත් ඒ ඇති දවසටම.

“ඔන්න අනුකි අක්කා තුවාල කරගත්තේ එහෙම නෑ….” අක්කගේ twin කොල්ලෝ දෙන්නගෙන් එකෙක් කිව්වා. ලෝක අණ්ඩයෝ දෙන්නෙක් උන් දෙන්නා. අක්කගේ කණෙන් රිංගන්නේ නංඟිවත් අරගෙනම.

ඒ දෙන්නා රමිතයි. රකිතයි. පොඩි වෙලාවකින් ලෝකෙම පෙරලන යස්ස පැටවු දෙන්නෙක්. හැබැයි ඉගෙන ගන්න නම් උපන් හපන් කොල්ලෝ දෙන්නා.

“වතික කතා කළාද….??” අක්කා ඇහුවා.

“හුඟ දවකින් කතා කළේ නම් නෑ. ඇයි අක්කට කතා කළාද…?” මම ඇහුවා.

“මහේෂ්ට හම්බුවෙලා තිබුණා අර සක්කරවට්ටමත් එක්ක. මිනිහා හිටියයින් බාගයයි කියලා මහේෂ් කිව්වේ. අසනීප වෙලාද…?” අක්කා කිව්වේ අළුත් news එකක්.

“මම දන්නේ නෑ. එයාව බලාගන්න අරකි ඉන්නවනේ. මම මොකටද කලබල වෙන්නේ…?” එක මිනිහෙක් බලාගන්න ගෑණු දෙන්නෙක් ඕන නෑනේ.

මම බලනවා මදි නිසානේ තව එකක් අරන් ආවේ ගෙදෙට්ටම. ගල් මූසලයා. මට වතිකව දකිද්දි මතක් වෙන්නෙම අර පන්සල් වල තියෙන බහිරව රූප. මූණේ හිනා කඳුලක් නෑ. පවුලේ මළ ඉලව් නම්බුව පැත්තක දාලා ගෙදර එන්න ඕන තරම් හිතුනා. ඒත් ආයේ හිත ගල් කරන් හිටියා. අම්මලාව රිද්දන්නත් මට ඕන වුණා. එයාලනේ මාව මේ අමාරුවේ දැම්මේ.

“අනුකිගේ නඩත්තු ගෙවනවද…?” අක්කා එක්කත් මට යකා නැග්ගා. එයා තමා මේ මඟුල අම්මලට කියලා මට පැටලෙව්වේ.

“මට එයාගේ සල්ලි නැති වුණාට කමක් නෑ. මට පුළුවන් අනුකි ගැන බලාගන්න. ළමයා autoනේ ආවේ මගේ බඩට. ඒක නිසා මම එයා ගැන බලාගන්නම්…” මගේ හඬ ටිකක් සැර වැඩි වුණා.

“මෙහෙම දෙයක් වතික කරයි කියලා මම හිතුවේ නෑ නංඟි. මම හැමදාම විඳවනවා මේක නිසා….” දැන් දුක් වුණා කියලා මොනවා කරන්නද…?

“ඔයා මොකටද විඳවන්නේ…? වෙන්න තිබුණ දේවල් වෙලා ඉවරනේ අක්කා. මම හිටියට වඩා හොඳින් ඉන්නවනේ දැන්….”

“මමයි ඔයාව ඔය අමාරුවේ දැම්මේ…” අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ සුදූ….

“කාලා යන් රන්දෙණිගල ගිහින් එන්න…” දවල් කද්දි මහේෂ් අයියා කිව්වා.

“ඉන්දිට නම් යන්න අමාරුයි ඔය දුර…” අම්මා ලේලි පොඩ්ඩව නොසෑහෙන්න පරිස්සම් කරනවා. මොකද එන පොඩි එකා ඒ පවුලෙනේ. අපි ඉතිං ළමයි හැදුවේ පිට පවුල් වලටනේ.

“මම ඉන්නම් ඉන්දි එක්ක. අම්මලා යන්න…” මල්ලි කිව්වා.

“ඔව්…චනුයි මමයි ඉන්නම්. අම්මලා යන්න…”

දවල් කාලා ඉවර වුණ ගමන් මහේෂ් අයියගේ වෑන් එකෙන් අපි රන්දෙණිගල ගියා. පොඩ්ඩෝ ටික නම් වෑන් එක දෙක කළා. සෑහෙන කාලෙකින් කොහේවත් ගියෙත් නෑ. පවුලේ අයත් එක්ක කොහේවත් යන්න සෙට් වෙන්නෙත් නෑනේ.

දහම් එක්ක දවසක් එයාගේ බයික් එකෙන් මාව රන්දෙණිගල එක්ක ආවේ මගේ වදෙන් බේරෙන්නම බැරි තැන. මට පුදුම පිස්සුවක් තිබුණා බයික් එකකින් රන්දෙණිගල පාරේ යන්න.

“දැන් හරිද දොළ දුක…?” රන්දෙණිගල ඩෑම් එක ළඟ බයික් එක නතර කරලා බහින ගමන් දහම් ඇහුවා.

“නෑහ්… යන ගමන් අර රොටී කඩෙන් උණු උණු රොටී කාලා ප්ලේන් ටී එකක් බොන්නත් ඕනේ…” මම කියද්දි දහම් ඇස් පුංචි කරන් මං දිහා බැලුවා.

“කෙල්ල…”

“ඇයී….?”

“නිකම්ම බබ්බු හම්බුවෙන්නේ නෑ නේද…?” දහම් අහද්දි මට හයියෙන් හිනා ගියා. ඒ කාලේ මම කොච්චර සැහැල්ලුවෙන් හිනාවෙලා හිටියද..?

“පිස්සුද අනේ…? විකාර දොඩෝවනවා ඔයා…” මම දහම්ගේ උරිස්සට දුන්නා පාරක්.

“නෑ ඉතිං මේ ඉල්ලීම් එක්ක හිතුනේ එහෙමයි….” දහම් හුළඟත් එක්ක පුංචි kiss එකක් දුන්නා කම්මුලට.

කොහේ ඉන්නවද මොනවා කරනවද කියලා හිතාගන්න බෑ මට.

“අම්මා… එන්න photo එකක් ගන්න අපි දෙන්නගේ…” කියලා කෙල්ල මාව බදාගෙන photo එකක් ගත්තා.

“අම්මගේ ලස්සන…ඇස් දෙක දිළිසෙනවා…” කෙල්ල මගේ කම්මුල ඉඹිද්දි ආයෙත් දහම් මතක් වුණා. දහම් දන්නවා නම් මට දුවෙක් ඉන්නවා කියලා හරි ආස හිතෙයි. මට එහෙම හිතුනා.

රෑටත් කාලම ගෙදර ආවා. අදත් පාඩම් නෑ. දවසම නටලා කෙල්ල නිදි. එයාගේ මගෙයි ඇඳුම් අයන් කරලා නිදාගන්න යද්දි එකොළහත් පහුවුණා.

©නදීශානි බණ්ඩාර

Author

Share